Monthly Archives: March 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WM1gfi
සර්වඥයන් වහන්සේගේ ආඥාව🙏🙏🙏

පතිට්ඨිස්සති දේවින්ද – ලංකායං මම සාසනං තස්මා සපරිවාරන්තං – රක්ඛ ලංකඤ්ච සාධුකං

දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ.

“සීලයෙහි ගුණයෙහි පිහිටා පාපී අදහස් දුරු කොට පිරිසිදු සිතින් ශ්‍රද්ධාවෙන් රතන සූත්‍රය සජ්ඣායනා කළ යුතුය.එය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් සත්‍යක්‍රියාවකි.”

පදයෙන් පදය අර්ථ සහිත රතන සූත්‍රය -> https://ift.tt/2Um559h

– උඩුදුම්බර සෝභිත තෙර

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QNU66o
පෙර සැවැත් නුවර සතළිස් කෙළක් ධනය ඇත්තා වූ ආනන්ද සිටු නම් වූ තද මසුරෙක් විය. ඔහු සති දෙකකට වරක් නෑයන් රැස් කරවා නෑයන්ට ද, මූලසිරි නම් වූ තම පුත්‍ර‍යාට දවසට තුන් වරක් ද මෙසේ අවවාද කරයි.

මේ සතළිස් කෙළක් ධනය බොහෝ යයි නො සිතව. ඇත්තා වූ ධනය කිසිවකුටත් නො දිය යුතුය. අලුත් අලුත් ධනය නිපදවිය යුතුය. එක කහවණුවක් මුත් වියදම් කිරීමෙන් ධනය අඩු වන්නේ ය.

“අඤ්ජනානං ඛයං දිස්වා – උපචිකානඤ්ච ආචයං

මධුනඤ්ච සමාහාරං – පණ්ඩිතෝ ඝරමාවසේ.”

“වරකට ඉතා ස්වල්පයක් බැගින් කූරකින් ගෙන ඇස ගල්වන අඳුන්වල කලකින් ක්ෂය වීම ද, ඉතා ස්වල්පය බැගින් ගෙනවුන් කරන වේයන් ගේ තුඹස් බැඳීම ද, මීමැස්සන් සේ පැණි රැස් කිරීම ද බලා ආදර්ශයට ගෙන නුවණැත්තේ ගෘහයෙහි වසන්නේය” යනුයි.

මෙසේ පරහට ද මසුරු වනු පිණිස අනුශාසනා කරන්නා වූ ආනන්ද සිටු, තමා ගේ මහා ධනය පස පුත්‍ර‍යාට ද නො කියා කළුරිය කොට, සැවැත් නුවර සමීපයේ සැඩොල් ගමක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේය. රජතෙමේ ඔහුගේ කාලක්‍රියාව අසාමූලසිරිට සිටු තනතුර දිණ. ඒ සැඩොල් ගමෙහි පවුල් දහසක් වෙති. ඒ සියල්ලෝ ම එකට කර්මාන්ත කරන්නෝය.

ආනන්ද සිටු එහි පිළිසිඳ ගත් තැන් පටන් ඔවුනට ඒ වේලාව පසු කර ගැනීමට පමණ මුත් සහල් මිටක් පමණවත් ඉතිරි කර ගන්නට දෙයක් නො ලැබෙන්නට විය. පසු ව ඔවුහු අප දැන් බොහෝ වැඩ කොට ද කිසිවක් නො ලැබෙන්නේ අප අතර කාලකණ්ණියකු සිටීමෙන් විය යුතු යයි දෙකට බෙදුණෝ ය. මෙසේ ඔවුහු නැවත නැවත කොටස් කොටස් වී අන්තිමේ දී ආනන්ද සිටු පිළිසිඳ ගත් පවුල දක්වා වෙන් වූහ. ඉන්පසු ඒ අඹු සැමි දෙදෙන ද වෙන් වූහ.

ආනන්ද සිටුගේ මව යැපීමට පමණ වූ ආහාර ද ඉතා දුකගේ සිඟා ලබමින් ජීවත් ව දරුවා වැදුවා ය. ඔහුගේ අත් පා කන් නාසාදි එක ම අවයවයකුදු සුදුසු පරිදි නො පිහිටියේ ය. අංග විකලත්වයෙන් යුක්ත වූ ඒ දරුවා පංසුපිසාචයකු වැනි විය. කුසහොත් දරුවා ගැන මව්වරුන්ගේ ප්‍රේමය ඉතා අධික බැවින් පංසු පිසාචයකු වැනි වූ ද ඒ දරුවා ඈ පෝෂ්‍ය කළාය. ඇයට ඒ කාලකණ්ණි දරුවා සමග යන දිනවල කිසිවක් නො ලැබෙන්නේය. දරුවා තබා යන දිනවල දී බත් වැටුප් ලැබෙන්නේ ය. ඈ ඒ දරුවාට පිඬු සිඟා යා හැකි තරමට වැඩෙන තෙක් ඉතා දුකසේ පෝෂණය කොට “දරුව, නුඹ නිසා මම බොහෝ දුක් වින්දෙමි. සෑම කල්හි ම මෙසේ මා විසින් විඳිය නො හැකිය. මේ නගරයෙහි දුගී මගී යාචකයන්ට බත් දෙන තැන් ඇත. නුඹ ඒ තැන්වලට ගොස් සිඟා කා ජීවත්වෙව”යි කියා දරුවා බැහැර කළාය.

ඔහු සැවැත් නුවර ගෙපිළිවෙළින් සිඟ සිඟා යනුයේ ආනන්ද සිටු කලැ තමා විසූ ගෙය සමීපයට පැමිණි කල්හි පූර්ව ජන්මය සිහි වී තමාගේ ගෙට ගියේය. පළමුවන දෙවන තුන්වන දොරටුහල්වල රැකවල් ගෙන සිටි මිනිසුන් ගැන කිසිදු සැලකීමක් නො කොට ඔහු සතර වන දොරටුහල දක්වා ගියේ ය. එහිදී මූලසිරිගේ දරුවෝ පංසුපිසාචයකු වැනි වූ විරූප ඔහු දැක බිය වී හඬන්නට වූහ. එකල්හි එහි වූ මුරකරුවෝ “මේ කාලකණ්ණියා මෙහි කුමට ආයෙහි දැ”යි කියා තළ තළා බැහැර කරන්නාහු කසළගොඩකට ඇද දැමූහ. එදින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා පිඩු සිඟා වඩනා සේක් මේ ප්‍ර‍වෘත්තිය ආනන්ද ස්ථවිරයන් වහන්සේට කී සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ එතනට මූලසිරි කැඳවූහ. මහජනයා ද රැස් වූහ. බුදුරජාණන් වහන්සේ මූලසිරි අමතා, “නුඹ මොහු හඳුනන්නෙහිදැ”යි අසා “නො හඳුනමි”යි කී කල්හි, නුඹේ පියා වූ ආනන්ද සිටාණෝ යයි වදාරා ඔහු නො ගිවිස්නා කල්හි ආනන්ද සිටු ලවා පඤ්චමහා නිධානය ඇති තැන් මූලසිරිට කියවා විශ්වාස කරවූ සේක. එකල්හි මූලසිරි බුදුන් කෙරෙහි පැහැද සරණ ගියේය. එතැන්හිදී බුදුරජාණන් වහන්සේ:

“පුත්තාමත්ථි ධනම්මත්ථි

ඉති බාලෝ විහඤ්ඤති

අත්තාහි අත්තනො නත්ථී

කුතෝ පුත්තා කුතෝ ධනං”

යනුවෙන් බාලයා මාහට පුත්‍රයෝ ඇත. ධනය ඇත කියා දුක් වෙයි. තමා ද තමාට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද? මෙසේ දහම් දෙසූ සේක. ඒ දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වූයේ ය.

සාමාන්‍ය මාත්සර්‍ය්‍යයට වඩා අධික වූ මාත්සර්‍ය්‍යකුදු වෙයි. එයට කදරිය ය යි කියනු ලැබේ. එයින් සිත අතිශයින් ම කිළිටි කරයි. කදරියයෙන් කිලිටි වූ සිත් ඇත්තේ තමා දන් දෙනු තබා අනුන් දෙනවාට ද කැමති නො වෙයි. අසදෘශ දානය ගැන සිත දූෂ්‍ය කර ගැනීමෙන් රටින් නෙරපනු ලැබූ කාල නම් ඇමතියා මෙන් අනුන් දෙනු දුටු කල්හි ද සිත දූෂ්‍ය කර ගනී. ආනන්ද සිටු මෙන් අනුන් දෙනු වළක්වන්නට අනුශාසනා කරයි. සමහර විට දෙන්නවුන් කෙරෙහි කිපෙයි. සමහර විට ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි කිපෙයි. සමහර විට දායකයන්ට ආක්‍රෝශ ද කෙරෙයි. සමහරවිට ප්‍ර‍තිග්‍රාහකයන්ට ආක්‍රෝශ කෙරෙයි. පීඩා ද කරයි. මේ කදරියය බලවත් පාපයකි. එහි විපාක ඉතා දරුණු ය. ඒ බව උත්තර මාතාවගේ කථාවෙන් දතයුතු.

https://ift.tt/2xvclXC

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dxhK0P
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 155💙💚💜

🌷 අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙළොවින් සමුගත් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 02

තවදුරටත් අපේ බුදුහාමුදුරුවෝ මෙලෙස සම්මාසම්බුදුවරුන් සහ පසේ බුදුවරුන් අතර ඇති සුවිශේෂ වෙනස්කම් ගැන විශේෂ විස්තරයක් කරනවා.
පාරමිතා පිරීමෙන් පසු සම්මා සම්බුදුවරුන් ඉපදෙන්නේ කැත් කුලයක (ක්ෂත්‍රිය කුලය) හෝ බමුණු කුලයක. එහෙත් පසේබුදුවරු කැත් කුල බමුණු කුල, මෙන්ම ගැහැවි (ගෘහපති කුලය) කුලයෙත් උපත ලබනවා. බුදුවරුයකු හෝ පසේ බුදුවරුයකු සත්ධර්මය ලොවෙහි ශුන්‍ය කලෙක ලොව පහල වෙනවා. එහෙත් පසේබුදුවරු බොහෝවිට බුදුවරු පහළවන කල්පයේ සම්මා සම්බුදුවරු උපත ලැබීමට ආසන්නයේ ඒ කියන්නේ මිට ඉහතින් සඳහන් කල බුද්ධකෝලාහලයෙන් පසුවය උපත ලබනවා. සම්මා සම්බුදුවරු තමන් විසින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගන්නවා. අනුන්ටද අවබෝධයට මග පෙන්වනවා. පසේබුදුවරුත් එලෙසම තමන් විසින්ම සිවුසස් අවබෝධ කරගන්නවා. එහෙත් අනුන් හට අවබෝධනොකරයි. අරුත් රසයම අත්විඳියි.. දහම් රස නොවිඳියි. ඔවුන් හට සිව්සස් ආදී ලොව්තුරා කරුණු වහරට අනුව ගලපා විස්තර කොට පහදාදෙන්නට නොහැකිය.

පසේබුදුවරු දහම අවබෝධ කරගනී. ඉද්ධි, සමවත්, සිවු පිළිසිඹියා ආදියට පැමිණෙනු ලබයි. එහෙත් ගුණ වෙසෙස් බවෙන් සම්මා සම්බුදුවරුනට වඩා පහළ මට්ටමේය. එමෙන්ම සාවක මහරහත්වරුනට වඩා ඉහල මට්ටමේය.
අනුන් පැවිදි කරවා උසස් හැසිරීමෙහි (අභිසමාචාරික) හික්මවයි. සිතෙහි කෙලෙස් දුරුකළ යුතුය. පිරිසිදු කටයුතු ඇතිව වැරදිවලට නොපැමිණිය යුතුය. යනුවෙන් උපදෙස් පමණක් ලබා දෙමින්, “අද උපොසථ දිනයයි පමණක් කීමෙන් පොහොය කරයි. ගන්ධමාදන පව්වෙහි. මඤ්ජුසක නම් රුකමුල රුවන්මය ශාලාවක එසේ පොහොය කරනු ලබනවා.

🌺 ගත පච්චාගත වත

පසේ බුදුවරයෙකු විසින් පාරමී පුරාණයේදී නියත වශයෙන්ම වැඩිය යුතු ගත පච්චාගත වත
ඉන් පස්සේ විශේෂයෙන්ම සියලුම පසෙබුදුවරුන් විසින් රැකිය යුතු “ගත පච්චාගත වත” පිළිබඳවද එම සුත්‍ර දෙශ්නාවේම සඳහන් වනවා. ගත පච්චාගත වත කියන්නේ කුමක්ද? එනම් තමන් පිහිටා සිටින කමටහන පිණ්ඩපාත සහ අනෙකුත් භාහිර කටයුතු වලදී ගෙනයෑමේ සහ ආපසු ගෙනඒමයි. එයත් සතරාකාර ලෙස දක්වනවා.

1. ඇතැම් පැවිද්දෙක් ගෙනයති. නමුත් අපසු නොගෙනෙති.
2. ඇතැම් පැවිද්දෙක් ගෙන එයි එහෙත් ගෙන යන්නේ නැත.
3. ඇතැම් පැවිද්දෙක් ගෙන නොයති.ආපසූද නොගෙනෙති.
4. ඇතැම් පැවිද්දෙක් ගෙන යති ආපසු එපරිද්දෙන්ම ගෙන යති. (ගත පච්චාගත වත)

මෙහි ඉහත සදහන් පැවිද්දන් පිබිදී සෑමළුවෙහි බෝමළුවෙහි වතාවත්කොට බෝරුකෙහි පැන් වත්කොට පැන්කල පුරවා පැන්හලෙහි තබා ආචාරිය-උපාධ්‍යාය වත් ඉටුකොට කුඩා වත් අසූ දෙකක්ද මහවත් දහහතරක්ද සමාදන්ව සිටිති. උන්වහන්සේලා සිරුරු කටයුතු කොට සෙනසුනට පිවිස පිඩු පිණිස විවේකීව අසුනක හිද වේලාව දැන සිවුරු හැද පටිය බැද සගල සිවුර උතුරුසළුවක් සේ කරෙහි දමා පාත්‍රය උරහිසෙහි එල්ලාගෙන කමටහන් මෙනෙහි කරමින් සෑමළුවට පැමිණ සෑයද බෝධියද වැද පිටත්වී ගම සමීපයෙහිදී සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන පිඩු පිණිස ගමට පිවිසෙති. බොහෝ විට එසේ පැමිණෙන ඉහත 1, 2, 3, හි කියූ පරිදී කමටහනේ සිහිය යන අවස්ථාවෙහිදී හෝ ආපසු එන අවස්ථාවෙහිදී හෝ අවස්ථා දෙකේදීම බිඳී යයි. ඊට හේතුව එසේ පිවිස ආහාර ලද මහණුන් වහන්සේලා පින්වත් උපාසකවරුන් විසින් සත්කාර කරන ලදුව උවටැන් කරන නිවසකට හෝ සම්භාවනීය සාලාවකට හෝ මග තොටදී පැමිණ ඔවුන් හා ආගිය තොරතුරු කතා කිරීමෙන්, ධර්ම සාකච්චා කිරීමෙන් හෝ වෙනයම් කරුණු කතා කිරීමෙන් කමටහණෙන් බැහැර වීමයි. සමහර භික්ෂුන් වහන්සේලා මේ තත්වය මගහරවා ගැනීමට මුවෙහි වතුර පුරවාගෙන යයි. සමහර භික්ෂුන් වහන්සේලා එය බිඳුන අවස්ථාවන්හි නැවත අරණ්‍ය වෙත ගොස් කමටහනේ පිහිටා යලි මුල සිට වඩින ඉතා ලස්සන අපගේ හෙළ දිවයිනේ බන කතා කතා මිට පෙර ලියා තිබෙන බව මතකේ තිබෙනවා. ( අපේ පැරණි බණ කතා ලිපි පෙලේ.) කෙසේ හෝ මෙහි සතරවෙනුව සතන් කර ඇති පරිදි පසෙබුදුවරුන් පාරමී පුර්ණයේදී මෙම ගත පච්චාගත නියමාකාරෙන් වඩා සිටීම අනිවාර්යය බව සඳහන්. එම නිසාම පිඩුසිඟා වඩින අර්න්‍යවාසි භික්ෂුන් වහන්සේලා සමග අනවශ්‍ය කතාවට යාමෙන් වැලකී සිටිය යුතු බව ඔබටම දැන් වැටහෙන්නට ඕනේ.

🌺 පසේ බුදුවරුන් වැඩ සිටිනා හිමාලයෙහි ගන්ධමාදන පව්ව

ගන්ධමාදන පව්ව හිමාලයෙහි 1. සුළුකළු පව්ව, 2.මහකළු පව්ව, 3. නාවෙළුම , 4.සදගැබ ,5.හිරැගැබ, 6.රන් පස , 7. හිමවත, යන පව් හතම ඉක්මවා පිහිටිය. එම ගන්ධමාදන පර්වතයෙහි නන්දමුලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි. එම ස්ථානයේ රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව යැයි ගල් ලෙන් තුනක් තියෙනවා. ඒ තුන අතරෙන් මැණික් ගුහා දොරටුවෙහි යොදුනක් උස යොදුනක් පළල “මඤජුසක” නමින් හැඳින්වෙන මල් ගසක් තියෙනවා. පසේ බුදුවරුන් ලොව පහළවන කාලයට එම ගසෙහි සැම තැනම රන් මල් මල් පිපෙන බව කියනවා. ඒ වගේම ඒ කාලයට දියෙහි මෙන්ම ගොඩබිමෙහිත් අති සුන්දර පුෂ්පයන්ගෙන් පිරි යනවා. මෙම පින් බිමේ ආවතේව කරුවන් නැහැ. මෙම භුමිය පිසදමන සේ හමායන සුළගින් එහි කසල ඉවත් වනවා. සමව හමන සුළගින් සියළු රුවන්මය වැලිගොඩැලි සමතලා කරනවා. දියපොද මුසුව හමනා සුළගෙන් අනෝතත්ත විලෙන් දිය ගෙනවුත් ඉසියි. සුවදවත් සුළගින් හිමාලයෙහි සියළු සුවදවත් ගස්වලින් සුවද ගෙන එයි. එක්රැස් කරන්නා සේ හමන සුළගින් මල් කඩා බිම හෙළයි. අතුරා යන පරිදි හමන සුළගින් ඒ මල් හැමතැන විසුරුවයි. හැමවිටම එහි ආසන පනවා ඇත. පසේ බුදුවරයෙකු පහළවන දවසෙහි සහ උපෝසථ දවසෙහි ද සියළුම පසේ බුදුවරු රැස්ව ඒ ආසනවල හිදගනියි. ඉක්බිතව එසේ පැමිණි කල නව පසේ බුදුවරයන් වහන්සේ එහි ගොස් පනවන ලද අසුනෙහි හිදිනවා. එමෙන්ම ඒ කාලයෙහි තවත් පසේ බුදුවරු පහළ වෙත්ද උන්වහන්සේලා රැස්වී පනවන ලද අසුන්වල හිදියි. එහිදී යම් පසේබුදුවරු කිසියම් සමවතකට සමවැද නැගී සිටියි. එහිදී දෙටු සංඝතෙරුන් වහන්සේ නවක පසේ බුදුවරයන් වහන්සේගෙන් සියළු පසේ බුදුවරුන්ට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේදැයි කමටහන විචාරයි. එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස කියනු ලබනවා. මෙම ඇති සුන්දර උදාන වාක්‍යය වලින් මෙම ඛග්ගවිසාණ සුත්‍රයම පිරී පවතී.

🌺 මාතංග පසේ බුදුහාමුදුරුවෝ.

ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනා නිධානයේ ඇති මේ සියලු කරුණු ඔබලාට විස්තර කලේ පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳව දැනුවත් කිරීමටත් ශ්‍රද්ධාව ඇති කිරීමටත්ය. මෙලෙස පාරමිතා පුරණය කරමින් අප බෝසතාණන් වහන්සේ ලොව පහළවීමට ප්‍රථම ඒ කාලයේම ලොව වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන ආපදානට්ඨ කතාවේ සඳහන් වනවා. උන්වහන්සේගේ නම මාතංග. එහි සඳහන් වන අයුරින් අප බෝසතාණන් වහන්සේගේ උපත පිළිබඳව අසා එය නැරඹීමට පමණි දේවතාවෝ මාතංග පසේ බුදුරජුන්ද බැහැ දැකීමට පැමිණියා. ඒ මොහොතේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිට එයින් එලියට පැමිණි මොහොතයි. මාතංග පසෙබුදුරජුන් ව බැහැ දකින ඒ දෙවිවරුන් නිදුකාණෙනි, නිදුකාණෙනි, ලෝකයෙහි සම්මා සම්බුදුවරයෙකු උපන්නා යනුවෙන් පවසා වැඳ අවසර ගෙන නික්ම ගියා. ඉන්පස්සේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආයුෂ විමසා බලද්දී ආයුෂ ක්ෂය වී ඇති බව දැනගත්තා. පසේ බුදුවරු ආයුසංස්කාර අත්හැර පරිනිර්වාණය සඳහා වැඩම කරන තැනක් හිමාලයේ තිබුණා. එය හඳුන්වන්නේ මහා ප්‍රපාත පර්වතය නමින්. උන්වහන්සේ එතැනට වැඩමකොට පිරිනිවන්පාන ලද අනෙකුත් පසේබුදුවරුන්ගේ ඇටසැකිළි ආදිය ප්‍රපාතයට හෙළා ගල්තලාවේ හිඳ උදාන වාක්‍යයක් පවසා අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවා. ඒ තමයි මේ අතුරුකල්පයේ අන්තිම පසෙබුදුරජුන්.

සාදු සාදු සාදු

❤💚💛 පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

උපකාරක ග්‍රන්ථ
සුත්තනිපාතට්ඨ කථා – ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව,
ආපදානටඨ කථා – ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
26-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QMlVMg
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 04🌷

🌻 පසුගිය ලිපියෙන්.

යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්‍යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්‍යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්‍යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්‍රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.

🌻 රතන සුත්‍රයේ කෙටි අරුත.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අවසානයේ රැස්වූ දෙව්මිනිසුන් ඇතුළු සියලු පිරිස් සඳහා මෙම සුත්‍ර දේශණාව නැවත වරක් දේශණා කරනු ලැබුවා. එහෙත් ඒ අප අද කියවන කෙටි අරුතෙන් නෙවෙයි. අසුහාරදහසක් දෙනාට ධර්මය අවබෝධ කරගැනීමට හැකි ගාම්භීර මෙන්ම ප්‍රඥාඇස විවර කරගැනීමට හැකිවන දේශනාවක් ලෙසින්. ඒ නිසා මෙම සුත්‍ර දේශනාව ප්‍රධාන අනුහස් තුනකින් සමන්විතයි කියලා මට හිතෙනවා. එහි පළමුවැන්න රෝගබිය සහ දුර්භික්ෂ බිය පහකිරීමයි. දෙවැන්න අමනුෂ්‍ය බිය පහකිරීමයි, ඒ සියල්ලම තාවකාලික ආශීර්වාද. එහෙත් අවසන් ආශීර්වාදය තමයි සංසාර රෝග බිය සදහටම දුරුකරලිම. එනම් නිවන් සාක්ෂාත් කරදීම. එමනිසා මෙම සුත්‍ර දේශණාව එවැනිම ගැඹුරු අර්ථයකින් අවබෝධකරගත යුතුනම් ඔබ අනිවාර්යයෙන්ම පණ්ඩිත විශාරද පින්වත් ධර්ම කථික භික්ෂුන් වහන්සේ නමකගේ දේශනයකට සවන්දිය යුතුමයි.

රතන සුත්‍ර දේශණාවේ සිංහල කෙටි අරුත

🌻 මෙම ගථා යුගලයෙන් බුද්ධ ආඥාවක් පණවන බව හැඟේ.

“පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.

“භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
🌻 තුන්වෙනි ගාථාවෙන් බුද්ධ රත්නය කෙරෙහි අචලප්‍රසාදය ඇති කරවයි..
“මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!

🌻 හතරවෙනි ගාථාවෙන් ධර්ම රත්නය කෙරෙහි අචලප්‍රසාදය ඇති කරවයි.
“ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්‍ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!

“බුද්ධශ්‍රෙෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
🌻 මෙහිදී සංඝ රත්නය කෙරෙහි අචලප්‍රසාදය ඇති කරවයි.
“සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්‍රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යයෙන් සෙත්වේවා.!
🌻සීලය හා සමාධියේ මහිමය විදහා දක්වන උතුම් ගාථා රත්නයක්. අරහත් ඵල සමාපත්තිය වනාහි ලොව ඇති උතුම්ම සමාපත්තියයි. නිවනට පත් ඒ මහා උතුමන් වහන්සේලා තමන් ලත් උතුම් සැනසීම කැමති කැමති වෙලාවට නොමිලයේම ආධ්‍යාත්මික කයෙන් අත්විදින්නෝමය.
“ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.!

“පොළොව බැස සිටි නුවර දොර සිටුවන කණුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්‍යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි. මෙ සත්‍ය බලයෙන් සෙත් වේවා.!

“ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!

10 “ඔහුගේ පළමුවන නිවන් දැක්ම සමගම සක්කාය දෘෂ්ටියද සැකයද යම්කිසි මිථ්‍යා ශීල ව්‍රත කෙනෙක් ඇත්නම් එහැමද යන තුන් සංයෝජනයෝ ඔහු විසින් හරණ ලද්දෝ වෙත්.

11 හේ අපාය සතරින් මිදුනේද වේ. ආනන්තර්ය කර්ම පස හා මිසදිටු ගැන්ම යන බර පව් සය කරන්නටද නොහැක්කේය. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
🌻සෝවාන් මාර්ගඵලලාභී උතුමන් තමන් ලත් ඵලයෙහි නොරැදි ඉදිරි මග ඵල දක්වා ගමන් කරනුයේ ඔවුන් වැඩිය යුතු සහ නොවැඩිය යුතු දේ ගැන සිහියෙන් සිටින නිසාවෙනි . සම්මා සමාධිය දක්වා ඇති ඉතිරි මාර්ගාංග තමන් තුල නිබඳවම ඔවුන් වඩාවර්ධනය කරනු ලබන්නේ ඒ වරද නොසගවා වරද සහ නිවරද දකින ගුණය නිසාවෙනි. ඒ උතුම් සගගුණය මේ ගාථා රත්නයෙන් මොනවට පිළිබිඹු වෙයි.
12. “ඒ සෝවාන් පුද්ගලතෙම කිසි පමාවෙකින් කයින් හෝ වචනින් හෝ සිතින් හෝ පව්කමක් කරන්නේද, හේ සඟවා ලීමට නොහැක්කේය. නිවන් දුටුවහු වරද සඟවාලීම නොහැක්කක් බව වදාරණ ලදී. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
🌻 වසන්ත සමයේ සුන්දරත්වය ධර්මයේ අසිරියට ගැලපූ අයුරු..
13 “වනෙහි වැඩුණු ගස් රැස ග්‍රීෂ්ම සෘතුවෙහි පළමුවන ග්‍රීෂ්ම මාසයෙහි යම්සේ පිපුණු අක් ඇතියේද එබඳුවූ නිවන් පමුණුවන උතුම් පර්යාප්ති ධර්මයක් පරමහිතය පිණිස වදාළේය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.

14. “උතුම්වූ නිවන් දන්නාවූ නිවන් දෙන්නාවූ නිවන් මග ගෙනහැර පාන්නාවූ නිරුත්තර බුදුරජතෙම උතුම් දහමක් දෙසීය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.

🌻 මෙම සුත්‍ර දේශනාවේ ප්‍රඥා ඇස විවරකරන ඉතා ගැඹුරු අරුතක් ඇති ගෞරවණිය සංඝයා වහන්සේ නමකගෙන් අසා මැනැවින් අවබෝධකරගත යුතු ගාථා රත්නය මෙයයි. එමෙන්ම තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති පමණට මගඵල නිවන් අවබෝධකරගත හැකි නිවන් පුර වෙත ලඟා වියහැකි තොටුපළක් ද වැන්න. ජාති ජරා ව්‍යාධි මරණාදි දුකට පත් ලෝකයාට ඇති එකම සැනසීම වනාහි නිවන පමණක්මය. එහෙයින් තාවකාලික විසදුම් නොසොයා වහා වහා මේ සසරින් එතෙර වීමේ වටිනාකම පැහැදිලි කල උතුම් ගාථා රත්නයක්. මෙම ගාථා රත්නය ඔබටද සංසාර දුකින් එතෙර කරනා දිව ඔසුවක් වේවා !
15 “යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්‍ෂයකළ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්යය සම්පන්නවූ ඒ රහත්හු මේ පහනසේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.

🌻 මෙතැන් පටන් කියවෙන අවසාන ගාථා තුන සුත්‍ර දේශණාව අවසානයේ සක්දෙවිඳු විසින් කියන ලද්දක්. සක්දෙවිදු, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි ඇත්ත සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන කියනු ලැබුවා.

16. “(සක්දෙව් රජ) පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් වඳිමු. සත්නට සෙත්වේවා.

17. පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය වඳිමු. සත්නට සෙත්වේවා.

18 “පොළොව උපන්නාවූද අහස උපන්නාවූද යම් භූත කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා වඳිමු. සත්නට සෙත්වේවා.”

සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්‍රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
19-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33JLzGV
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 03🌷

🌻 විසාලා මහා නුවර දක්වා බුදුරජුන් රැගෙනයාමට සරසනු ලැබූ නව්කාව

එතැන සිට විසාලා නුවර දක්වා යෑමට නියමිතව තිබුනේ ගොඩබිමින් නෙවෙයි. ගංගානම් නදිය මතින් නාවිකයන් හා සමග. ඒ වනවිටත් ඒ සඳහා සියළු ආකාරයෙන්ම අලංකාර වූ නැවක් සකසා භාග්‍යවතුන් වහන්සේව ඒ අලංකාර නැව්කාව වෙත වැඩම කරවාගෙන යාම සඳහා සියලු කටයුතු බිම්බිසාර රජතුමා විසින් සකස් කරලයි තිබුණේ. ඉතාම ගෞරවයෙන් රජතුමා ඇතුළු පිරිස භාග්‍යවතුන් වහන්සේව නව්කාව වෙත වැඩම කරවනු ලැබුවා. මේ සියලු වත්පිළිවෙත් මෙලෙස පිළියෙළ කොට සියල්ලන්ම උන්වහන්සේට පෙරගමන් කරව යි විසල්පුර වාසීන්ට පණිවුඩයක් යැවුවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග යාමට රජතුමාත් එකතුවුනා. හරිම පුදුමයි එකල රජවරු මිත්‍රත්වයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කල ආකාරය.

🌻 බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ හට දැක්වූ සත්කාර මෙන් දෙගුණයකින් වජ්ජින් විසින් සත්කාර පිළියල කිරීම.

මෙම ගෞරවාන්විත වැඩමකරවීම අසා විශාලා පුර රජවරු පුදුමයට පත් වුනා. ඔවුන් අප වෙනුවෙන් ඒ අකාරයෙන් පුද සත්කාර දක්වනවානම් අප ඊටත් වඩා බුදුන් කෙරෙහි පුද සත්කාර දැක්විය යුතුය යනුවෙන් එක්වී සාකච්චා කරනු ලැබුවා. මෙය දැනගත් විසාලා නුවර රාජ රාජ අමාත්‍යවරු බිම්බිසාර රජතුමා දැක්වුවා වූ පුද පුජා සත්කාර වලට වඩා ගරු සත්කාර දැක්වීමට මෙතෙක් පිලියල කර තිබු පුද පූජා දෙගුණ කොට විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට මිට පෙර බිම්බිසාර රජතුමා සරසනු ලැබුවාටත් වඩා මනහරව විසාලා පුරය දක්වා වඩින මග සරසනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට භාග්‍යවතුන් වහන්සේට සුදු සේසත් සතරක්ද එක් එක් හිමිනමට සුදු සේසත දෙක බැගින්ද රැගෙන යන්නවුන් යොදවා පුජා කරමින් ගංතෙරට පැමිණිය. බිම්බිසාර රජු නැව් දෙකක් එක්කොට වේදිකාවක් තනා මල්දම් ආදියෙන් අලංකාර කොට එහි මුළුමනින්ම රනින් නිම වූ බුදු අසුන පනවනු ලැබුවේ මහත් ගෞරවයකින්. භාග්‍යවතුන් වහන්සේත් එහි මහත් වූ තේජසින් වැඩසිටිය. පන්සියයක් බික්සගණද නැවට නංවා සුදුසු පරිදි වඩා හිදවුහ.රජු භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ගොස් ගෙල පමණ දියෙහි බැස හිමියනි ඔබවහන්සේ ආපසු වඩිනා තෙක් මම මේ ගංතෙරෙහිම නැවතී සිටින්නෙමියි වැඳනමස්කාර කරමින් පවසා සිටියේ ඉමහත් ගෞරවයෙන්.

🌻 මනු ලොව බුදුරජාණන් වහන්සේහට ලබා දෙන පුද සත්කාර දෙස බලාසිටි දෙවියන් සහ නාගයන් ද අකනිටා බ්‍රහ්මලෝකයට යනතෙක් පුදපුජා සාදුකාර පවත්වමින් සාදුකාර දෙනු ලැබීම.

උන්වහන්සේට ලැබුණු පුද සත්කාර එතැනින් නතර වුනේ නැහැ. මෙම දර්ශණය බලා සිටි ගග ඉහළින් සිට දේවතාවෝ අකනිටා භවන තෙක්ම පුද පූජා පවත්වමින් සාදුකාර නද දෙන්නට පටන්ගත්තා. එය අසා සිටි ගග පත්ලෙහි වෙසෙන කමබල අසස්තර ආදී නාරජවරු ද එලෙසම පූජාත් සාදුනාදත් පවත්වනු ලැබුවා. මෙසේ මහත් පූජා ලබමින් භාග්‍යවතුන් වහන්සේ ගගෙහි යොදුනක මග ගෙවා විසාල නුවර නගර සීමාවටම පැමිණිය. එහිදී ලිචඡවී රජවරු බිම්බිසාර රජු විසින් කරන ලද ඒ පූජා දෙගුණ කරමින් ගෙලවටක් පමණම දියට බැස භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කළ. එකෙණෙහිම විදුලිය ගසනා පැහැයෙන් අදුරු දුරු වී ගිය අතර අතර සිවු දෙසින්ම දෝර ගලායන මහ වැසි වසින්නට වුනා. ඉනනතුරුව භාග්‍යවතුන් වහන්සේ ගංතෙරෙහි මුල් පියවර තැබූ විටම පොකුරු වැසි වැසීම හටගත්තේ තථාගත ගුණ බලයෙන්. පොකුරු වැසි පිළිබඳව මිට පෙර කිහිප වතාවක්ම විස්තර කරනු ලැබුවා. පොකුරු වැසි නම් ඒ විශේෂිත වැසි වසිනාකල තෙමෙනු කැමැත්තෝ පමණක් තෙමෙනවා. තෙමෙනු නොකමැත්තෝ නොතෙමෙන්නේ නෙලුම් පතකට වැටි ජලය ගලා යන පරිද්දෙන්. හැමතැනකම දනක් පමණට කලාව පමණට ඉගටිය පමණට ගෙල පමණට වතුර ගලයි. මළ සිරුරු ආදී සියළු අපිරිසිදු දෑ වතුරින් ගගට ගසාගෙන අවුත් බිම් පෙදෙස ඉතාමත පිරිසිදු වන්නට වුනා.

ලිචඡවී රජවරුත් භාග්‍යවතුන් වහන්සේ යොදුනෙන් යොදුන නවතාගෙන මහදන් දී දෙගුණයක් පූජා පවත්වමින් තෙදිනකින් විසල් පුරට කැදවාගෙන පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ විසල්පුර පැමිණිවිට සක්දෙවිදුද දෙව් පිරිස පිරිවරා එහි පැමිණියා. මහා බලවත් දෙවියන් රැස්වෙද්දී නොමිනිස් යක්ෂ භූත පිශාචරයන් සියල්ලෝම තව දුරටත් එහි සිටීමට නොහැකිව පලායන්නට වුනා.

🌻 රතන සුත්‍රය දේශණා කිරීම.

භාග්‍යවතුන් වහන්සේ නගර දොරටුවෙහි සිටම රතන සුත්‍ර දේශණාව සජ්ජායනා කරමින් මෙලෙස ආනන්ද හිමිපාණන් හට උපදෙස් දුන්නා. “ආනන්දය, මේ රුවන් සුතුර ඉගෙන (රතන සුත්‍රය) පූජා උපකරණ ගෙන ලිචඡවී කුමාරවරුන් සමග විසාලාවෙහි තුන්පවුරු ඇතුලත සැරිසරමින් පිරිත් කරවයි” අනද තෙරුන්ට එලෙස අනුශාසනා කරනු ලැබුවා. මෙසේ මෙම සුත්‍රය කවුරුන් විසින් කවදා කොහිදී කුමක් නිසා පවසන ලදදැයි යන මේ පැන විසදමින් අදාළ විස්තර ලෙස විසල්පුරය ගොඩනැංවීමේ පටන් පැරණි වියත් ඇදුරන් පහදා දෙනු ලැබුවා.

🌻 අනද තෙරණුවෝ පිරිත් පැන් ඉසිනාවිට පවුරු බිඳගෙන පැන ගිය අමනුෂ්‍යයෝ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරට පැමිණි දවසේම ඒ උවදුරු වැළකීම පිණිස නගර දොරටුවෙහි වැඩසිට වදාරන ලද මෙම රතන සුත්‍ර දේශණාව ගරු කටයුතු ආනන්ද හිමිපාණන් වහන්සේහට මතකයේ තබා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එහෙත් පිරිත් පැන් ඉසීමට යාමට මත්තෙන් උන්වහ්න්සේහට රැකවරණ සලසනු පිණිස කියමින් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත් කල පැන් සමග දෙනු ලැබුවා. ඒ එතෙක් රැඳී පැවති ඉතා බලවත් අමනුශ්‍යන්ගෙන් ආරක්ෂා වීමට. ආනන්ද හිමිපාණන් වහන්සේ රතන සුත්‍රය සජ්ජායනා කරමින් මුළු නගරය පුරාම පිරිත් පැන් ඉසිමින් සැරිසරනු ලැබුවා. උන්වහන්සේ විසින් “යං කිඤචි” යැයි කී පමණින්ම එතෙක් ඉවත් නොවූ කසල ගොඩවල බිත්ති මුළුවල ආදී තැන්හි සැඟවී සිටි යක් භූතයෝ නගර දොරටු සතරෙන්ම පලායන්නට වුනා. ඔවුන් එකවරම බිය වී පැනයන්නට දොරටුවෙත දුව පැමිණි බැවින්ම පිටවීමේ දොරටු අවහිර වුනා. ඔවුන් කොතරම් බියටත් කලබලයට පත්වුවාද යනුවෙන් කිවොත් ඇතැම් දොරටුවල ඉඩ නොලැබ පවුර බිදගෙන ද පලාගියා. යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්‍යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්‍යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්‍යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්‍රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
18-03-2020