Monthly Archives: July 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gPnaFb
අසුචි සෝදන්නට අසුචි ම භාවිතා කළොත් දුගඳ වැඩි වෙනවා විනා අඩු වීමක් සිදු නොවේ. ඒ වගේ ම වෛරයෙන්, වෛරය සංසිඳවන්නට බැහැ. ඒත් පිරිසිදු වතුර යෙදුවොත් ඒ ස්ථානය හොඳට පිරිසිදු කරන්න පුළුවන්. මෛත්‍රිය කියන්නේ ඒ පිරිසිදු වතුර වගේ. වරදක් දැක්ක වෙලාවට ඒකට තදින් අවවාද කිරීම නෙමෙයි මෙතන ද්වේෂය කියන්නෙ. බුදුපියාණන් වහන්සේත් සමහර වෙලාවට ‘මෝඝ පුරුෂය!’ කියලා දොස් නගපු වෙලාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ‘මං ද්වේෂය ප්‍රහානය කරන්න කියාදෙන ශාස්තෘවරයෙක් ඒ නිසා තදින් කියන්න හොඳ නෑ’ කියලා හිටියෙ නෑ. තමන්ගෙ ශ්‍රාවකයාව අකුසලයෙන් බේරගන්නමයි බුදුපියාණන් වහන්සේ කියන්න තියෙන දේ ඒ වෙලාවට වදාළේ. ද්වේෂය කියන්නෙ තමන්ගෙ හිත කිලිටි වෙන විදියට ඇතිවෙන ක්ලේශයක්. තමන් මුලින්ම ‘මට ද්වේෂ සිතක් ඇතිවෙලා’ කියලා අඳුනගන්න ඕනෙ. දුක, පිළිකුල, නො කැමැත්ත මේ ඔක්කොම ද්වේෂ සිත්වල ප්‍රභේදමයි.

මේ බුද්ධ ශාසනයේ අපේ බුදුපියාණන් වහන්සේ‍ ළඟට ප්‍රඥාවෙන් අග තැන දරන්නේ සැරියුත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ ද්වේෂය පාලනය කරගන්න අපූරු ක්‍රම කිහිපයක් කියා දීලා තියෙනවා, පටිඝ නිමිත්ත නැති වෙන විදියට. තරහා වළක්වන සහ සංවර කරන ක්‍රම තමයි මේ.

1. හොඳ ගොඩාක් තියෙන, ඒ වගේ ම වැරදි ටිකකුත් තියෙන අය ගැන හිතන්න ඕනෙ විදියයි මේ. කැලෑ පාරක දුර ගමනක් යනකොට එක මනුස්සයෙක්ට තද තිබහක් එනවා. ඒත් වතුර හොයන්න ඇත්තෙම නෑ. දැන් ඇවිදලා හොඳටම මහන්සියි. එයාට එක පොකුණක් හම්බවෙනවා. ඒත් ඒකෙ සෙවල පරඬැල් පිරිලා. තිබහා වැඩි නිසා මෙයා දැන් කරන්නෙ රොඩු, සෙවල, පරඬැල් අයින් කරලා වතුර බොනවා. සමහර මිනිස්සු මේ පොකුණ වගේ. උඩින් වැරදි පේන්න තිබුණාට අපි පුරුදු වෙන්න ඕනෙ ඒවා හිතින් ඈත් මෑත් කරලා දාලා, ගුණ ටික මතු කරලා ගන්න. ගුණ හිතනකොට අපේ හිතේ තියන පටිඝ සංඥාව දුර්වල වෙනවා. අපි ආශ්‍රය කරන අය එක්ක තරහා නො ගන්න මේ උපමාව ඉතාමත් වැදගත්.

2. දුර්ගුණත් තියෙන, හොඳත් තියෙන අය ගැන මෙහෙම බලමු. බුද්ධ කාලයේ අමු සොහොන්වල මිනී වහලා තියෙන රෙදි, උතුරන පණුවො එක්ක තිබිලා, ඒ ඕජස් වේලුනහම ඒකෙ දිරච්ච ටික කපලා අයින් කරලා හොඳ ම ටික අරන් තමයි පාංශුකූල සිවුර හදාගත්තෙ. ඒ දිරච්ච ටික ඉවත් කරලා හොඳ චූටි කොටස් එකතු කරලා පාවිච්චියට ගන්නවා වගේ අපිත් එකිනෙකාගේ ගුණ විතරක් දකින්න පුරුදු වෙනවා නම් ඒක අපිටමයි සහනයක් ලබා දෙන්නෙ.

3. තව අය ඉන්නවා ටිකක් ගුණ අඩු. දුර්ගුණ වැඩි. ඒ වගේ අය දිහා මෙහෙම බලන්න. කෙනෙක් වතුර හොය හොයා තිබහෙන් පාරක යද්දි, හරකෙක්ගෙ කුර සටහනකට එකතු වෙලා තියෙන වතුර ටිකක් දකිනවා. පිපාසයේ තද කම නිසා ඒ මනුස්සයා දෙදණ නමා අර කුරයේ තියෙන වතුර බොනවා. මේ වගේ සමාජයක චුට්ටක් ගුණ තියෙන මනුස්සයාත් වටිනවා කියලා හිතලා අපි ඒ මනුස්සයාගෙ අර තියෙන ගුණ ටික ගැන ම හිතලා තරහා නැති කරගන්න ඕනෙ.

4. තව ඉන්නවා කිසිම හොඳක් නැති අයත් ඉඳලා හිටලා. මේ අය දිහා මෙහෙමයි බලන්න ඕනෙ. පායන කාලෙක කාන්තාරෙක කෑම වතුර අරන් ගමනක් යද්දි අපිට තව කෙනෙක් හම්බ වෙනවා. ඒ අනිත් කෙනාට වතුරත් නෑ, කෑමත් නෑ, ක්ලාන්ත වෙලා වැටිලා. අපි ළඟ වැඩිපුර කෑමත් තියෙනවා නම් අපිට ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් එන්නෙ. ගිහින් උදවු කරන්න හිතෙනවා. අනේ පව් කියලා හිතෙනවා. ඒ වගේ තමයි වැරදි ම විතරක් කරන අය ගැන අපි හිතන්න පුරුදු වෙන්න ඕනෙ.

5. ගොඩාක් ගුණවන්ත මිනිස්සුත්, ස්වාමීන් වහන්සේලාත් අපිට මුණ ගැහෙනවා. ඒ වගේ අය ගැන තරහක් ඇති වුනොත් මෙහෙමයි හිතන්න ඕනෙ. පෑවිල්ලක් තියෙන කාන්තාරෙක තිබහෙන් ඉන්න කෙනෙක් වතුර හොයමින් යනකොට නුග ගහක් යට මියුරු වතුර තියෙන පොකුණක් මුණ ගැසෙනවා. අපි ඒ පොකු‍ණෙන් ඇති තරම් වතුර බීලා නාලා, අපිරිසිදු නොකර යන්න ඕනෙ. ගුණවත් අය ගැන ඒ විදියට දකින්න ඕනෙ. ඒක වාසි සහගත වෙන්නෙ ඒ ගුණවත් කෙනාට නෙමෙයි අපිටමයි.

* කෙනෙක් ගැන ‘මට නම් ඔය මිනිහා පෙන්නන්න බෑ කියන තරම් ද්වේෂයක් ඇති වෙලා නම් හිතේ, හිතන්න සුදුසු මේ විදියට. මං ‘‍මේ මනුස්සයා පෙන්නන්න බෑ’ කියලා තරහා ගන්නෙ ඒ මනුස්සයාගේ කෙස්වලටද, ලොම් වලටද, නියපොතු වලටද?’ කියමින් වෙන් වෙන් වශයෙන් හිතනකොට අපිට ම ලැජ්ජා හිතේවි.

තරහා ඇතිවීම අපිටමයි අයහපතක් කරන්නෙ. ඒ නිසා සිත නිරතුරු ව පිරිසිදු ව තියා ගනිමු!

(පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අනුසාරයෙනි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/322xHbQ
පිංගියානී සූත්‍රය

“එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පන්සියයක් පමණ ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවර්‍ණවූ, නීලවර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, නීලවර්‍ණ ආභරණ ඇත්තාහු නිල්පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීතවර්‍ණවූ, පීතවර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, පීතවර්‍ණ ආභරණ ඇත්තාවූ රන්වන් වූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ලෝහිතක වර්‍ණවූ, ලෝහිතක වර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, ලෝහිතක වර්‍ණ ආභරණ ඇත්තාවූ රතු පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ස්වේත වර්‍ණවූ, ස්වේත වර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, ස්වේත වර්‍ණ ආභරණ ඇත්තාවූ සුදු පැහැ ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙන්ද, යශසින්ද ඒ හැම දෙනම ඉක්මවා බබළයි.

“එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශවෙක්හිද. ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහේය” යි.

“පිංගියානිය, තට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසුවූ ගාථාවකින් ස්තූති කෙළේය.

“යම්සේ උදෑසන පිපියාවූ, සුවඳ ඇත්තාවූ, පහව නොගිය සුවඳ ඇති රත් පියුමක් වන්නේද, එමෙන් අහසෙහි බබළන්නාවූ සූර්‍ය්‍යයා මෙන් බබළන්නාවූ සර්‍වඥයන් වහන්සේ බලවයි කීයේය.

ඉක්බිති ඒ ලිච්ඡවීහු උතුරුසළු පන්සියයකින් පිංගියානි බමුණා පිදූහ. ඉක්බිති පිංගියානි බ්‍රාහ්මණ තෙම ඒ උතුරුසළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක.

“ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.

කවර පසක්හුගේද යත්? අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ. කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.

“ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.

https://ift.tt/2Neeeik

New at Little Bit


from Path to Nirvana https://ift.tt/31Yly82
වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක්‌ ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්‌, වැඩිහිටි නිවාසයක්‌ තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා.

මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ මනුෂ්‍ය ජීවිතය වසර 75 ක්‌ වැනි කෙටි කාලයක්‌ තමයි ගත කරන්නේ. මේ කාලය කෙටිය කිව්වේ දිව්‍ය, බ්‍රහ්ම සතර අපාය සමග සසඳලා. ඉහත ලෝකවල ආයුෂ බලන විට මනුෂ්‍යයාගේ ආයුෂ හරිම අල්පයි. මේ මොහොතේ ලෝකයේ දියුණු අති නවීන විද්‍යාගාරවල විද්‍යාඥයින් බොහෝම වෙහෙසෙනවා මනුෂ්‍යයාගේ ආයු කාලය වැඩිකර ගැනීමට ක්‍රමවේදයක්‌ සොයාගැනීමට වැඩිපුර වසර පහක්‌ දහයක්‌ මනුෂ්‍ය ආයුෂ වැඩිකර දෙන්න. එහෙත් අවාසනාව කියන්නේ මේ විද්‍යාඥයින්ට සිතාගන්නවත් බැරි විදිහට ළමා, තරුණ, වැඩිහිටි මනුෂ්‍යයන් සිය ගණනින්, දසදහස්‌ ගණනින් මාරන්තික රෝග, ස්‌වාභාවික විපත් වරින් වර මතුවෙමින් අසරණ ලෙස මරාදමනවා.

මේ වරින් වර මතුවෙන ස්‌වාභාවික විපත් වසංගත රෝග හමුවේ ඉහත විද්‍යාඥයින් හරිම අසරණයි. මේ අසරණභාවයට ඔවුන් පත්වෙන්නේ පතපොතේ දැනුමෙන් සියල්ල දැනගත්තත් ධර්මය නොදකින නිසාමය.මේ අයගේ ඇති අවිද්‍යාවේ පුළුල් දැනීම් සම්භාරය නිසා හිතනවා මනුෂ්‍යයෙක්‌ යනු ජීවවිද්‍යාත්මකව ඇතිවුන සත්වයෙක්‌ පමණක්‌ය කියලා. ඉන් එහා කර්මයක්‌, කර්මඵලය ගැන, හේතුඵල ධර්මයක්‌ ගැන ඒ අයට දැනුමක්‌ නැහැ. ඒ නිසා මේ අය නිරතුරුවම උත්සාහගන්නවා තමා උපාදානය කරගත් තම දැනුම උපයෝගිකරගෙන ඇතිකරගත් මමත්වයේ දැඩිභාවය නිසාම මිනිහාගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පාලනය කරන්න. මේ උත්සාහය නිරර්ථක උත්සාහයක්‌.

හැබැයි මනුෂ්‍යයින් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන්. මන්ද, සතර අපායේ සත්වයා විඳින දුක, වේදනාව, කටුක බව සමග සස¹ බලන කොට මනුෂ්‍යයා යනු සැපවිඳින පිරිසක්‌මය. අනාථ කඳවුරක කැඳ උගුරක්‌ පමණක්‌ ලැබී ජීවත් වන මනුෂ්‍යයාද විඳින්නේ සැපයක්‌මය. අවිද්‍යාවේ ක්‍රමවේදයන් විසින් පුහුණුකරන ලද ඉහත විද්‍යාඥයින් ආචාර්ය, මහාචාර්ය මහත්වරුන් සත්වයා සතර අපායේ විඳින දුක්‌ වේදනා දකින්නේ නම්, අවිද්‍යාව නිසා සතර අපායේ තමා උපදින බව දන්නේ නම් ඔය පර්යේෂණ සියල්ල නවතා දමා සතර අපායෙන් මිදීමේ ආර්ය පර්යේෂණයේ යෙදෙනවා නියතය.

භික්‍ෂුව ඉහත සටහන් කළේ පසුගිය වස්‌ කාලයේදී භික්‍ෂුව වැඩ සිටිය රුහුණු ප්‍රදේශයේ කැලෑබද ආරණ්‍යය භූමියේදී භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේත සන්නිපාතයක්‌ ගැන ඔබව දැනුවත් කිරීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදීම වැඩිම ප්‍රේතයින් ප්‍රමාණයක්‌ දර්ශනය වුන කාලය මෙයයි. මෙය කෙටි මනුෂ්‍ය ජීවිතය තුළින් ලබන ප්‍රේත ජීවිතයේ දීර්ඝ බව කියන කථාවක්‌. භික්‍ෂුව සමාධියෙන් පසුවන විට ප්‍රේතයින් සියය, දෙසියය දර්ශනය වුනා. මේ සෑම ප්‍රේතයෙක්‌ම ඉතාමත් විකෘති ප්‍රේතයින්. එක්‌කෙනකුට එක්‌කෙනෙක්‌ විකෘතියි. විකෘති මුහුණු, විකෘති හිස්‌ ප්‍රේත ලෝකයේ අත්විඳින ආදීනවයන්ගේ විවිධත්වය හොඳින් දකින්න පුළුවන්. මේ හැම ප්‍රේතයෙක්‌ම උඩු කයට ඇඳුමක්‌ නැතිවයි සිටියේ. යටි කය වසාගෙන සිටියෙත් කෙටි සරොම් කැබැල්ලකින්. පිනක්‌ දහමක්‌. දැකල, ලැබිල, නැති එවැනි සංඥා නුහුරු ඒ නිසාම අනන්ත දුක්‌විඳින විකෘති, අවිචාරවත් ප්‍රේත සන්නිපාතයක්‌. මේ ප්‍රේතයන්ගේ පිං මද අසරණභාවය දැකලා මේ අය අරමුණු කරලා පිං අනුමෝදන් කළා.

භික්‍ෂුව සොයා බැලුවා මේ තරම් අසරණ ප්‍රේත සන්නිපාතයක්‌ එම ප්‍රදේශයේ සිටින්නේ ඇයි කියලා. මේ අවස්‌ථාවේ කල්‍යණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකගෙන් පහත තොරතුරු දැන ගන්නට ලැබුනා. මේ යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශ අතීතයේ සශ්‍රික ගොවිබිම් සහිත ජනාකීර්ණ ජනාවාස සහිත ප්‍රදේශයක්‌. බැමිනිතියාසාය පැමිණි වෙලාවේ මේවායේ ජීවත්වූ ජනතාව. ඒ දුෂ්ට බමුණා විසින් ඒ අයගේ ගොවිබිම් කුරිරු ලෙස විනාශ කරලා ජනතාව අමු අමුවේ ඝාතනයකර තිබෙනවා. ඉන්පසුව මෙම ප්‍රදේශ කැලයට ගිහිල්ලා. මේ අවාසනාවන්ත ලෙස මැරිච්ච මිනිස්‌සුන්ට පිනක්‌ අනුමෝදන් කරන්න කෙනෙක්‌ ඉතුරුවෙලා නැහැ. තමන්ගේ ගොවිබිම්, දුවා දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය, ආක්‍රමණිකයන් කෙරෙහි ඇතිකරගත් වෛරය, ක්‍රෝධය සමග අවසන් හුස්‌ම හෙලා තිබෙනවා. ඔබම හිතන්නකෝ, තමන්ගේ නිජභූමියේ ගොවිතැන් කරගෙන ජීවත්වුන ගම්වැසියන් ආක්‍රමණිකයන් සියල්ල විනාශකරදමා ගිනිබත් කරනවිට හදවතේ ඇතිවන වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාවේ ගිනිදලු ගෙවල් දොරවල් භවබෝග ගිනිගෙන නැගෙන ගිනිදලුවලට වඩා ප්‍රබලයි නේද? ගම්බිම් කෙත්වතු දවා අළු කළ ගින්න මොහොතකින් නිවී ගියද ඒ අය මැරෙන මොහොතේ හදවතේ අවුළුවාගත් වෛරයේ, ක්‍රෝධයේ ගින්න තවමත් නොකඩවාම ඒ අයව පීඩාවට පත්කරනවා. නිවී යන ගින්නක්‌ උදෙසා බුර බුරා නැගෙන දුක්‌ගින්නක්‌ ‘මගේ’ කරගන්නවා. ඉහත අවාසනාවන්ත ප්‍රේතයින් ලෙස උපත ලබා තිබෙන්නේ අතීතයේ මේ ගම් බිම්වල ජීවත්වුන මිනිස්‌සු කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ආහාර, ඇඳුම් අහේනිය නිසා ඉණ දවටාගත් සරම් කැබැල්ල පිටින්ම ප්‍රේත ලෝකයේ උපදින්න ඇත්තේ ඒ නිසා විය යුතුය. කැලයේ දඩයමේ යන, මීවද, ඖෂධ සොයන්න කැලේට වදින මිනිස්‌සු නොයෙක්‌ හේතූන්ගෙන් මියයනවා. මෙවැනි මිනිස්‌සුද මැරෙන්නේ වෛරයෙන් බියෙන් නිසා විකෘති ස්‌වභාවයන් පිහිටන්න පුළුවන්. භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේතලෝකයේ ප්‍රේතයින්ගෙන් ඉතාමත් අපුලම ප්‍රේතයින් මේ ප්‍රේත සන්නිපාතයතුළ සිටියා. එය විකෘතියේ ලෝකයක්‌. එක ප්‍රේතයෙක්‌ භික්‍ෂුව ඉදිරියේ වැඩි වේලාවක්‌ දර්ශනය වුණා. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවාම ඔබ කවුද කියලා මේ ප්‍රේතයා ගොතගසන ස්‌වභාවයෙන් වචන පිටකරන්න උත්සාහ කළා. භික්‍ෂුවට තේරුණේ ‘කථාකරන්න බැහැ’ කියනවා වගේ. එහෙම කියන විටම දැක්‌කේ එම ප්‍රේතයාගේ උඩුතොල සහ යටිතොල කට වටේම කුණුවෙලා හරියට හොරිදාල වගේ කට කුණුවෙච්ච ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයාට කවුරුන් බෙහෙත් කරන්නද? කවුරුන් සුවදුක්‌ විචාරන්නද? කටකුණුවෙච්ච වේදනාව විඳිමින් කර්ම විපාක ගෙවනවා.

වචනය සංවර කර නොගත් නිසා මුසාවාද, පිසුනාවාච, පරුෂවචන, සම්පප්‍රලාප භාවිතාකළ නිසා අනුනට දුන් දුක තමන් ප්‍රේත ලෝකයේ විඳිනවා. මේ කථාව කියවලා ඔබ දැන් හිතන්න ඕනේ මේ ප්‍රේතයා විඳින දුක ගැන නොවේ. ඒ ගැන හිතලා වැඩක්‌ නැහැ. ඔහුව ගොඩගන්න ඔබට බැහැ. තමා කැමැත්තෙන්ම සකස්‌ කරගත් හේතූන් නිසා ලැබුණු ඵලය තමා ප්‍රේතයා විඳින්නේ. මේ දුක අහල ඔබ කල්පනාකරන්න ඕනේ ඔබේ වචනයත් සංවරද කියලා. සමහර පිංවතුන්ගේ දිව හරියට දැලිපිහියක්‌ වගේ. සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකම තමාගේ පැවතීම, බලය, ආත්මගරුත්වය උදෙසා මේ දැලිපිහියෙන් මොනතරම් අහිංසක ජීවිත රිදවනවද? රැවටීමට ලක්‌කරනවාද? විශේෂයෙන් දේශපාලනයේදී එහෙම…..

සමහර දිනවල භික්‍ෂුව උදේට පිණ්‌ඩපාතේ වඩිනවිට ගෙවල්වල ක්‍රියාත්මක කර ඇති රේඩියොවේ බොහෝම වේගවත්ව අදහස්‌ ප්‍රකාශ කරනවා ඇසෙනවා. ඒ හඬවල්වල ඇති තියුණු, වේගවත්, ප්‍රහාරාත්මක බව ඇසෙනවිට එම හඬවල් අයිති අයිතිකරුවන් මොනතරම් දේවල් ඡන්දරාගයෙන් අයිතිකරගෙන තිබෙනවාද? තව අයිති කරගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඒවා රැකගැනීමට උත්සාහ ගන්නවාද කියල පෙනෙනවා. ඔබ අනුන්ව හදන්න යන්න එපා. මේ අවිචාරවත් දුක්‌දෙන ප්‍රේතලෝකය ගැන සිතලා බිය ඇතිකරගන්න. ඔබ තනි තනිවම නිවැරැදිවෙන්න. ඔබේ කටින් පිටවෙන වචනයකින් තව කෙනෙක්‌ව රිදවන්නේ, මුලාකරන්නේ නැහැය කියලා. එම විශ්වාසය තුළ ජීවත්වන්න. එවිට ඔබ ඔබටම ලියාගන්නා සහතිකයක්‌ ඔබ ළඟ තිබෙනවා. කට කුණුවෙච්ච ප්‍රේත උපතක්‌ ඔබ නොලබනවා කියලා. මේ ආරණ්‍යයේදී දර්ශනය වු ප්‍රේතයින් අතර තව විශේෂ ප්‍රේත පිරිසක්‌ සිටියා. ඒ භික්‍ෂු සහ භික්‍ෂුණී ස්‌වරූපයේ ප්‍රේතයන්. මේ අය අතර විදේශීය ජාතික භික්‍ෂු භික්‍ෂුණී ප්‍රේතයන් සිටියා. දර්ශනය වුන එක ප්‍රේත භික්‍ෂුණියක්‌ හිස සම්පූර්ණයෙන්ම මුඩුකර සිටියේ. නමුත් හරියට හිස මැද හිසකෙස්‌ රොදක්‌ ඉතිරිකර තිබෙනවා. එක අතකට මිට මොලවා ගන්න පුළුවන් ප්‍රමාණයේ එම කෙස්‌ රොද ගොතලා තිබෙන්නේ. සිව්රු කොටට පෙරවු ප්‍රේත භික්‍ෂුණින් විදේශීය අය බව හොඳින් හඳුනාගත්තා. මේ ප්‍රේත භික්‍ෂු භික්‍ෂුණීන් විකෘති දේහයන් සහිත අය නොවේ. මේ අයට විකෘති ශාරීරික ලක්‍ෂණ නොලැබුනේ යමක්‌ කෙරෙහි ඇති කරගත් ඡන්ද රාගය නිසා ප්‍රේත ලෝකයට බැසගත්තත් තමන් විසින් කරන ලද පුද පුජාවල කුසල් විපාකයන් ක්‍රියාත්මක වීම නිසා විකෘති ස්‌වභාවයෙන් තොර පේ‍්‍රත ස්‌වභාවයක්‌ ලැබෙන්න ඇතැයි භික්‍ෂුව අනුමාන කරනවා. මේ භික්‍ෂුණී ප්‍රේතයින් හරිම කඩිසරයි. ඒකෙන්ම පෙනෙනවා මොවුන් යමක්‌ නිත්‍යභාවයෙන් ගෙන එය අයිති කරගැනීමට අධික්‍රියාත්මක භාවයෙන් කටයුතු කර ඇති බව.

ඉහත ආරණ්‍ය පුරාවිද්‍යාත්මක සාධක අනුව ප්‍රකාශ වෙනවා අතීතයේ විදේශීය භික්‍ෂු භික්‍ෂුණීන්ගේ අධ්‍යාපනයට කැපවී තිබූ බව. ඔබට පේනවා නේද ගිහි පැවිදි භේදයකින් තොරව දේශීය විදේශීය භේදයකින් තොරව අපි ගිහින් පදිංචිවෙන ස්‌ථානයක්‌ තමයි කියලා ප්‍රේත ලෝකය. විදේශීය රටවලින් ඇවිල්ලත් මහණකම නොවේ කරල තිබෙන්නේ. බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, නොවේ වඩල තිබෙන්නේ ‘ප්‍රේතානුස්‌සතිය’ යි. මොවුන් අතහැරීම නොවේ කරල තිබෙන්නේ. මොවුන් මේ අල්ලාගෙන ඉන්නේ කුමක්‌ද? ආරණ්‍යයද, පන්සලද, ඉඩකඩම්ද, සිව්පසයද, පූජාවස්‌තුද මේවා නොවේ. මේවාට වර්තමානයේ අයිතිකරුවන් සිටිනවා, බලධාරීන් සිටිනවා. එසේ නම් මොවුන් මේ වසර එක්‌දාහස්‌ තුන්සීයක්‌ වැනි අතීතයක සිට මගේ කර අල්ලාගෙන බොහෝම කඩිසරකමින් ප්‍රේත ලෝකයේ ජීවත්වන්නේ රූපය කෙරෙහි තමා තුළ ඇති වු ඡන්දරාගයයි. රූපය කෙරෙහි ඇති ඇල්මයි. රූපයට ඇති විඳීම ආත්මයක්‌ කරගෙන චීවරයක්‌ දරාගෙන ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා. මේ අයට වෙහෙස බවක්‌ පෙනෙන්නේ නැහැ. මෙතැනින් මිදෙන්න අවශ්‍ය බවක්‌ පෙනෙන්නෙ නැහැ. ඒක හරියට මේ වගේ දෙයක්‌. පිටකොටුවේ යාචක අම්මා කෙනෙක්‌ ඉන්නවා. තම කුඩා දරුවත් සමග ජීවත්වන්නේ සිඟා කාලා. නිදාගන්නේ කඩ පිලක. ධනය තිබෙන මහත්මයෙක්‌ ඇවිල්ලා මේ යාචක අම්මාගෙන් දරුවා හදාගන්න ඉල්ලනවා. පාසල් යවල හොඳට උගන්වන්නම්, අනාගතය බාර ගන්නම් කියලා. ඒත් ඒ යාචක අම්මා දරුවා දෙන්නේ නැහැ. ඒ යාචක අම්මා දන්නේ නැහැ දරුවා දුක්‌ය විඳින්නේ කියලා. ඒ යාචක අම්මාගෙයි දරුවාගෙයි කර්ම ශක්‌තිය සැපය කර අල්ලාගත් උපාදනය. ප්‍රේත භික්‍ෂුණීන්ගේ ස්‌වභාවයත් එසේමයි. ප්‍රේත ලෝකයේ උපතක්‌ යනු කර්ම විපාකය නිසා සකස්‌වන ඔබගේ කැමැත්තයි. එය හරියට මත් වතුර පානය කර කාමයේ වරදවා හැසිරීම නිසා මාරාන්තික රෝගයන්ගෙන් විනාශවන ජීවිත වගේ ඔවුන් සැපයක්‌ කර අල්ලා ගන්නේ දුකක්‌ය. කෙටි ආශ්වාදයත් දීර්ඝ ආදීනවය යන දෙකම තමාම විඳිය යුතුය. කෙටි ආශ්වාදයට ඇති ඡන්දරාගය ඔබට දීර්ඝ ආදීනවය වසන් කරයි. මත්වතුර කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත හොත් ඔබේ විනාශයත්, ඹෘෂධිය පානයක්‌ කෙරෙහි ඔබ තෘෂ්ණාව ඇති කරගත හොත් ඔබේ සැපයත් ඇතිකරයි. විනාශයත් සැපයත් දෙකම ඇතිකර ඇත්තේ තෘෂ්ණාව විසින්මය. මේ හේතුඵල ධර්මයන් ඔබේ ජීවිතයට ගලපා ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීම තුළින්මය. ප්‍රේත ලෝකයේ විකෘති දුක්‌ බව, විවිධත්වය යෑයි කියන්නේ මනුෂ්‍යයා විසින් කරගන්නා කාය, වචී, මනෝ කර්මවල විවිධත්වයයි. එහි ඵලයයි. ප්‍රේත ලෝකයේ දුක යනු ඔබගේ අකුසල් කර්මයන්ගේ ප්‍රතිබිම්බයයි. එය හරියට කණ්‌නාඩිය ඉදිරියට ගොස්‌ ඔබ දකින ඔබගේම රූපය වගේය. ඔබ ඔබටම වගකිව යුතුය. ඔබ බියවිය යුත්තේ ප්‍රේත ලෝකයේ උපතකට නොවේ. ප්‍රේත ලෝකයේ උපතකට හේතුවන අකුසල කර්මයන් සිදුකිරීමටය. ඔබ අතින් එවැනි අකුසල කර්මයක්‌ සිදුනොවේ නම් ඔබ සතර අපායෙන්ම නිදහස්‌වීමේ සුදුසුකම ලබයි. එය ඔබට ලොව්තුරා බුදුසමිඳුන් ලබාදෙන සහතිකයයි. මනුෂ්‍යලෝකයේදී ඔබ කාමයන් තුළින් කෙටි ආශ්වාදයක්‌ හෝ ලබන නමුත් බහුතරයක්‌ ප්‍රේතයින්ට මේ කෙටි ආශ්වාදයද අහිමිය. යම් හෝ කෙටි ආශ්වාදයක්‌ ලැබුණද එය ඒඩ්ස්‌ රෝගියෙක්‌ සමග කාමයේ වරදවා හැසිරුණු අයෙක්‌ ලබන සැපය වගේය. ඒ කෙටි ආශ්වාදය උදෙසා මුළු ජීවිත කාලයත්, පරලොවත් එහි ආදීනවයන්ගෙන් වන්දි ලැබිය යුතුය. ආශ්වාදය ලැබුවේ විනාඩි 05 කාලයක්‌ වීමට පුළුවන. එහි ආදීනවය කල්ප ගණනාවක්‌ දීර්ඝවීමට පුළුවන. මේ කෙටි සැපය සහ දීර්ඝ ආදිනවය අවිද්‍යාව නිසාම ඔබ ස්‌වකැමැත්තෙන්ම තෝරාගත්තෙකි.

ඔබම කල්පනාකර බලන්න ඉහත සිදුවීම් ඔස්‌සේ පසුගිය වසර 40ක පමණ කාලය තුළදී උතුරු නැගෙනහිර යුද කලාපවල ඝාතනය වන ලද සෑම ජාතියකම මිනිසුන් ප්‍රමාණය දෙස බලන විට මොන තරම් අසරණ ප්‍රේතයින්, ප්‍රේතියන්, යක්‍ෂයන් ඔය ප්‍රදේශවල දුක්‌විඳිනවා ඇතිද? සරණක්‌ පිහිටක්‌ නොමැතිව ද්වේෂය, වෛරය තව තවත් වඩමින්…. ජීවත්ව සිටින මනුෂ්‍යයින් ඉන්න වෛරය, ද්වේෂයට වඩා මියගිය නොපෙනෙන ලෝකයේ සත්වයින්ගේ වෛරය, ද්වේෂය අධිකය. මන්ද ඔවුන්ගේ වෛරය, ද්වේෂය ඇවිළෙනවා මිස නිවීමට අවශ්‍ය සාධක සතර අපායේ නොමැති නිසාය. ඔවුනගේ දහම අධර්මයයි. ඔවුන් දන්නා ගුණධර්මයක්‌ නැත. ජීවත්ව සිටින මිනිසුන් සුඛිත මුදිත කරනවා වගේම නොපෙනෙන ලෝකයේ සිටින වෛරය, ද්වේෂය වඩන සත්වයින්ද සුවපත්කිරීම වැඩදායකය. හැබයි මේවා ඉවරයක්‌ කළ නොහැකි වැඩය. හොඳම දෙය හැකි උපරිම ශක්‌තිය යොදා ඔබ සතර අපායෙන් මිදීයාමය. එහෙත් සෑම විටම ඔබ තෝරාගන්නේ මෙහි කන පිටය. තමා තමාට මෛත්‍රිය කරගන්නේ නැතිව අනුනට මෛත්‍රිය කරගන්නට යාමය. ඔබගේ ඇස ප්‍රකෘති ස්‌වභාවයෙන් තිබුණත් ඇසේ සුද වර්ධනය වෙලා නම් ඇස පෙනෙන්නේ නැත. ධර්මය ලෝකයේ පැවතුන ද ඔබ ධර්මයේ සරණ නොයන්නේ නම් එයත් සුද වසාගත් ඔබේ ප්‍රකෘති ඇස්‌ දෙක වගේය. අපි එයට අවිද්‍යාවේ අන්ධභාවයයි කියමු. එහෙත් ඔබ ජාති අන්ධයෙක්‌ නොවන බව තරයේ සිහිතබා ගත යුතුය. සතිය නමැති සැත්කමේ කතුරින් අවිද්‍යාවේ සුද ඉවත් කර සද්ධාව නැමති කාචයක්‌ ඇසට පැලඳුවහොත් ඔබට නැවතත් විද්‍යාවේ ආලෝකය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් එයද නැවත මැරෙන ඇසක්‌ බව ඔබ දැනගත යුතුය.

දැන් ඔබට වැටහෙනවා ඇති භික්‍ෂුව මේ සටහන මුලදී සඳහන් කළ අවුරුදු හැත්තෑපහක්‌ ජීවත්වන මනුෂ්‍යයාට වසර පහකින්, දහයකින් තම ආයුෂ දීර්ඝකරගැනීමට විද්‍යාඥයින් මොන පර්යේෂණ සිදු කළ ද ලෝකයා කළ යුතු වඩාත්ම වටිනාම පර්යේෂණය නම් සතර අපායෙන් මිදීමේ පර්යේෂණය කියල. එසේ නොවුනහොත් මිනිසා වැඩිපුර ජීවත්වන සෑම තප්පරයකදීම ඔහු විසින් රැස්‌කරගන්නේ සතර අපායට යාමට අවශ්‍ය සාධකමයි. නවීන විද්‍යාවේ නාමයෙන් කෙරෙන අවිද්‍යාවේ ක්‍රමවේදයන් මනුෂ්‍යයා දුක දෙසටම ඇද දමනවා. සතර අපායටම ගාල් කරනවා.

නවීන විද්‍යාව කියන්නේ, තාක්‍ෂණය කියන්නේ සතර අපායට පිරිස්‌ බලය සපයන නියෝජිතයෝ. ඒජන්තවරු. හැබැයි අවසානයේදී මේ නියෝජිතයෝත්, සේවාදායකයෝත් සතර අපායේම ගාල්වෙනවා. සේවාදායකයෝ ප්‍රේත ලෝකයේ සරොම් කැබැල්ලක්‌ හරි දවටගෙන ඉන්න විට ඒජන්තවරු නිර්වස්‌ත්‍රව ප්‍රේත ජීවිත ගතකරනවා. සේවාදායකයෝ තිරිසන් ලෝකයේ කිඹුලෙක්‌ව ඉපදෙනවිට ඒජන්තවරු කිඹුලා ජීවත්වන ජලාශයේම මාළු වෙලා ඉපදිලා කිඹුලාට ගොදුරු වෙනවා. මොකද කර්ම විපාක ඔය මනුෂ්‍යලෝකයේ වගේ සන්තෝෂමක්‌, අල්ලසක්‌ දීල වෙනස්‌කරගන්න බැරි නිසා. එහෙයින් කයින් ක්‍රියාවක්‌ කිරීමට පෙර, වචනයක්‌ ප්‍රකාශ කිරීමට පෙර, මනසින් සිතුවිල්ලක්‌ සිතීමට පෙර සතර අපායේ දුක ගැන මොහොතක්‌ මෙනෙහි කරන්න. එවිට එම ක්‍රියාව නිවරැදි කරගන්න ඔබට පුළුවන්.

නිවරැදිකරගන්නා සෑම ක්‍රියාවක්‌ පාසාම ඔබ පියවර තබන්නේ සතර අපායට විරුද්ධ දිශාවටය. ඒ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතීන් දෙසටය.

අපි හොඳින් කාලා, හොඳින් ඉගෙනගෙන, හොඳින් ජීවත්වෙලා හොඳින් මැරිල යමු. මෙය වර්තමාන සමාජයේ ජනප්‍රිය සුන්දර සටන් පාඨයක්‌. සටන් පාඨයක්‌ යනු මුළාවු සත්වයා තම මෝහයේ ස්‌වභාවය ලෝකයාට හඬගෑමය. සටන් පාඨය සුන්දර වුවද ධර්මයෙන් තොරව ජීවත්වන ඉහත පිරිස්‌ ඇත්තෙන්ම හොඳින් හම්බකරලා, හොඳින් කාලබීල, හොඳින් ජීවත් වුණත් ඔබ හොඳින් නිරීක්‍ෂණය කරලා බලන්න මේ කවුරුවත්ම හොඳින් මැරෙන්නෙනම් නැහැ. අනෙක්‌ සියල්ල අවංකවම හොඳින් කෙරිලා. හැබැයි ප්‍රශ්නය හොඳින් මැරෙන්නේ නම් නැහැ. අන්න දුකට බයට පත්වෙලා. ලෙඩ, රෝග, ව්‍යාධීන් හැදිලා. සිහි මුළා වෙලා. තමාට තමාව කරදරයක්‌ පීඩාවක්‌ බවට පත්වෙලා තමයි මේ අය මිය යන්නේ. මෙහෙම මැරිලා නැවත උපදින තැන ගැන මොනවා කථාකරන්නද? නමුත් ලොව්තුරා බුදුසමිඳුන් දේශනාකරනවා යමෙක්‌ ශීලයෙන් පරිපූර්ණ නම් එම පිංවතා සිහිමුළාවෙන් තොරවයි මිය යන්නේ කියල. එයා ජීවත්ව සිටියදීම තමා උපදින සුගතිභූමි දකිනවා. සතුටුවෙනවා. සාධුකාර දෙනවා. මේවා සටන් පාඨ නොවේ. හේතුඵල ධර්මයේ හේතුව ඵලය පැහැදිලියි විවෘතයි. ලෝකයා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, ශීලයෙන්, කර්මය කර්ම ඵල විශ්වාසයන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිනිස්‌ ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. මෙහි සුවිශේෂ ලක්‍ෂණය තමයි ලෝක ජනගහණය ඉහළ යන විට ථේරවාදී බෞද්ධ ජනතාවගේ සංඛ්‍යව සීඝ්‍රයෙන් පහළ බසිනවා. ඒ කියන්නේ වැඩිවන හැම උපතක්‌ම සිදුවන්නේ හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, මහායාන ධර්මය අවිද්‍යාව ධර්මය කරගත්ත මව්කුසක්‌ තුළින්. මෙලෙස බිහිවන ලෝකයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහයෙන් වෙලාගත් කායික, මානසික, ස්‌වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවිඳින, ඉන්ද්‍රියන් පිනවීමට වෙහෙසෙන ජනතාවක්‌ වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්‌. ලෝකය නිරතුරුවම සකස්‌වෙන්නේ දුක දෙසට. සත්වයා විසින් අවිද්‍යාව නිසා අකුසල් කිරීම වැඩි වන තරමට ඒවා විපාක දීමට සුදුසු ලෝකයක්‌ ඉදිරියේ බිහිවන්නේ. මේ ගමන අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්‌මයි. උන්වහන්සේ පිරිනිවී ශාසනය දුර්වලව යන විට මාරපාක්‍ෂික ධර්ම, ලෝකය ඩැහැගන්නවා. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ මේ ක්‍රියාදාමයයි. මේ මොහොතේ ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු, මහායාන ආගම්වල විශාල ප්‍රචාරාත්මක ගුණාත්මකභාවයක්‌ බාහිරින් පෙනෙන්නට තිබුණද එම ගුණාත්මකභාවය මායාවක්‌. ථෙරවාදී බුදුදහමට සහ එහි ඉගැන්වීම්වලට මුහුණ දීම සඳහා ඇතිකරගත් ආරක්‍ෂක ක්‍රමවේදයක්‌. අනාගතයේදී නිවන අරමුණුකරගත් සැබෑ ථෙරවාදී බුදු දහම ධර්ම විනය දෙක මාරපාක්‍ෂික ධර්මවලට යට වී යන විට ඉහත ආගම්වල ගුණාත්මක භාවයද පිරිහීයනවා. මොකද ඒ පිංවතුන්ට තරග කිරීමට, අභියෝගයක්‌ එල්ල වීමට නිවන අරමුණු කරගත් මනාව හේතුඵල ධර්මයන් අනුව දේශනා කර වදාළ ධර්මයක්‌ ලෝකයේ නොමැති නිසා. ථෙරවාදී බුදුදහම ලෝකයේ පවතින නිසයි අන්‍ය ආගම්වල ගුණාත්මකභාවයක්‌ සඳහා ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ලෝකයේ ස්‌වභාවය නුවනින් දැක ඔබද ලෝකයෙන් එතෙර වීමට අවශ්‍ය සාධක ජීවිතය තුළින් පරිපූර්ණ කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ජීවිතයේ කොටසක්‌ කරගන්න. ඔබේ දුවා, පුතා, බිරිඳ, ගේදොර ඔබ ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වනවා වගේම ඒවායේ සුබසාධනය උදෙසා වෙහෙසෙනවා වගේම එම කටයුතුද අලස නොවී ඉටුකරමින් ඉහත තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වන්න. අතීතයේ කළ පිංකම් නිරතුරුවම සෑම රාත්‍රියකම මෙනෙහි කරන්න. එම පිංකම් ආරක්‍ෂා කරගත්තා වු ශීලයන් දුන්නාවු දානයන් පිළිබඳ මතකයන් නිරතුරුවම අලුත් කරගන්න. ඔබ සිදුකළ පිංකම් අමතකවයාමට ඉඩ නොදෙන්න. ජීවිතය තුළින් දේවානුස්‌සතිය වඩන්න. ඔබ මේ ගමන් කරන්නේ සතර අපායෙන් මිදෙන දිශාවට බව සිහි කරන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ADZtAk
සනරාමර ලෝක ශිවංකර වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේන්ගේ පරිනිර්වාණයෙන් තුන්සිය දෙවැනි වර්ෂයෙහි ලක්දිව රජ පැමිණි දුටුගැමුණු මහරජතුමා(බු: ව: 383 , ක්‍රි :පූ: 161) විසින් කෝටි දහසක් පමණ ධන වියදමින් අනුරාධපුර නගරයට දක්‍ෂිණ දිශාභාගයෙහි වූ මහමෙවුනා උයනෙහි මේ මහා භද්‍රකල්පයෙහි බුදු වූ කකුසඳ,කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදු වරයන් වහන්සේ වැඩ විසූ ස්වර්ණමාලී සෑය සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ.

අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. අවසානයෙ සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලද ද්‍රෝණයක් පමණ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ තිදන්කොට ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද මේ පූජනීය භුමියේ වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන විට සෑ භූමියේ රන්තෙලඹු ගසක් විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට පැවසු අතර පසුව ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ

🌺 වන්දනා ගාථාව

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේ වනාහි ඒ ඒ කාලවලදී ලක්දිව රජ පැමිණි සිංහලීය නරවරයන් විසින් නැවත නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කරන ලදහ. සිංහල නරවරයන්ගේ ජයභූමියක් වූ ඒ අනුරාධපුර නගරය පසු කාලයකදී ලෝක ධර්මය වූ පරිදි නටබුන් විය. නගරය පමණක් නොව මුළු පළාත ම ජනයාගෙන් හිස්ව වල් වැවි වන මෘගයන්ගේ වාසස්ථානයක් විය. මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස දිස් වීය.

මෙසේ පවතින කල නාරන්ඕවිට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්හ. ක්‍රි.ව 1884 දී පමණ චෛත්‍ය බඳ වන්නට පටන් ගත්තේය. පටන්ගත් නමුත් උන්වහන්සේට එය අවසන් කරන්නට නුපුළුවන් වීය. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් බැඳ වූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුනේය. ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්න ලදී. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත් සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද කරවීය. එහෙත් චෛත්‍ය මස්තකයෙහි පැළඳ විය යුතු චුඩා මානික්‍ය සම්බන්ධයෙන් දුෂ්කර තත්වයකට පත් විය. පුවත් පත් වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩා මාණික්‍යය වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් නොලැබිණි. අවසානයේදී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු යු. විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය සෙවුහ.බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී දුෂ්කර තාවය උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චුඩා මාණික්‍යයක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළහ. චුඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චුඩා මාණික්‍යයක් සොයනු සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවතී සම්මුඛ වන මහා තෙරුන් වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චුඩාමානික්‍යට සරිලන පළිඟුවක් ගැන විමසු නමුත් එයින් පලක් නොවීය. ඉන්පසු උන්වහන්සේ අමරපුරය නම්වූ උඩබුරුමයෙහි මැනික් ගැන සුපතල මෝගොක් නගරයට වැඩියහ. ඒ නගරය වනාහි මැණික් ආකර හිමියන්ගෙද . මැණික් වෙළඳුන්ගෙද , මැණික් කර්මාන්තය කරන කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි. නායක හිමියන්වහන්සේ එහි වෙසෙන් මැණික් වෙළඳුන්ට හා මැණික් ආකාර හිමියන්ට තමන්වහන්සේ පැමිණි කාරණය දැන්වීය. ඔව්හු මේගැන මහත් සැලකිල්ලක් දක්වා උවමනා කරන පලිඟුවේ ගණන් මිනුම් ගෙන එතෙක් ලැබී තිබුණු පලිඟු ඉතා ඔනෑ කමින් පරීක්ෂා කළහ. චුඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක් වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළහ. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් ඒවායේ වටිනා කමින් අධිකය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවේය. රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන් එම දුර්ලභ වස්තුව දැක බොහෝ සෙයින් සතුටු වී බුරුම හිමි පානන්ට අනේක ආකාරයෙන් ස්තුති කරමින් සතුටු වුහ.

ඉක්බිති රුවන්මැලි චෛතය සමිතියේ මහත්වරු ආකාරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවීය. කුඩා මැණික් ගල්මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි විය. එබැවින් දෙවන දුෂ්කර පැනයට සමිතියේ මහතුන්ට මුහු දෙන්නට වීය. එය විසඳා ගැනීමට ඔව්හු පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය සෙවුහ. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චුඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූහ. උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩා මාණික්‍යයේ සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩා මාණික්‍ය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වුහ.

චුඩා මාණික්‍යයේ සැලැස්ම පරිදි පලිඟුව කපා ගෙනගිය නමුත් එක පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය. මාස ගණනක් මුළුල්ලේ රටින් රට ඇවිදිමින් කරන ලද ව්‍යාපාරය නිෂ්පල විය. කොතෙක් දුෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත් දෙය මුදුන් පත් වන තෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුම නායක මාහිමියන්වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පළිඟුවක් සොයන්නට වන්හ. විනයාලංකාර බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණි. ඔව්හු එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට පරිත්‍යාග කළහ. ඒ පලිඟුව රුපියල් අටදහසක් අගනේ විය. මොගාක් නුවර ආකාරවලින් ඉන් පෙර කිසිවකු විසින් එපමණ මහත් පළිඟුවක් ලබා නැත. මේ අවස්තාවේදී ම මෙබඳු චුඩා මාණික්‍යයට ප්‍රමාණවත් පළිඟුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තත් දන්නා සියලු දෙනාම පුදුමවුහ. දෙවනුව ලද ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩා මාණික්‍යය කපන ලදී. එහි උස අඟල් 18කි. වට පමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.

🌺 චූඩාමාණික්‍යය සැරසීම

පලිඟුව කපා අවසාන වූ කල්හි බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වීය. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුහ. එයින් සතුටට පත් නායක හිමිපාණෝ එය කරවීමට මොගොක් නුවර ධනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබුනත් තමාගේම වියදමින් නායක මාහිමියන්වහන්සේගෙන් අවසර ලැබෙන සැටියට කරවා දෙමි’යි ප්‍රතිඥා කොට කට යුත්ත භාර ගත්තේය. එම කටයුත්ත සිය ඇස් ඉදිරියේම පිරිසිදුව කරවන්නට කල්පනා කළාවූ ඒ මහතා ඒ සඳහා උවමනා සියලුම උපකරණ අලුතින්ම තම නිවසට රැස්‌ කරවා රන් කරුවන් හා මැණික් කපන්නන්ද සිය නිවසට ගෙන්වා ආරක්ෂා සහිතව එම කාර්ය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුමනායක මාහිමියන් වහන්සේ වනාහී සිතුවහොත් කොතරම් වියදම් වන දෙයක් උවත් ලෙහෙසියෙන් සිදු කල හැකි මහා පින් ඇත්තෙකි. එබැවින් කාර්ය ආරම්භ කරනු සමගම රන් රිදී සහ මැණික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්රනනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිමවන ලදී.

චුඩා මාණික්‍යය පිහිටවූ අඩියේ උස අඟල් 13 කි. බර රාත්තල් 156කි. එය වසා පෙරවීමට රත්තරන් රාත්තල් 12ක් ගන්නා ලදී. එහිඉතිරි රාත්තල් 144 රිදීය.

මේ සඳහා ලැබුණු මැණික් ගල් 7684කි. ඒවා අතර රුපියල් 15000ක් (එකල මිල) පමණ වටිනා ලෝහිතංක මානික්‍යක්ද වීය.ලැබුණු මැණික් ගල් අතර රුපියල් 5ක් නොවටිනා එකම ගලකදු නොවීය. මැණික් සියල්ලම චුඩා මාණික්‍යයට ඇල්ලවිය නොහැකි බැවින් තෝරාගත් වඩා වටිනා මැණික් 4350 කින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ඒ මැණික් වලින් 15000 ක් අගනා ලෝහිතංක මැණික් සහිත අගනා ගල් 1144 කින් චුඩා මාණික්‍යයේ මුදුන සරසා තිබේ. අඩිය සහිත චුඩා මාණික්‍යය උස අඟල් 31කි.

🌺 ධාතු වැඩීමේ ආශ්චර්ය සිද්ධීන්

චුඩා මාණික්‍යය මුදුනෙහි පිහිටවන ස්වර්ණමය කරඬුවෙහි වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් ධාතුන්වහන්සේලා 9 නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනෝය. චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙහි නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පුදුම වුහ. ඒ ආශ්චර්ය දැක සැම දෙනාම සතුටින් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන්වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බැලූ කල්හි ධාතුන්වහන්සේලා 98ක් දක්නා ලදහ.ඉක්බිති බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වුවන් සාධු නාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුහ.

ඉක්බිති චුඩා මාණික්‍යය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සව ශ්‍රී යෙන් බුරුමයේ රැන්ගුන් නගරයට පමුනවනු ලැබීය. රැන්ගුන් නගරයට ගෙනයන චුඩා මාණික්‍යය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණන් ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්වේද ගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ මහත් ආදරයෙන් මහත් වූ උත්සවයෙන් පිලිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගී වනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන්වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුන්වහන්සේලාගෙන්ද,රජයේ ඇමතිවරුන් සහ උසස් නිලධාරීන්ගෙන්ද, නොයෙක් සමිති වෙනුවෙන් පැමිණි සිටි නියෝජිතයන්ගෙන්ද, ජන ප්‍රධානයන්ගෙන් හා මහා ධනවතුන් ගෙන්ද යුක්තවූ ලක්ෂයකට අධික ජනකායෙක් පැමිණියෝය.
දුම්රියපළේ සිට විශේෂයෙන් පිලියල කරන ලද රථයක තබා චුඩා මාණික්‍යය ලක්ෂයක් පමණ ජනයාගෙන් යුක්තවූ මහ පෙරහැරකින් රැන්ගුන් නුවර ශ්වේද ගොන් චෛතයස්ථානයට පමුණුවා එහිදී මහා ජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්දිවට පැමිණ විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්මැලි චෛත්‍යය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී. මෙසේ ආශ්චර්ය ලෙස ලැබී සැපයුණ මේ අනර්ග වස්තුව රුවන්මැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවෙන් බුරුම ජාතික විනයා ලංකාර හිමි පානන් විසින්ම රුවන්මැලි සෑයේ පළඳවන ලදී.

🌺 මහා සෑයේ තැන්පත් කර ඇති නව චූඩාමාණික්‍යය අසිරිය

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.

රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දිනවල කෙරේ. නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.

උපුටා ගැනීම රේරුකානේ චන්දවිමල හිමිපාණන්ගේ සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති නම් පොත ඇසුරිනි.

උපුටා ගැනීම හර්ෂනී ප්‍රමෝද්‍යා බුලත්සිංහල

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.