'නාථකරණ සූත‍්‍රය – 10 කොටස' ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස අවිද්‍යා, කාම, තණ්හා, ආහ…

‘නාථකරණ සූත‍්‍රය – 10 කොටස’

ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස අවිද්‍යා, කාම, තණ්හා, ආහාර කියන තැන ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය මවුකුසට බැසගත්තාට පස්සෙ එතනින් අවසන් වෙනවාද?

නෑ. එහෙම නෑ. විඤ්ඤාණය මවු කුසට බැසගෙන නිරුද්ධ වෙන්නෙ නෑ. ඒ ප‍්‍රතිසන්ධි මට්ටමේ සිතට තමයි ඊට පස්සෙ භවාංග සිත කියලා කියන්නෙ. ඒකෙන් ඊට පස්සෙ කරන්නෙ නාම රූප දෙක හදන එක විතරයි. සිතේ තියෙන ගති ටිකට රූපය සකස් කරනවා. ස්ති‍්‍රයක් විදියට. පුරුෂයෙක් විදියට කළු, සුදු, මිටි, උස, ලස්සණ, කැත මනුෂ්‍යයෙක් කියලා ඔය අපි කතා කරන්නේ විඤ්ඤාණය බැසගෙන කරන වැඩ ගැන. නාම රූප දෙක හදන එක
තමයි කරන්නෙ. නාම රූප දෙක හැදෙනවා කියන්නෙ ආයතන හැදෙනවා.

ආයතනවලට ගැටුනම ගැටෙන අරමුණත් ඉන්න තැන ඉඳලම දැනගන්නවා. ඔය ටිකත් අයිති විපාක මට්ටමේ තියෙන ප‍්‍රතිසන්ධි සිතටමයි. ඒ ආයතන වලට ගැටිලා අහන, දකින දේවල ඇත්ත නොදන්නාකමින් අද හිතන්න පටන් ගන්නකොට අන්න දැන් නව කම, දැන් කර්ම නිමිති හදාගන්නවා. මේ සිත් අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් උපදින ඒවා.

දැන් ඇත්ත නොදන්නාකමින් දැනගන්නා දැන ගැනීම් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තැනින් දැනගන්න එකක් මිසක ඒ දැනගැනීම දැන් අයිති නැහැ. අර ප‍්‍රතිසන්ධි විපාකයට. වර්තමාන කෙලෙස්, කර්ම ටික හැදෙනවා දැන්. ඒ අදහස් වලින් ආයතන ටික උපද්දන කොට වර්තමාන කර්මයට වර්තමාන විපාක. ඒ විපාකයටයි තණ්හා කරන්නෙ.

අපි ඔරලෝසුවට තණ්හා කරන කොට තණ්හා කළේ ඔරලෝසුවක් දැකලා ඇතිවෙන වේදනාවට ඒක අයිති විපාකයට. ඔරලෝසුවක් දැකලා සැප විඳින්න හෝ දුක්විඳින්න පුළුවන්කම ලැබුනෙ ඔරලෝසුව කියන චේතනාවෙන් බලපු නිසයි, කර්මයටයි. ඒක අයිති වර්තමාන කර්මයට, චේතනාවට. වර්තමාන කර්මය අයිති අතීත ස්කන්ධ ටික, වර්තමාන විපාක ටික පිරිසිඳ නොදන්නාකමට. ඇස් ඉදිරිපිටට ආවෙ වර්ණ සටහනක්. විඤ්ඤාණ, නාම රූප, සළායතන ඔරලෝසු හැදුවෙ නෑ. එයා ආයතන ටික හදලා ඒ ආයතන ටිකෙන් වර්ණ සටහනක් හදලා ඒවටම පෙන්නන්න සලස්වලා තියෙන්නෙ.

දැන් මේ හිත හරි කපටි වැඩක් කරලා තියෙන්නෙ. කපටිත් නෙවෙයි ඒක එයාගෙ කෂේත‍්‍රය. ලෝකෙ හැටි. හැම කෙනෙක්ම, හැම සතෙක්ම, හැම ධර්මතාවයක්ම ආහාර උපද්දවාගෙන පරිහරණය කරනවනෙ. එතකොට එයාට
ආහාර උපදවා ගන්න ක‍්‍රම උපායන් කරන්න වෙනවා. දැන් කෙනෙක් ගොවිතැන් කරනකොට ඒ ගොවිතැනට එයාට වතුර ටික හරවා ගන්න ඕන, ඒ සඳහා ඇල වේලි කපන්න ඕන. ඔය ක‍්‍රම උපායන්. ඒ වගේ ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියේ පෙර ජීවිතයේ ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත නොදන්නාකම නිසා ඔරලෝසුව කියලා හිතලා ඔරලෝසුවට කැමති වුනා නම් දැන් ඔරලෝසුව බලන්න තියෙන ඕනකමටයි නැවත ප‍්‍රතිසන්ධි වශයෙන් ආවෙ.

ඊට පස්සෙ මේ සිතෙන් කරන්නෙ නැවත ඔරලෝසුවක් බලන්න පුළුවන් විදියෙ ඇහැක් හදන එක. ඔරලෝසුවකට තණ්හා කළා කියලා තණ්හාවට බෑ ඔරලෝසු අරන් දෙන්න. තණ්හාවට පුළුවන් ඔරලෝසුවක් හදාගන්න පුළුවන් විදියට ඇහැ හදලා දෙන්න. ඒ ඇහෙන් රූපයක් හම්බ වෙනකොට අවිද්‍යාවෙන් ඒක ඔරලෝසුව කරලා ආපහු අපිට දෙනවා.

මෙතන දී රූප බලන්න තියෙන තණ්හාව මුල් කාරණාව කරගෙනයි උපන්නෙ. දැන් තණ්හාව නමැති වඩුවා තමයි මේ ගේ හදලා තියෙන්නෙ. විපාක සිතක් වුනාට කමයෙ ගති ටික මෙතන තියෙන්නෙ. විඳින්න ඕන
කමින්නෙ ආවෙ. දැන් මෙයා මොකද කරන්නෙ තමන්, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ වලට තණ්හාවෙන්නෙ ආවෙ. ඒවයි එයාට ඕනෙ. දැන් එයා ඒවා ලබා ගන්න ක‍්‍රමය හදාගන්න ඕනෙ. එයා ඒ සඳහා භූමිය හදාගන්නවා.
විඤ්ඤාණය කරන්නෙ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හදලා ප‍්‍රසාද ටික හදාගන්නවා. රූප පැටලෙන විදියට ඇහැ, ශබ්ද පැටලෙන විදියට කන, ගන්ධ පැටලෙන විදියට නාසය මේවා ගෝචර රූප ගොදුරු.
මෙහේ උගුලක් අටවලා තියෙන්නෙ. සත්තු පැටලෙන විදියට. මේක හරියට මකුළුවා දැලක් වියනවා වගේ සිද්ධියක්. මකුළුවා සත්තු කන්න ඕනෙ නිසා දැලක් බැඳලා පැත්තකට වෙලා ඉන්නවා වගේ මේ භවංග සිතෙන් කරන්නෙත් ඔය සිද්ධියමයි.

මකුළුවා දැල වියනවා වගේ, භවංග සිතත් ආයතන හදලා, හදපු ආයතන ටික සවිඥානක කරලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ ආයතන ටිකෙන්ම රූපයක් හදලා ඒ රූපෙම ඒ ආයතනයට ගැටෙන කොට ඔන්න එයා දැන් රූපයක් විඳිනවා, ශබ්දයක් විඳිනවා, ගන්ධයක් විඳිනවා, පුරාණ කර්මයටයි ඔය වි`දීම. ඊට පස්සෙ ඒ විඳින තැනක පවතින ඇත්ත ඇති හැටියෙ නොදන්නකොට නොදකිනකොට ආයෙත් පෙර ජීවිතේ වගේ ආශ‍්‍රව යෙදෙනවා.

එයාට හිතෙන්නෙ මම ඔරලෝසුවක් දැක්කා. මනුස්සයෙක් දැක්කා. කේක් කෑල්ලක් කෑවා වගේ තැනකින් නිමිති තියෙන්නෙ. ඒ නිමිත්තට කැමති වෙලා කේක් කෑල්ලක් කන්න ඕන රූපෙ බලන්න ඕන ඔරලෝසුව බලන්න යන්න ඕන කියලා ඒ අදහසින් නැවත ආයතන උපද්දවා ගන්නකොට දැන් මේ ආයතන ටික වර්තමාන කර්මයට වර්තමාන විපාක. දැන් ඔරලෝසුවලට, දරුවන්ට, රත්තරං වලට තණ්හාව තමයි තියෙන්නෙ.

මුලින් තිබුනෙ රූප තණ්හා, ශබ්ද තණ්හා, කියන තැනක කෙලේසයකට ඒවා විඳින්න තියෙන ක්ෂේත‍්‍රය හදාගෙන අරමුණු ටික විඳින එක විතරයි කළේ. විඳපු ටිකේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැක්මකින් දැන් අපි තණ්හා කළොත් නැවත විඤ්ඤාණය රූපෙකට බැහැගෙන ඒ කය සවිඥානක කරලා ප‍්‍රසාද ටික හදලා රූප බලන්න, ශබ්ද අහන්න අවස්ථාව ලබා දෙනවා. මේක කෙළවරක් නැති ගමනක්.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!