New photo from Facebook July 13, 2016 at 09:38AM

උත්තරී මනුෂ්‍ය ධර්ම නම් ධාන්‍ය මාර්ගඵලය

උත්තරී මනුෂ්‍ය ධර්ම යන්නෙහි තේරුම දස කුශල ධර්ම නම් වූ මනුෂ්‍ය ධර්මය ඉක්මවා ලැබිය යුතු ධර්ම යන්නයි. දශ කුශල ධර්ම වලට අයත් මනෝ කර්ම තුනකි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි භාවනා නමින් එන්නේ භාවේතීති භාවනා වඩානුයි භාවනා නම්, කුමක්ද වඩන්නේ? සිතයි වඩන්නේ. ඒ ඇයි? තමාගේ මුළු ජීවිතයම සංවර්ධනය කිරීමේ හෝ විනාශ කිරීමේ බලය ඇත්තේ සිතට නිසයි.

කාය – වාක් කර්ම සංවර්ධනය නම් වූ සීලය හෙවත් කාය – වාක් සංවරය පාලනය, මනෝ කර්ම නම් වූ භාවනාවේ මුල් අදියරය යි, ආරම්භය යි. මේ කාය වාක් සංවරය, පිරිසිදුකම නැත්තෙකුට කිසිසේත් භාවනාවෙන් ලැබිය යුතු ධාන්‍ය මාර්ගඵල නොලැබිය හැකිය.

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ – චිත්තං පඤ්ඤංච භාවයේ”
‘නුවණැති මිනිසා සිල්වත් වී සිත ද නුවණ ද වඩයි’යන මේ බුදු වදනින් දක්වන්නේ එයයි.

භාවනාවෙන් ලැබිය යුතු මේ ධාන්‍ය මාර්ගඵල ලැබිය හැක්කේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයනට පමණක් ය. සෙසු ද්විහේතුක ඒක හේතුකයනට කොතෙක් භාවනා කළත් මේ ආත්මයේදීම, මේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට නොහැකි වුවත්, හැකිතාක් ඉක්මනින්, ඉදිරි ජාතියකදී තම අදහස සඵල කර ගැනීමට තමාගේ මේ උත්සාහය බලවත් උපකාරයක් බව සලකන්නේ මැනවි.

= භාවනා ප්‍රභේද =

උත්තරීතර මනු‍ෂ්‍ය ධර්මයට අයත් ධ්‍යාන මාර්ගඵල ලැබිය හැකි භාවනා ක්‍රම දෙක හඳුන්වන්නේ චිත්ත භාවනා හා ප්‍රඥා භාවනා නමිනි. චිත්ත භාවනාවෙන් ධ්‍යානත්, ප්‍රඥා භාවනාවෙන් මාර්ගඵලත් ලැබිය හැකි ය. චිත්ත භාවනා සමථ භාවනා නමින්ද, ප්‍රඥා භාවනා විදර්ශනා භාවනා නමින්ද පළවෙයි. සමථ, චිත්ත භාවනා, ලෞකික ලෝකෝත්තර දෙඅංශයටම බර වුවත්, විදර්ශනා ප්‍රඥා භාවනා බර වන්නේ ලෝකෝත්තර පැත්තට ය. එයට හේතුව සමථ භාවනාවෙන් කෙරෙන්නේ චිත්ත සන්තානයේ පවත්නා කෙළෙස් සංසිදීම යටපත් කිරීම පමණක් නිසාත්, ප්‍රඥා භාවනාවෙන් එම කෙළෙස් සම්පූර්ණයෙන් නසාලන නිසාත් ය.

(භාවනා පිළිබඳ විස්තර කිසිවක් මෙහි සඳහන් නොවේ. ඒ පිළිබඳ විස්තර මෙහි මුල් පිටපත රචිත හිමිපාණන් විසින් පලකළ බුද්ධාගම හා අද බෞද්ධයා, විසුදිමඟ යන ලේඛන දෙකෙහි විස්තර වන හෙයිනි.)

විදර්ශනා භාවනාවට යොමු වූ සිත, එබඳු අවස්ථාවන් කොතෙක් පැමිණියත්, ඒ කිසිවිටක ඔහුගේ එම සන්සුන් සිත කලබල නොවන්නේ, සිතෙහි පවත්නා (කෙළෙස්) කිළිටු ගති සපුරා වසන හෙයිනි. බොර ගති, කුණුරොඩු ඉවත් කළ පිරිසිදු ජල බඳුන, කොතෙක් කැළඹුවත් අපිරිසිදු නොවන්නාක් මෙනි.

= ධාන්‍ය ප්‍රභේද =

ධාන්‍ය ලෞකික ලෝකෝත්තර වශයෙන් හා රූපාවචර අරූපාවචර වශයෙන්ද දෙවැදෑරුම් වෙයි. ධාන්‍ය යන්නෙහි තේරුම් දෙකකි. එකක් චිත්තේකාග්‍රතාවයි- සිත වෙනතකට නොගොස් අරමුණෙහිම පිහිටීමයි. අනික කෙළෙස් බලය මැඩලන හෝ තවාලන දවාලන යන්නයි.

= රූපාවචර ධාන්‍ය සිත් =

කාමෙයෙහි, ඉඳුරන් පිනවීමෙහි දොස් දැක, එම කාමාශාව නැතිකර ගැනීමට භාවනා කරන්නා එම කාමාශාවෙන් මිදිණු ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පඤ්චම, ධ්‍යාන නමින් කුසල් සිත් පහක් ද, විපාක සිත් පහක්ද, රහතුනට මාර්ග සිත් විස්සක් ද, එලසින් විස්සක් ද යැයි ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන් ලැබෙන සිත් පනසෙකි.

මේ එක් එක් ධ්‍යාන කුසල් සිතක් හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් ත්‍රිවිධාකාර වේ. මෙය, යෝගියාගේ දක්ෂතා අනුව සිදුවන්නකි. විතර්ක විචාරාදී වූ ධ්‍යානාංග සාමාන්‍ය ක්‍රමයට වඩන්නාගේ ධ්‍යාන කුසල් සිත හීනය, මධ්‍යම ප්‍රමාණයට වඩන්නාගේ ධ්‍යාන කුසල් සිත මධ්‍යමය, උසස් විදියට වඩන්නාගේ ධ්‍යාන කුසල් සිත ප්‍රණිතය. මෙසේ ප්‍රථම ධ්‍යානාදී වූ එක් එක් ධ්‍යානයක් තුන් ආකාරයකට වැඩීම නිසා ධ්‍යාන පහට පහළොස් ආකාරයකට කුසල් සිත් ලැබේ. මෙසේ තමන් ලබාගත් ධ්‍යාන සිතින් නොපිරිහී මරණය තෙක් රැක ගන්නා ධ්‍යාන ලාභීන්ට මරණින් පසු ලැබෙන්නේ එම කුසල් සිතට අනුරූප වූ ලෝකයේ ප්‍රතිසන්ධි විපාක සිතත් සමග බ්‍රහ්මෝත්පත්තියකි.

෴රූපාවචර ලෝක෴
මෙහි භූමි පහකි. මෙම භූමි පහේ කොටස් තුන බැඟින් පිහිටා ඇත. ඒ එක් එක් භූමියේ උපත ලබන බ්‍රහ්මයන්ගේ නම් මෙසේ ය.
ප්‍රථම ධ්‍යාන භූමිය – බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම
ද්වීතීය ධ්‍යාන භූමිය – පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර
තෘතීය ධ්‍යාන භූමිය – පරිත්තාභ සුභ, අප්පමාණ සුභ, සුභ කිණ්හක
චතුර්ථධා‍න්‍ය භූමිය – වේහප්ඵල, අසඤ්ඤ සත්ත, සුද්ධාවාස. මෙහි සුද්ධාවාස නමින් ගැනෙන්නේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ යන පංච සුද්ධාවාසයයි. මේ එක් එක් පිරිසට අයත් ආයු කාලයෙන් හා ශරීර ප්‍රභාදියෙන් ඔවුනොවුන්ගේ වෙනස් දැකිය හැක. මොවුන් අතරින් සමහරෙක් තමන්ගේ ආයු කාලය ඉතා දික් බැවින් තමන් නොමැරෙන සදා ජීවත් වන්නවුන් සේ සලකති.
අසඤ්ඤාසත්ත බඹතලය- චතුර්ථධ්‍යාන තෙක් සිත දියුණු කරගත් සමහර යෝගීහූ තමාට මේ හැම පීඩාවක්ම සලසන්නා, ‘හිත’ බව අවබෝධ වී හිතෙන් මිදීම ඉටාගෙන භාවනා කොට ඒ තමා ලත් ධ්‍යාන සිත අවබෝධ වී හිතෙන් මිදීමට ඉටාගෙන භාවනා කොට ඒ තමා ලත් ධ්‍යාන සිත අක්‍රීය බවට පත්කර ගනිති. එයට විපාක වශයෙන් ලැබෙන බඹ උපතය, මේ අසඤ්ඤාසත්ත නමින් සඳහන් වන්නේ. මොවුන්ගේ උපත රූප ප්‍රතිසන්ධියයි. මොවුන්ගේ ආයුකාලය කල්ප පන්සියයකි. මොවුහු මෙම ආයු කාලය පුරා සජීවි අක්‍රිය රූපයක් ඇතිව ජීවත් වෙති.
මෙහි මොවුන්ගේ උත්පත්තිය සිදුවන්නේ, කලින් ජාතියේ සඤ්ඤාවේදයිත නිරෝධය ලබා මරණයට පත්වූ ඉරියව්වට සමානවයි. එනම් හිඳගෙන නම් උපතත් හිඳගෙන යි. සිටගෙන නම් උපතත් සිටගෙනයි. සයනයෙ දී නම් උපතත් එසේම සිදුවේ. මේ ධ්‍යාන සිතක ඇති බලයකි. මෙය පුදුමයට කරුණක් නොවේ. තම සිත දමනය කරගත් විට සුවච සේවකයකු සේ තමාට උවමනා පරිදි වැඩගත හැකි බව බුදුදහමේ සදහන් වන්නේ මෙයයි.

= අරූපාවචර ධාන්‍ය සිත් =

මෙසේ භාවනා කොට පඤ්චමධ්‍යාන තෙක් සිත දියුණු කරගත් සමහර යෝගීහු රූපයෙහි ඇති ලෙඩවීම් ආදී දොස් දැකීමෙන් රූපයට ඇති ආශාවත් නැති කරගත යුතු යයි අදිටන් කරගෙන තවත් ඉදිරියට භාවනා කිරීමෙන් ආකාසානඤ්චායතන ආදී ධ්‍යාන වලට පත් වෙති.

ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන යයි එසේ ලබා ගන්නා අරූපාවචර කුසල් සිත් සතරෙකි. එයට ඒ ඒ නම් වලින්ම ලැබෙන විපාක සිත් සතරක් ද, රහතුන්ට ලැබෙන ක්‍රියා සිත් සතරක්ද යැයි, සියල්ල අරූපපාවචර ධාන්‍ය සිත් දොළොසකි.

෴අරූපාවචර ලෝක෴

ඒ ඒ අරූපාවචර ධ්‍යාන කුසල් සිත් ලබාගත් යෝගීහු මරණය තෙක් එම ධ්‍යාන සිත රැක ගත්තොත් එයට විපාක වශයෙන් ලැබෙන උපතත් ඒ ඒ නමින් ලබා ගනිති. මේ සමථ භාවනාවෙන් ලැබිය හැකි උසස් ම සිත දියුණු කිරීම නේවසඤ්ඤා නාස
ඤ්ඤායතන යයි. සිත ඇද්ද නැද්දැයි නොකිය හැකි තරමට සියුම් වීමයි.

මේ මිනිස්කම (විළි බිය) නසා ගැනීමෙන් සතර අපාගත වන සැටිත්, එය දේව ධර්ම වශයෙන් දියුණු කර ගැනීමෙන් ඒ විළිබිය ලෝක පාලක ධර්ම වශයෙන් රැක් ගැනීමෙන්, මනුෂ්‍යත්වයත්, දිව්‍යත්වයත්, තවත් ඉහළට සිත දියුණු කිරීමෙන් බ්‍රහ්මත්වයත්, මෙ සියල්ලෙන්ම මිදී නිවන් සුවයට පත්වන අයුරුත් ය, මේ දැක්වෙන්නේ.

මේ අරූප ප්‍රතිසන්ධිකයෝ රූපයෙන් තොර වේදනා සඤ්ඤා සංකාර විඤ්ඤාණ යන නාම ධර්මයන්ගෙන් පමණක් යුක්ත වූවෝ ය. මෙයත් හරි හැටි බුද්ධ ධර්මය නොදන්නවුන්ගේ මවිතයට, සැකයට භාජනය වන්නකි. එහෙත් මේ, මිනිස් සිතක පවත්නා බල මහිමය ප්‍රකට කරන්නක් බව සිතිය යුතුය.

තමන්ට රිසි පරිදි දමනය කරගත්, පිරිසිදු කරගත් සිත, තම ආදරණීය මා පියාදීන්ටවත් ලබාදිය නොහැකි යහපත් දියුණුවක් සිදුකරතැයි බුදුන් වදාළේ මෙසේයි.

න තං මාතාපිතා කයිරා – අඤ්‍ඤේ වා පි ච ඤාතකා
සමමා පණිහිතං චිතතං – සෙය්යසෝ නං තහෝ කරේ via Facebook Pages http://ift.tt/1GMS4Lf