New photo from Facebook October 14, 2016 at 12:00PM

චීවර පඬු පෙවීම
~~~~~~~~~~~
තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්‍ය මහා සංඝරත්නය වෙත හෝ පූජා කිරීමට චීවරයක් තමන් ටම සකසා ගන්නට හැකි නම් කොයි තරම් අගනේද.. කෙතරම් පිනක් ද..
චීවර වර්ග දෙපට සිවුර, තනිපට සිවුර, සහස්කඩ, දහස් කඩ ලෙසින් ද, දුඹුරු පාට, තැඹිලි පාට ලෙසින් ද විවිධ වේ.
පහත ලිපියෙන් දැක්වෙන්නේ සුදු චැලෙන්ජර් රෙදිවලින් මසා ගත් චීවරයක්, මහා සංඝරත්නය අරමුණු කර පූජා කිරීම සඳහා (විශේෂයෙන් ම ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලා සඳහා) පඬු පොවා වර්ණ ගන්වා ගන්නා අයුරුයි.

සැලකියයුතුයි:
මේ නිකම්ම රෙද්දක් පාට කිරීමක් නෙවෙයි.. මේ ඝෝර, කටුක, භයානක සසර ගමනේ අනන්ත වාරයක් ඉපිද මැරෙමින් දුක් විඳින අසරණ අප, ඉන් මුදවා ගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතාවන් පුරා තුන්ලෝකාග්‍ර උතුම් බුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට, උන්වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියාදී සසරින් එතෙර වන මඟ පෙන්වන ආර්‍ය මහා සංඝරත්නයට පූජා කරන්නට සූදානම් කරගත් උතුම් චීවරයක් පඬු පොවන අවස්ථාවයි.
ඔබ තිසරණ සරණ යන්න; පංච ශීලය සමාදන් වන්න; තෙරුවන් ගුණ වන්දනා කරන්න,
ඉතාමත් උතුම් පින්කමක් වන මේ සඳහා ආශීර්වාද කරන්නට, සහභාගි වන්නට දෙවි දේවතාවන්ට ආරාධනා කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
විනයානුකූලව මසා සකසා ගත් චීවරයක් (සුදු )
පඬු ග්‍රෑම් 200ක් පමණ (දුඹුරු වර්ණයෙන් )
මේස ලුණු ග්‍රෑම් 150ක් 200ක් පමණ.
කල්දෙරමක්
ප්ලාස්ටික් බේසමක්
එළිමහනේ පිරිසිඳු ස්ථානයක සැකසූ ලිපක්.

පඬු පොවන ක්‍රමය:
පළමුව ප්ලාස්ටික් බේසමට ජලය පුරවා, සකසාගත් චීවරය (සුදු පාට ), එම ජලයේ පෙඟෙන්නට හරින්න. දර ලිපක් සකසා ගන්න.. වායු සැපයීම පහසු වීම පිණිස ලිප සඳහා යොදන ලිප් ගල් මඳක් උස් විය යුතුයි. ලිප මත තැබු කල්දේරමෙහි අඩක් පමණ පිරෙන්නට ජලය පුරවා ගන්න.. (චීවරය දැමූ විට එය සම්පූර්ණයෙන් ම ගිලෙන ප්‍රමානයට ජලය පුරවා ගන්න ). කල්දේරමෙහි ජලය නටන තුරු ලිප දල්වන්න. ජලය නටන අවස්ථාවෙහි පඬු ග්‍රෑම් 200ක් පමණ හා ලුණු ග්‍රෑම් 150-200ක් පමණ එයට දමා ලීයකින් කලතා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් පෙඟෙන්නට දමා තිබූ තෙත්, සුදු, චීවරය කල්දේරමට දමන්න. ලීයෙන් හොඳින් කලතමින් පඬු වර්ණය චීවර රෙද්දට වර්ණ ගන්වන්නට හරින්න. විනාඩි 5ක් පමණ ලීය ආධාරයෙන් සිවුර පඬු පොවන්න. දැන් පරිස්සමින් චීවරය කල්දේරමින් හිස් ප්ලාස්ටික් බේසමට මාරු කරන්න. අතින් ඇල්ලීමට හැකි පමණට චීවරය වේලුන පසු, රෙදි වැලකට දමා මඳක් ජලය බේරෙන්නට හරින්න. ජලය බේරුන පසු නැවත කල්දේරමට චීවරය දමා කලතන්න. නැවත පෙර පරිදි ප්ලාස්ටික් බේසමටට මාරු කර, ඉන්පසු රෙදි වැලෙහි දමා ජලය බැසයන්නට හරින්න. දැන් පිරිසිදු ජලයෙන් චීවරය දෙවරක් පමණ සෝදන්න. (පිරිසිදු ජලයෙන් සේදීමේදී, නැවත නැවත ජලයට පඬු පාට එක් වේ.. ඒ චීවරයේ පාට යනවා නොව.. අමතර පඬු සේදී යනවා පමණි. එනිසා චීවරය පිරිසිඳු ජලයේ දෙවරක් පමණ සේදීම සෑහේ) ජලය ඉවත් කිරීමට දඟර ආකාරයට එය මිරිකන්නට එපා. දැන් තද අව්වේ වියලා ගන්න. මේ සියලු කටයුතු කරත්දී ඉතා ශ්‍රද්ධාවෙන් ම බුදු ගුණ, සඟ ගුණ මෙනෙහි කරමින් කරන්න. මේ උතුම් පුණ්‍ය කටයුත්තට මට උදව් උපකාර කල සෑම දෙනාටම මෙඋ භවයේදීම සතර අපායෙන් නියතවම මිදෙන්නට, කෙටිම පහසුම මඟින් උතුම් නිවන අවබෝධකරගන්නට මේ පින් හේතු වේවා. හිරු මගින් විකාශය කල පාසිවුරු වැඩසටහනත් මේ සඳහා මට බොහෝ උපකාරී උනා.
තෙරුවන් සරණයි !
(උපුටා ගැනීමකි) via Facebook Pages http://ift.tt/1GMS4Lf