New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zZkYaq
==සුරම්බට්ඨ==

අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යන්නෙන් ඉවත්ව නොයන ස්වභාවයෙන් නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවන් අතුරින් සූර අම්බට්ඨ තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්ගේ ධර්‍මකථාව අසා එක් උවසුවෙකු ඉවත්නොවන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයෙහි උපන්නේය. ඔහුට සූරම්බටඨයයි නම් කළාහුය. හෙතෙම පසුකාලයෙහි ගිහිවාසයෙහි පිහිටියේ අන්තොටුවන්ට උවසුවෙක්ව හැසිරෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදෑසන කල්හි ලොව බලා වදාරණසේක් ඔහුට සෝවාන් මගට හේතු දැක පිඬුහැසිරෙන වේලෙහි නිවස දොරටුවට වැඩිසේක. මෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක මෙසේ සිතීය: ශ්‍රමණ භවත් ගෞතමයෝ උසස් කුලයෙහි උපන්නෝද ලොව බෙහෙවින් පළට වූවෝද වෙත්. එබැවින් ඔවුන්ගේ සමීපයට නොයාම නොසුදුසුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පාවැඳ නිවසට පිවිසුවා ඉතාවටිනා පළඟක හිඳුවා භික්‍ෂාව දී බත්කිස අවසන්හි එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුට චරිත වශයෙන් දහම් දෙසුසේක. දෙසුම අවසන්හි (හෙතෙම) සෝවාන් පෙලෙහි පිහිටියේය. ශාස්තෘන්වහන්සේද ඔහු දමනය කොට විහාරයටම වැඩිසේක.
ඉක්බිති මාරයා මෙසේ සිතුවේය: මේ සූරම්බට්ඨයා නම් අප සතුටුවෙකි. භාග්‍යවතුන්වහන්සේ වනාහි අද (ඔහුගේ) ගෙට ගියසේක. කිමෙක්ද භාග්‍යවතුන්ගේ ධර්‍මකථාව අසා මග පල පහළ කරගැනීමක් කළේද? මගේ විෂයයෙන් මොහු ඉක්මෙන බව හෝ නොයික්මෙන බව හෝ දනිමි.’ (මෙසේ සිතා) තමන් කැමති ආකාරයෙන් භාග්‍යවතුන්වහන්සේට සමාන වූ රූපයක් මවා සිවුරු ගැනීම් පාත්‍රගැනීම්ද බුද්ධාකල්පයෙන්ම කොට දෙතිස් ලකුණු දරන්නෙක්ව සූරම්බට්ඨගේ ගෙදොරෙහි සිටියේය. සූරම්බට්ඨ තෙමේද යළි දශබලයන්වහන්සේ වැඩිසේකැයි අසා බුදුවරුන්ගේ නම් අනිර්ය්‍යානික ගමනක් නම් නැත. කවරනම් කරුණකින් වැඩිසේක්දැයි තථාගතයන් වහන්සේයයි හැඟීමෙන් වේගයෙන් ඔහු සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේ ‘ස්වාමීනි, නුඹවහන්සේ දැන්ම මේ ගෙහි බත්කිස කොට වැඩිසේක. කවරකරුණක් නිසා යළි ආවාහුදැයි ඇසුවේය. අම්බට්ඨය, දහම් දෙසන මාවිසින් සොයා නොබලා කියනලද කරුණක් ඇත. මාවිසින් වනාහි සියලුම පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. දුඃඛයහ අනාත්මයහයි කියනලද්දාහුය. මේ සියල්ලෝම එසේ නොවෙත්, වෙනස් නොවන්නාවුත් හැමදා පවත්නාවුත් ශාශ්වතිකවූත් ඇතැම් ස්කන්‍ධයෝත් ඇත්තාහයි කීවේය. ඉක්බිති සූරම්බට්ඨ තෙමේ මෙසේ සිතුවේය. මේ කථාව අතිශයන්ම බැරෑරුම්ය. බුදුවරුන්ගේ නම් නොසලකා කීමක් නම් නැත. මාරයා නම් තථාගතයන්වහන්සේට විරුද්ධය. ඒකාන්තයෙන්ම මේ මාරයා වන්නේය’යි සිතා නුඹ මාරයාදැයි ඇසීය. ආර්‍ය්‍යශ්‍රාවකයකු විසින් කියනලද කථාව ඔහුට පොරෝපහරක් මෙන් විය. එබැවින් ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැක්කේ එසේය, අමබ්ට්ඨය, මම මාරයා වෙමි’යි කීවේය. ඔබ වැනි මරුන් සියයක්ද දහසක්ද අවුත් හෝ මාගේ ශ්‍රද්ධාව සෙලවීමට නොහැක්කේය. මහා ගෞතම දශබලයන්වහන්සේ මට දහම් දෙසමින් සියලුසංස්කාරයෝ අනිත්‍යයහයි වටහා දී දේශනා ක‍ළසේක. ‘ම‍ගේ ගෙදර නොසිටුව’යි අසුරක් ගැසීය. මාරයා ඔහුගේ වචනය අසා විරුද්ධව කථාකිරීමට නොහැක්කේ එහිම අතුරුදහන් වූයේය. සූරඅම්බ්ට්ඨ තෙමේද සවස් කාලයෙහි ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් මාරයා විසින් කරනලද ක්‍රියාව සැල කොට ‘ස්වාමීනි, මාරයා මගේ ශ්‍රද්ධාව සෙලවීමට උත්සාහ කළේය’යි පැවසීය. ශාස්තෘන්වහන්සේ එම කරුණම අත්‍ථෙ‍ර්‍ාත්පත්තිකොට මේ ශාසනයෙහි සූරම්බට්ඨ නොසැලෙන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතන්හි තැබූසේක.