New at Little Bit


from Path to Nirvana http://bit.ly/31KutqQ
“මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැති මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය.”

“හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊළඟට නහඹු වස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.”

“නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය.”

“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිලිබඳ දක්ෂයෝ වෙද්ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, තුමූ මාගේ ධර්මය ඇසියයුතු කොට, ඇදහියයුතු කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.”

“මහණෙනි, යම්සේ ගවපියන්වූ ගවයින්ට ප්‍රධානවූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භවසංයොජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ සැඩපහර සිඳ සැපසේ එතෙරට (නිර්වාණයට) යන්නාහුය.”

“මහණෙනි, යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලෝකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.”

“මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරීමෙන් රාග ද්වේශ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූ එක් වරක් පමණක්ම මේ කාම ලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතර වන්නේ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරී වූද, ශ්‍රද්ධානුසාරී වූද යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, මම මේ ලෝකය පිළිබඳවද දක්ෂ වෙමි. පරලෝකය පිළිබඳවද දක්ෂ වෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි.”

“මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්මය ඇසිය යුතුයයි, ඇදහිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.”

චූල ගොපාලක සූත්‍රය
🌷💦🌺💦🌷💦🌺💦🌷💦🌷🌷🌿