New at Little Bit


from Path to Nirvana https://ift.tt/3ceWtIk
💛💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ කතාව නොහොත් බුද්ධවංශ කතා පුවතේ සමාලෝචනය සහ පුණ්‍යානුමෝදනාව. 💛💙💚💜

සම්මා සම්බුදුරජානන් වහන්සේ බුද්ධ වංශය දේශනා කරන ලද්දේ බුද්ධත්වයෙන් වසරකට පසුව එළබුන වෙසක් මස පුන් පොහෝදින කිඹුල්වත් පුරයට වැඩ රුවන් සක්මන්හි යමක මහා පෙළහර පෑමෙන් පසු සැරියුත් මහ තෙරුන්ගේ ආරාධනයෙන් පසුවයි. බුද්ධ වංශය සම්පුර්ණයෙන් ගාථාවලින් යුක්තයි. එය රතන වංකමන කාණ්ඩය, සුමේධකථා, බුද්ධ වංශය,බුද්ධ පිකිණ්ණක කාණ්ඩය,ධාතු භාජනිය කථා යයි පරිච්ජේද පහකට බෙදා තිබෙනවා.

දීපංකර බුදුන්ගේ සිට ගෞතම බුදුන් දක්වා බුදුරජාණන් වහන්සේලා විසිපස් නමකගේ චරිත කථා බුද්ධ වංශයට ඇතුලත්. තණ්හංකර බුදුරජුන් මේධංකර බුදුරජුන්, සහ සරණංකර බුදුරජුන් යන බුදුරජාණන් වහන්සේලාගේ චරිත කථා බුද්ධ වංශයට ඇතුලත් නොවීමට හේතුව ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසතුන්වහන්සේ ලෙස පෙරුම්පුරනා විට එම බුදුරජාණන් වහන්සේලා තුන් නමගෙන් නියත විවරණ නොලැබූ නිසා විය යුතුයි. එහෙත් අපි අටවිසි බුද්ධවන්දනාව කරනු ලබද්දී ඉහතින් සඳහන් අනෙකුත් බුදුරජාණන් වහන්සේලා තුන්නමද එකතුකරගනු ලබන්නේ දීපංකර බුදුන් පහළවූ සාරමණ්ඩ කල්පයටම උන්වහන්සේලාත් අයත් නිසාවෙන්. එහෙත් මා විසින් ලියූ දුරේ නිධානයට අයත්වුයේ බුද්ධවංශ අට්ට කතාවෙහි සඳහන් බුදුරජාණන් වහන්සේලා විස්පස්දෙනා ගැන පමණයි. ඊට හේතුවද දුරේ නිධාන කතා වස්තුවේ ආරම්භයද එතැනම නිසා.

සෑම බුදුවරයෙකුගේම චරිතය විස්තර කිරීමේදී ප්‍රධාන කරුණු විසිදෙකක් සදහන් වෙනවා. .ඒවානම්

1.කල්පය 2. නාමය 3. ගෝත්‍රය 4. ජාතිය 5. නගරය 6. පියා 7. මව 8. බෝධිය 9. ධම්සක් පැවැත්වීම 10. අභිසමය 11. ශ්‍රාවක සමුහය 12. අග්‍ර ශ්‍රාවකයන් 13. අග්‍ර ශ්‍රාවිකාවන් 14. උපස්ථායකයන් 15. පරිවාර භික්ෂුන් 16. රස්මිය 17. ශරීර ප්‍රමාණය 18. බෝධි සත්ව අධිකාරිය 19. විචාරය 20. ප්‍රධන් වීර්යය 21. ආයුෂ 22. පරිනිර්වාණය යන කරුණුයි.

මා විසින් ලියනු බුද්ධවංශ කතාවේ මේ සියලුම කරුණු හැකි උපරිමයෙන් සඳහන් කොට තිබුණා.

ඒ අතර තුර පෙළට නොනගන ලද වාරයන් ද මෙහිලා දැක්විය යුතුයි. එනම්
1. අගාරවාස පරිච්ඡේදය, 2. ප්‍රාසාදත්‍රය පරිච්ඡේදය 3. නාටක ස්ත්‍රී පරිච්ඡේදය 4. අග්‍රමහේශී පරිච්ඡේදය 5. පුත්‍ර පරිච්ඡේදය 6. යාන පරිච්ඡේදය 7.අභිනිශ්ක්‍රමන පරිච්ඡේදය 8.ප්‍රධාන් පරිච්ඡේදය 9. උපස්ථායක පරිච්ඡේදය 10.විහාර පරිච්ඡේදය යි ය දස ආකාරයෙන් වෙන් කරන ලද පරිච්ඡේද පෙළෙහිද ඇතුලත් නැහැ.
ඒ නිසාම මා විසින් ලියූ බුද්ධවංශ කතාවේ ද එම විස්තර සඳහන් වන්නේ නැහැ.

මේ වනවිට අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ පළමු කොටස නොහොත් දුරේ නිධානය නොහොත් බුද්ධවංශ කතාව කොටස් 141කින් යුක්තයි. A 4 කොළ 279කුත්, වචන 82357කුත්, වචන හිස්තැණුත් සහිතව 527653කුත්, අකුරු හිස්තැන් රහිතව 444111ත් ලියා තිබෙනවා. ඒ ඔබගේ ආශිර්වාදයත් සමග.

මේ සඳහා මා හට ගිහි පැවිදි බොහෝදෙනා උදවු උපකාර කළා. ඒ අතරින් අපගේ ගුරුදේවයාණන් වහන්සේ නමක්වන කම්මට්ඨානාචර්ය, අභිධර්ම විශාරද පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමින්වහන්සේද, “දුරේ නිධානය” යන වචනයේ අර්ථය මා අසා දැනගත් රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපානන්ද, අප මහා බෝසතාණන් වහන්සේගේ ස්ත්‍රී ආත්මභාවය මා හට මතක් කර දුන් පුජ්‍යපාද මැදවච්චියේ අරියවිමල හිමිපානන්ද, මෙය ලිවීමේදී මාහට පැමිණි අනේක අප්‍රමාණ කරදර කම්කටොලු දුරුවීම සඳහා නිරන්තරයෙන්ම ශ්‍රී මහා බෝධිරාජයාණන් අභියස මා වෙනුවෙන්ද මගේ පුතුණුවන් වෙනුවෙන්ද ආශීර්වාදාත්මක පුද පුජා පැවැත්වූ වරුණ හිමිපාණන් වහන්සේටද,

මාගේ කල්‍යාණ මිත්‍ර වින්සන් අලහකෝන් මහතාටද, ජයන්ත රත්නායක මහතාටද, Path to Nirvana නිර්මාතෘ ජනකට සහ එහි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාටද, නම සඳහන් කිරීමට අකමැති මිතුරු මිතුරියනද මුහුනුපොතේ මාගේ ලිපි කියවා නිරන්තරායෙන්ම මා හට ආශීර්වාද කරමින් බෙදාහරිමින් මාව තව තවත් දිරිමත්කළ ඔබ සැමද, මෙය pdf කිරීමට බාරගත් ප්‍රමෝද් මල්ලිද, මෙහි කොටස් මුද්‍රණය කොට පසුගිය සතිඅන්තයේ රුවන්වැලිසෑ රජාණන්හට පුජා කර මා ඇතුළු පවුලේ සැමට ආශීර්වාද කරනු ලැබූ පින්වත් මුදිත් මල්ලිද, තුෂාර නැගෙණියද, එරන්දි නැගෙණියද, දහසකුත් එකක් දුක්පීඩා ඉවසා දරාගෙන මාහට මේ සියල්ල නිමකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් මාගේ සදාදරණීය බිරිඳද, මා හට ශිල්ප සතර කියාදුන් ගුරුවරුන්ද, දෙමාපියන්ද මෙහිළා ගෞර්වපුර්වකව සිහිපත්කොට පුණ්‍යානුමෝදනා කර සිටින්නෙමි.

මෙතැන් සිට ඉදිරියට අවිදුරේ නිධානය නොහොත් තුසිත දෙවුලොවින් නික්ම බුද්ධත්වය දක්වා පැමිණි ඒ අසිරිමත් බෝසත් කතාපුවත බලාපොරොත්තු වන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.!!!

මේ පින් මාහට බුදුසසුණ බැබළවීමටම හේතුවාසනා වේවා !!!

සාදු සාදු සාදු

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
25-02-2020