New at Little Bit


from Path to Nirvana https://ift.tt/380z4r3
වේදල්ල (තෙවන කොටස)

බුද්ධානුස්සති භාවනාව – අරහං ගුණය
————————————————————–

භාවනාව ආරම්භ කරන විදිය ගැන අපි කලින් කතා කළා. අද අපි සතර කමටන් වලින් පළමු වන බුදුගුණ භාවනාව කරන විදිය ගැන දැන ගනිමු.
ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! සතර කමටහන් කියන වචනය අපට නිතර අහන්න ලැබෙනවා, ඒකෙ තේරුමත් එහි වටිනාකමත් කෙටියෙන් පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : තෙරුවන් සරණයි! බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණානුස්සති කියන භාවනාවන්ට අපි සතර කමටහන් එහෙම නැත්නම් චතුරාරක්ෂක භාවනා කියල කියනවා. භාවනාවට ගැලපෙන විදියට සිත නිරවුල්ව තියාගන්න, කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න උපකාරක නිසයි ඒ නම කියන්නෙ. අපේ හිතේ ශ්‍රද්ධාව අඩුවෙලා භාවනාව ගැන සැක සංකා හෝ අකමැත්ත ඇතිවෙද්දි එ් වගේ කෙලෙස් වලින් හිත ආරක්ෂා කරගන්න, ශ්‍රද්ධාව දියුණු කරගන්න බුද්ධානුස්සතියත්, තරහ ඇතිවීමෙන් සිතේ වන නොසන්සුන් බව දුරු කරන්න මෛත්‍රියත්, රාගය ඇල්ම නිසා වන පීඩා දුරු කරන්න අසුභයත්, සිතේ වීර්යාදිය අඩු වෙලා පසුබහිනව නම් මරණානුස්සතියත් සිතේ ආරක්ෂාව සඳහා නිතර භාවිතා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ආධුනික අය සෑම භාවනා වාරයකදීම ආරම්භයේදි කෙටියෙන් නමුත් මේ හතර කරන එක ඉතාම වැදගත්. ටිකක් පුහුණු වූ කෙනෙක් නම් අවශ්‍යතාවය පරිදි යොදාගන්න පුළුවන්.
ප්‍රශ්ණය : මේ භාවනා හතර අතුරින් බුදුගුණ භාවනාව කරන විදිය අපට පැහැදිළි කර දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : ඇත්තටම මේ බුදුගුණ භාවනාව කියන්නෙ පුදුමාකාර අනුසස් තියෙන භාවනාවක්. කටකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේට වගේ අර්හත්වය ලබන්නත් උපකාර වන භාවනාවක්. ඒ ස්වාමින් වහන්සේට බාධා කරන්න ආව මාර දිව්‍යපුත්‍රයා විසින් මැවූ බුද්ධ රූපය බලමින් බුද්ධානුස්සතිය ඇසුරින් ශ්‍රද්ධාව උපදවා ගෙන විපස්සනා වඩා ස්වාමින් වහන්සේ අර්හත්වයට පත්වුනා. ඒ නිසා නිවැරදිව මේ භාවනාව කරනව නම් බොහෝම වටින ප්‍රතිඵල ලබන්න පුලුවන්.
“බුද්ධානුස්සති” එහෙම නැත්නම් බුදුගුණ භාවනාව කියන එකේ සරල තේරුම “බුදුගුණ අරමුණු කොට ඇති සිහිය” කියන එකයි. ඒ බව “බුද්‌ධං ආරබ්‌භ උප්‌පන්‌නා අනුස්‌සති බුද්‌ධානුස්‌සති ” කියල විශුද්ධිමාර්ගය වගේ දහම් පොත්වල දක්වල තියෙනව. ඒ නිසා මේ භාවනාව කරද්දි ඒ ඒ ගුණ හොඳට හිතට දැනෙන විදියට ප්‍රගුණ කරන්න ඕන. මේ භාවනාවත් පටන් ගන්න කලින් පූර්වකෘත්‍ය විදියට අපි මතක් කළ කටයුතු සම්පූර්ණ කරල වැඩි වෙලාවක් පහසුවෙන් ඉන්න පුලුවන් ඉරියවුවකින් ඉඳගන්න ඕන. ඊට පස්සෙ තමන්ට වැඩිපුරම ප්‍රසාදය ඇතිවුන බුද්ධ රූපයක් අරමුණු කරන්න. බුද්ධ රූපය ප්‍රකට වන්නේ නැත්නම් වැඩි වේලාවක් බලා සිටින්න, ඒ වගේම රූපයේ අංග කොටසින් කොටස, කොටස් වශයෙන් මෙනෙහි කළාමත් පහසුවෙන් වැටහෙනව. ඊට පස්සෙ ඒ රූපය ජීවමාන බුදුරජුන් ලෙස සලකා ජීවමාන බුදුරජුන් තමා ඉදිරියේ වැඩ සිටින්නේය කියන අදහස ඇතිව අරහං ආදී බුදුගුණ එකින් එක තේරුම සහිතව සිහි කරන්න.
මෙහෙම කරද්දි අපි ඒ ඒ ගුණයෙ තේරුම දැනගෙන ඉන්න ඕන. උදාහරණයක් විදියට අරහං ගුණයේ ප්‍රධාන අර්ථ 5ක් දහම් පොත්වල පෙන්වල තියෙනව. ඒ අර්ථ හොඳට හිතට දැනෙන විදියට මුලින් හුරු කරගන්න. ඊට පස්සෙ “අරහං” කියල හිතද්දි ඒ කරුණු 5 අතරින් තමන්ට වඩාත් හොඳට හිතට දැනෙන, වැඩිපුරම ශ්‍රද්ධාව ඇතිවෙන කරුණ තෝරගන්න. තෝරගෙන ඒ කරුණට හිත යොදමින්, ඒ අර්ථය හිතට දැනෙන විදියට “අරහං, අරහං” යනාදී විදියට දිගට මනසිකාර කරන්න. එහෙම කරගෙන යද්දි ඒ බුදුගුණ අරමුණේම හිත ශාන්තව තැන්පත් වෙන බව ප්‍රකට වේවි. මේ වෙලාවෙදි බුද්ධ රූපය නොපෙනී ගොස් බුදුගුණම ප්‍රකටව වැටහේවි. ඒ වෙලාවට බුද්ධ රූපය ගැන හොයන්න යන්න එපා. ඒ හොඳින් හිතට වැටහෙන බුදුගුණය වෙතම හිත තබාගෙන පැයක්, පැය එක හමාරක් විතර කාලයක් පහසුවෙන් ඉන්න පුලුවන් විදියට හුරු කරගන්න. මේ ක්‍රමයටම ඉතිරි බුදුගුණත් ප්‍රගුණ කරගන්න.
මේ බුදුගුණ භාවනාවෙදි උපරිම වශයෙන් ලැබෙන්නෙ උපචාර සමාධි කියන සමාධි මට්ටමයි. ධ්‍යාන සමාධි ඇතිවෙන්නෙ නෑ. මෙය පරමාර්ථ භාවනාවක් නිසාත්, ගුණයන්ගේ ගැඹුරුබව නිසාත්, ගුණයන්ගේ බොහෝබව නිසාත් ධ්‍යාන උපදවන්න බැහැ. ධ්‍යාන සමාධි සහ උපචාර සමාධි අතර වෙනස්කම් කීපයකුත් මෙතනදි පැහැදිලි කරගමු. ධ්‍යාන සමාධිය කියන්නෙ ධ්‍යාන අංග ලෙස සලකන “විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා” කියන චෛතසික ශක්තිමත් බවට පත්වුන අවස්ථාවයි. ඒ නිසා මේ ධ්‍යාන කුසලය කාමාවචර තත්වය ඉක්මවා රූපාවචර හෝ ඊට ඉහළ තත්වයේ කුසලයක් බවට පත් වෙනවා. රූපාවචර කුසලයකින් රූපාවචර බ්‍රහ්මලෝකයකත් අරූපාවචර කුසලයකින් අරූපාවචර බ්‍රහ්මලෝකයකත් උපදින්න හේතු සැකසෙනව.
උපචාර සමාධිය කියන්නෙ ධ්‍යාන සමාධියට ආසන්න බලවත් කාමාවචර සමාධියක්. මේ අවස්ථාවෙදි ධ්‍යාන අංග ධ්‍යානයකදි තරම්ම ශක්තිමත් නෑ. මෙවැනි කුසලයකින් මනුෂ්‍ය ලෝකයේ හෝ කාමාවචර දේවලෝක හය අතුරින් එකක උපතක් ලබා දෙන්න සමත් හේතු සකසනව. ඒත් බෞද්ධයින් විදියට අපි මේ භාවනාවන් කරන්නෙ සමාධි උපදවන්නෙ දෙව් ලොවට හෝ බ්‍රහ්මලෝකයට යන අදහසින් නෙවෙයි. බලවත් සමාධියක් අවශ්‍යයි ලෝකයේ සැබෑ තත්වය දකින්න, ඒ කියන්නෙ විපස්සනාවට. ඒ බව “සමාහිතො, භික්‌ඛවෙ, භික්‌ඛු යථාභූතං පජානාති” කියල සංයුත්ත නිකායෙ සමාධිසූත්‍ර ආදී තැන්වල දේශනා කරල තියෙනව. ඒ නිසා අපි මේ සමාධි උපදවන්නෙ ප්‍රඥාව ලබන්න උපකාර පිණිසයි.
දැන් එහෙනම් අපි “අරහං” ගුණයේ තේරුම දැනගනිමු. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ,
මාර්ගඤාණයන්ගෙන් වාසනා (නරක සසර පුරුදු) සහ සියලු කෙලෙස් දුරුකළ නිසාත්,
මාර්ගඤාණයන්ගෙන් කෙලෙස් සතුරන් නැසූ නිසාත්,
සංසාර චක්‍රයේ අර (සසර පැවැත්මට හේතු වන අවිද්‍යාදී පටිච්ච සමුප්පාද අංග) ඤාණයෙන් සිඳ දමා දුක් සහිත සසර ගමන නිමාකළ නිසාත්,
ආමිස හා සියලු ප්‍රතිපත්ති පූජා ලබන්නට සුදුසු නිසාත්,
රහසකින් හෝ පවක් සිදු නොවන ලෙස පවු සිදුවීමේ හේතු චිත්ත සන්තානයෙන් පහවී ඇති නිසාත් “අරහං” නම් වන සේක.

මේ කියපු විදියට අරහං ගුණයේ තේරුම් දැනගන්න. මෙතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනෙක් රහතන් වහන්සේලාටත් මේ ගුණ තියෙනව නේද කියල. ඒ ගුණ තිබුණත් බුදු රජාණන් වහන්සේගේ මේ ගුණයන්ගේ විශේෂයක් තියෙනව. ඒ කීපයක් මම කියන්නම්. සියලුම රහත් උතුමන්ගේ සිත්වල කිසිම ක්ලේෂයක් නැතත් ඇතැම් විට සසර පුරුදු වශයෙන් සමාජයේ නරකයි කියල හඳුන්වන දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ තමන්ගේ හිතේ කිසිම ක්ලේෂයක් නැතත් අන් අයට වසලවාදයෙන් කතාකිරීම පෙන්වන්න පුළුවන්. ආසන්න ආත්මභාව ගණනාවකදි ඉහළ කුලවල ඉපදිලා තිබීම ඒකට හේතුවුනා. එවැනි සිදුවීම් ඉතාම අඩුයි, නමුත් එවැනි දෙයක් වත් බුදු රජාණන් වහන්සේගෙන් සිදුවෙන්නෙ නෑ.
සියලුම රහත් උතුමන් වහන්සේලා පූජා ලබන්න සුදුසුයි. ඒ පූජා මහත්ඵල කරන්න සමත්. නමුත් යම් කෙනෙක් බුදුබව පතා කරන පූජාවක් පිළිගෙන ඒ සඳහා නියත විවරණ දෙන්න සමත් වෙන්නෙ තවත් සම්මා සම්බුදු උතුමෙක්ම පමණයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේට කරන පූජාවෙ ආනිසංස අතිශයින්ම ඉහලයි. මේ විදියෙ වෙනස්කම් තියෙන නිසා පූජාවන් ලබන්නට හා ඒවා මහත්ඵල කරන්නට සමත් උතුමන් අතරින් ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේව “අරහං” කියන ගුණ නාමයෙන් හඳුන්වනව. මේ බුදුගුණ ගැන වැඩි විස්තර රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ “සූවිසි මහගුණය” හා නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ “බුදුගුණ භාවනාව” කියන පොත් වලිනුත් දැනගන්න පුළුවන්.
මේ විදියට පිළිවෙලට කරුණු දැනගෙන බුදුගුණ භාවනාව පුහුණු කිරීමෙන් රාගාදී කෙලෙස් පීඩා හා බිය තැතිගැනීම් දුරුවීම, ඇතැම් අකුසල විපාක නිසා වන පීඩා දුරුවීම, නිහතමානී ගුණ ඇතිවීම, විදර්ශනා වැඩීමට උපකාරවන නිසා නිවන් අවබෝධයට උපකාර වීම ආදී බොහෝ ආනිසංස රාශියක් තමන්ට මෙලොවදිම අත්දකින්න පුළුවන්. ඒ නිසා සියලුම සත්වයින්ට මේ බුදුගුණ භාවනාව තුලින් සිත් නිවා ගන්නට හැකියාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි.