Monthly Archives: September 2014

සමාධිය ආරම්භයේ ඉදලම කළයුතු දෙයක්. ආරම්භයේ ඉදලම පිළිවෙළකට භාවනාව පුරුදු නොකළොත් එ…

සමාධිය ආරම්භයේ ඉදලම කළයුතු දෙයක්. ආරම්භයේ ඉදලම පිළිවෙළකට භාවනාව පුරුදු නොකළොත් එයාට බලවත් සමාධියක් ඇති කර ගන්ට බැරුව යනව. එහෙම නැත්තම් පරිපූර්ණ බලවත් වූ සමාධි කරා දියුණු කරන්ට එයාට බැරුව යනව. හොඳට මතක තියා ගන්ට විශේෂයෙන් ආරම්භයේ ඉදලම ටික ටික සමාධිය පුරුදු වෙන්ට.

අන්න ඒ විදියට ආරම්භයේ ඉදලම සිහිය හොඳින් පවත්වා ගන්ට මතක තියා ගන්න. ඒක තමා සකසල වැඩීමේ ආරම්භය. අපි සිහිය උපදවා ගන්ට ඕන. එසේ උපදවා ගත්තා වූ සිහිය තමයි අපි ක්‍රමක්‍රමයෙන් දියුණු කළ යුත්තේ. අන්න ඒ විදියට සිහිය උපදවා ගන්නටත්, උපදවා ගත්ත සිහිය දියුණු කර ගන්නටත් කැප වෙන්ට ඕනෑ.

යම් භාවනා මනසිකාරයක් පවත්වනවා නම්, අන්න ඒ භාවනා මනසිකාරය වෙනස් කරගන්ට එපා. මෛත්‍රී භාවනාව කියල සිතන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරනකොට යම් වචන පිළිවෙළක් පාවිච්චි කරනව නම්, ඒ වචන වෙනස් කරන්ට එපා. අපි දිගටම ඒ වචන ටික තමයි පාවිච්චි කළ යුත්තේ. ඒ වචන වෙනස් කළොත් එහෙම භාවනාව දුර්වල වෙන්ට පුළුවන්. ඊළඟ දේ තමයි අපි යම් රිද්මයකට භාවනා පුරුදු කරනව. ඒ රිද්මය වෙනස් කරන්ටත් එපා. සිතන සිතන විදියට වෙනස් කර කර යන්ට එපා. ඊළඟ එක තමයි භාවනා කරන අතර තුළ දී භාවනා මනසිකාරය හැරුණු විට වෙන වෙන දේවල් සිතන්ට යන්ට එපා. අපට සිතිවිලි එන්ට පුළුවන්. ඒ එන සිතිවිලි දැකල බැහැර කිරීම වෙනයි. ඒ සිතිවිල්ල බැහැර කිරීම පිණිස යම් උපක්‍රමයක් කිරීම වෙනයි. නමුත් ඒ භාවනාව සම්බන්ධයෙන් වෙන වෙන දේවල් සිතන්ට යන්ට එපා.

ඊළඟ කාරණය තමයි, බලවත් සමාධි උපදව ගන්නා තෙක් සාමාන්‍ය සමාධියක් ඉපදුන පමණින් ඒ සමාධියෙන් ප්‍රයෝජන ගන්ට හදන්ට එපා. දැන් සමහර කෙනෙක් සමාධියක් ඉපදුනාම ඒ සමාධියෙන් යම් යම් ප්‍රයෝජන ගන්ට උත්සාහ කරනව. අන්න එහෙම කරන්ට යන්ට එපා. එතකොට ඒ සමාධිය දුර්වල වෙන්ට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරද්දී සමාධිය තුළ අපි යම් චිතක්ක විචාරයක් පවත්වනවා නම්, අන්න ඒ විතක්ක විචාරය හැරුණු විට වෙන දේවල් කරන්ට එපා. සිත එහෙ මෙහෙ කරන්ට එපා. සමාධිය හොඳින් තේරුම් ගන්නා තෙක්, වෙන වෙන විදියට සමාධිය හසුරුවන්ට යන්ට එපා. හොඳින් පුරුදු කරන තෙක් සමාධියෙන් ප්‍රයෝජන ගන්න යන්ට එපා.

ඊළඟ එක තමයි සකසල වඩන කෙනා සකසල වැඩීම පිණිස එයා සමථයත් පුරුදු කරන්ට ඕන. විදර්ශනාවත් පුරුදු කරන්නට ඕනැ. ඒ වගේම තමයි සමථ විදර්ශනා දෙක පුරුදු කරල එයා නිවන පිණිස ආශ්‍ය කරන සමාධියත් පුරුදු කරන්ට ඕනැ. එතකොට මුලින් එයා සමථයත් වඩන්ට ඕන. විදර්ශනාවත් වඩන්ට ඕන. ඒ දෙක සමබර කරල වඩන්ටත් ඕනැ. ඊළඟට විදර්ශනාව බලවත් වුණාට පස්සෙ ඒ දෙක මුල් කරගෙන නිවන පිණිස වුවමනා කරන සමාධිය හුරු කර ගන්ට ඕනැ.

එවිට එයා සමථය එක දිගටම කරන්නෙ නෑ. විදර්ශනාවත් එක දිගටම කරන්නේ නෑ. ඒ දෙකම සමබර කරගෙන පුරුදු කරන්ට ඕනෑ. ඊළඟට එයා සමථ විදර්ශනා සමාධි පුරුදු කරගෙන ඒ දෙක මුල් කරගෙන, නිවන පිණිස උපකාර වන සමාධිය ඇති කරගත්තා ම එයාට සමාධි තුනක් තියෙනව.

අන්න ඒ සමාධි තුනත් සමබර කරමින් වඩන්ට ඕනැ. එහෙම නොවුණොත් බලවත් සමාධි කරා දියුණු කරගන්ට බැරුව යනව. එතකොට ආරම්භයේදී සමථයයි, විදර්ශනාවයි දෙක සමබර කරල වඩන්ට ඕන. සමථයයි, විදර්ශනාවයි සමබර නොකළොත් සමාධිය ඇති කරගන්ට බැරුව යනව. එතකොට ඒ සමාධි තුනක් ඇති වුණාට පස්සෙ ඒ සමාධි තුනත් සමබර කරමින් පුරුදු කරන්ට ඕනැ. (ස්වර්ණ කරන සූත්‍රය)

විශේෂයෙන් මතක තියා ගන්ට ආරම්භයේදී භාවනාවට බාධා වෙන කරුණු හඳුනා ගෙන බැහැර කරන්නට කැප වෙන්නට ඕනැ. නීවරණ හඳුනා ගෙන බැහැර කරන්ට කැප වෙන්ට ඕනැ. එහෙම නීවරණ හඳුනා ගෙන බැහැර නොකළොත් එයාට සමථ විදර්ශනා සමාධි උපදවා ගන්නට බෑ. ඒව මතක තියා ගන්න.

ඊළඟට එයා ඒ සමාධි තුන වැඩුවට පස්සෙ එයා තව දුරටත් සිතේ තියෙන උපක්ලේෂ හඳුනා ගන්ට ඕනෑ. (උපක්කිලෙස සූත්‍රය) එතකොට සමථයත්, විදර්ශනාවත් වැඩීම පිණිස උපකාර වන සමාධියත් කියන මේ සමාධි තුන පුරුදු කරන කෙනාට යම් කලකදී තවදුරටත් සිතේ තියෙන උපක්ලේෂ දුරු කරන්ට සිද්ධ වෙනව. අන්න එතෙන්දී එයා උපක්ලේෂ හඳුනා ගන්ට කැප නොවුණොත් එතනින් එහාට බලවත් සමාධි කරා යන්ට බැරුව යනවා. ඒ උපක්ලේෂ හඳුනා ගැනීම ඉතා අමාරුයි. ඒ උපක්ලේෂ හඳුනා ගන්ට කැප වෙන්ට ඕන. විශේෂයෙන් ථීනමිද්ධය, දැඩි වීරිය, හීන විරිය, කායික වෙහෙස, අමනසිකාරය (ඒ කියන්නෙ මනසිකාර නෙකෙරෙන ස්වභාවයන්) අන්න ඒ වගේ ස්වභාවයන් හඳුනන්ට බෑ ගොඩක් වෙලාවට.

ඒ නිසා ඒව හඳුනා ගන්ට කැප වෙන්ට අවශ්‍යයයි. ඊට පස්සෙ නානත්ත සංඥාම මෙ වගේ උපක්ලේශ තියෙනව. මේව හඳුනාගෙන ඒව බැහැර කරන්ට කැප වෙන්ට ඕනැ. අන්න ඒ උපක්ලේශ හඳුනාගෙන බැහැර කරන්ට කරන්ට එයාට බලවත් සමාධි කරා යාමේ හැකියාව තියෙනව. එතකොට එයාට උපදිනව සමාධි තුනක්.

සවිතක්ක සවිචාර, අවිතක්ක විචාර මාත්‍ර, අවිතක්ක අවිචාර කියල. අන්න ඒ සමාධි තුන උපදවා ගන්ට කැප වුණොත් යම් කෙනෙක්, ඒ සමාධි තුන වඩමින් එයාට බලවත් සමාධිය කරා සිත දියුණු කර ගන්ට අවස්ථාවක් තිබෙනවා.

තෙරුවන් සරණයි!

නාවලපිටියේ අරියවංශ හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

කුහුඹියෙක්, මදුරුවෙක් හෝ කරදරකාරී සතෙකුවත්, කුමන හේතුවක් නිසාවත් මැරීමෙන් වළකිමු…

කුහුඹියෙක්, මදුරුවෙක් හෝ කරදරකාරී සතෙකුවත්, කුමන හේතුවක් නිසාවත් මැරීමෙන් වළකිමු. පානාතිපාත සිල්පදය සම්පුර්ණ වන්නේ එවිටය.

මෙවැනි බොහෝ ධර්ම කරුණු අඩංගු “කර්ම විපාක” නමැති වටිනා පොතෙහි මුද්‍රිත පිටපත් ඔබට…

මෙවැනි බොහෝ ධර්ම කරුණු අඩංගු “කර්ම විපාක” නමැති වටිනා පොතෙහි මුද්‍රිත පිටපත් ඔබටත් ලබාගෙන නොමිලේ තරුණ පිරිස් අතර බෙදා දීමේ අවස්ථාව දැන් ඇත. ඒ සඳහා පිවිසෙන්න ->

ලැජ්ජා බිය දෙක දේවධර්ම ලෙස දක්වා ඇත. හිිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්ම සමාහිතා…

ලැජ්ජා බිය දෙක දේවධර්ම ලෙස දක්වා ඇත.

හිිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්ම සමාහිතා
සන්තෝ සප්පුරිසා ලෝකේ – දේවධම්මාති වුච්චරේ

(ජාතකපාලි)

යනුවෙන් හිරි ඔතප් දෙක දේවධර්මය යි වදාරා ඇත්තේ ය. ඒ අනුව අහිරික අනොත්තප්ප දෙක තිරශ්චීන ධර්මය යි කිය යුතු ය. ඒ ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වළකින්නට දෙයක් නැත.

කිනම් නීච ක්‍රියාවක් වුවද තිිරිසනාට කළ හැකි ය.

අගේගුච්ඡි අහිරිකෝ – පාපා ගූථාව සූකරෝ
අභීරු ච අනොත්තප්පි – සලභෝ විය පාවක

ගූථය පිළිකුල් නො කරන සූකරයා මෙන් අහිරිකයා පාපය පිළිකුල් නො කරන්නේ ය. පළගැටියා ගින්නට බිය නො වන්නාක් මෙන් අනොත්තප්පය ඇත්තේ පාපයට බිය නො වන්නේ ය.

අහිරික අනොත්තප්ප නමැති ලෝක නාශක තිරශ්චීන ධර්ම දෙක හිරිඔතප් නමැති ලෝකපාලක බල ධර්ම දෙක ඇති කර ගැනීමෙන් දුර ලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්බව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය. මේ පව් කිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මා වැනි ජාතිසම්පන්නයකුට නුසුදුසුය යි සැලකීමෙන් හිරි ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මා වැනි වෘද්ධයකුට නුසුදුසුය යි වයස සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කිසිවකට සමත් කමක් නැති අවාසනාවත් පුද්ගලයන්ට මිස දැහැමින් ජීවත් වීමට සමත් මා වැනියන්ට නුසුදුසුය යි ශූරභාවය සැලකීමෙන් හිරිය ඇති වී අහිරික දුරුවේ. පව්කම් කිරීම අඥානයන්ගේ ක්‍රියාවෙක, මා වැනි පණ්ඩිතයකුට උගතකුට පව් කිරීම නුසුදුසු ය යි උගත් බව සැලකීමෙන් ද හිරිය ඇති වී අහිරික දුරු වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල.

තුන් ලොව සනහාලීමේ අසීමිත ගුණයන්ගෙන් යුක්ත වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතුන් වෙත පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ දහම් බිඳක් පැහැදිලි කර දීමටයි. සූදානම් වන්නේ බණ ඇසීම හා දෙසීම උතුම් පින්කමක්. දහමෙහි පවත්නා වටිනාකම උදාරත්වය පිළිබඳ පුන පුනා කීම අවශ්‍ය නැහැ, වැටහීමෙන් යුතුව ක්‍රියා කරන ඔබට පුද්ගල සන්තානයෙහි හටගන්නා කෙලෙස් රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ එකම ඖෂධය ධර්මයයි. “ධම්මෝසධ සමං නත්ථි ඒවං පිවත භික්ඛවො”අවිදු අදුරෙන් වෙලී නරකාදි දුක්ඛිත ලෝකයන්හි අයහපත්ව ගමන් කරන්නා වූ පුද්ගලයන් එයින් මුදා සම්‍යග් මාර්ගය වෙත ඔවුන් කැඳවාගෙන යන්නේ මේ උතුම් වූ මාර්ගයයි. ධර්මය හොඳින් අසන්න. දරන්න, ඒ අනුව හැසිරෙන්න. බුදු බණ සද්ධාව උපදවනවා. අර්ථවත් බවෙන් යුක්තයි. සැඟවිය යුතු දෙයක් නෑ. කණට, මිහිරියි. අනුන් හෙළා දකින්නේ නෑ. තමන් ගැන පමණක්ම කියන්නේ නෑ. ඇසීමට විමසා බැලීමට යෝග්‍යයි.

දිනක් පංචකංගික නම් වඩුකාර්මිකයා සැවැත් නුවර වැඩ සිටි බුදුරදුන් බැහැදැකීම සඳහා තම නිවසින් පිටත් වුණා. ටික දුරක් යන විට ඔහු කල්පනා කළා. අනේ මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සඟරුවන විවේක සුවයෙන් පසුවන අවස්ථාව. දැන්මම එහි නොයා යුතුයි. තව ටිකකින් උන්වහන්සේලා හමු වෙනවා කියල. ඉන් පසු එතුමන් ඒ අසල තිබූ සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික සිටින අසපුවට ගමන් කළා.

සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික තුමා බෞද්ධයෙක් නොවෙයි. ඔහු පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වන්නේ “සමයවාදක” යන විශේෂ පදයෙන්. මන්ද? ඔහු විවිධ දෘෂ්ටීන් හා සම්බන්ධ පුද්ගලයෙක්. විවිධ මත වාදින් කැඳවා ස්වකීය අදහස ප්‍රකාශ කරන්නෙක්. මේ වඩුකාර්මිකයාගේ පැමිණීමත් එබඳුම එකක්. සූත්‍රයේ සඳහන් හැටියට උස් හඩින් මහ සද්ධ නැගෙන පරිදි තිරස්චීන කථා වලින් යුක්තව සිටිය බව පැහැදිලිය.

සම්බුදු සව්වෙක් ඈතින් එනු දුටු සමණමණ්ඩික තම පිරිස නිහඬ කළා.ඇයි මේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිහඬ බව අගයතියි ඔහු හොඳින් දැන සිටි නිසා. සුදුසු පරිදි අසුන් ගත් මේ දෙදෙනා අතර කථාව ආරම්භ වුණා. ඉතා සතුටින් සතුටුවිය හැකි කරුණු සාකච්ඡා වුණා. ඉන් පසු සමණමණ්ඩික “ මම මේ ලෝකයෙහි කයින් පව් කම් නොකිරීම. වචනය වැරදි ලෙස නොයෙදීම, සිතිවිලි වැරැදියට යොමු නොකිරීම ලාමක පහත් ජීවිකා වෘත්තීන් හි නොයෙදෙන පුද්ගලයන් සිව් දෙනා වාද නොකිරීමට යෝග්‍ය උතුම් පුද්ගලයන් යැයි පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහුගේ අදහස හොඳින් ශ්‍රවණය කළ, පංචතංගික එම අදහස එපරිද්දෙන්ම පිළිගත්තේ නැහැ. නිවැරැදි ස්ථීර පිළිතුරක් දුන්නේත් නෑ. නමුත් ප්‍රතික්‍ෂේප කළෙතේ නෑ. බුදුරදුන්ගෙන් විමසා දැනගත යුතුයැයි අදහස් කර උන්වහන්සේ හමුවට ගියා.

බුදුන් වැඳ අවසර ගත් එතුමන් සමණමණ්ඩික හමුවූ පුවතක් ඔහුගේ අදහසුත් ප්‍රකාශ කළා. ඒ කථාව ඇසු බුදුපියාණෝ “ඒවං සත්තේ ඛො ථන්ති දහරො කුමාරො, උත්තාන සෙය්‍යකො සම්පන්න කුසලෝ භවිස්සති. පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමණො අසාජ්ඣෝ “ යනුවෙන් දේශනා කළා.

විශේෂයෙන් උන්වහන්ස් ප්‍රධාන කරුණු හතරක් තේමා කරගෙන ඒ හා බැඳුනු කාරණා 10 ක් මෙහිදී පැහැදිලි කළා .අකුසල සීලය, කුසල සීලය, තමා පිළිබඳ අකුසල ඇතිවන්නේ කෙසේදැයි හඳුනා ගන්න. එහි සරාගී බව වටහා ගන්න. අනතුරුව ඒවා නිරුද්ධ කිරීමට දුරු කිරීමට ක්‍රියාත්මක වන්නැයි දේශනා කරනවා. කුසල සීලය පිළිබඳවත් එසේමයි. කුසලය පින පිළිබඳ හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. අනතුරුව රාග දෝස,, මෝහාදි කෙලෙස් මුල් දුරුවනබව තේරුම්ගෙන වඩ වඩාත් කුසල් රැස් කරන්නට උත්සාහ වන්ත. වෙන්නටම ඕනෑ. අකුසල සංකල්ප බැහැර කිරීම හා කුසල සංකල්ප ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මින් පැහැදිලි වෙනවා.

එමෙන්ම අපේ සිත, කය වදන යන තිදොර මුල්වීමෙන් උපදින ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුෂාවාච , සම්පප්ප්‍රලාප අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි යන අකුසල් දුරුකර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. දස කුසල් දහම්හි යෙදෙන්නේ වැරැදි ජීවන වෘත්තීන් අතහැර දමන්න ජීවිතය අර්ථවත් මඟකට යොමු කරගන්නට උත්සාහ වීමයි. මෙහිදී වැදගත් වෙන්නේ. මෙහෙම ඉතා සාර්ථක අර්ථවත් ධර්ම දේශනාවක් කළ සම්මා සම්බුදු පියාණෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා සසර සයුරින් අපමණ දුකින් මිදි ශාන්ත නිවීම අත් කරනු පිණිස යහපත් දැක්මක යහපත් කල්පනාවක වචනයක ක්‍රියාවක පැවැත්මක උත්සාහයක අවශ්‍යතාවය.

මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුතුව වරදින් වැළකී නිවැරදි මාවතක ගමන් කරන්නා පිරුණු කුසල් ඇති උසස් පුද්ගලයකු වන බවයි. අපද තිදොර නිවැරැදි මඟ යොමුකර මනා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන්නට උත්සාහ ගනිමු. එවිට සියලු දුක් දුරුකර උතුම් නිවන් සුව සාක්ක්‍ෂාත් කරගත හැකි වනු ඇති.

තෙරුවන් සරණයි!

නාමල්වත්තේ ආනන්ද හිමි

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!