Monthly Archives: June 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/31ERLhM
අචිරං වතයං කායො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි පූතිගත්තතිස්සතෙරුන් අරභයා දේශනා කරන ලදි. සැවැත්නුවරවාසි එක්කුලපුත්‍රයෙක් බුදුන් හමුවෙහි බණ අසා සසුනට කැමතිව පැහැදි විය. උපසම්පදාව ලත් උන්වහන්සේ තිස්සස්ථවිර නමින් ප්‍ර‍කට වූහ. කල් යෑමෙන් උන්වහන්සේගේ සිරුරෙහි එක් රෝගයක් හටගත්තේය. අබඇට පමණ ගෙඩි හටගත්තේය. ඒවා පිළිවෙලින් මුංඇට, කඩල ඇට, මසන්ගෙඩි, නෙල්ලි, බෙලිගැට, ලොකුබෙලිගෙඩි පමණ විශාල වී පුපුරා ගියේය. සියලු සිරුර ලොකු කුඩා සිදුරු වලින් ගහන විය. ඉන්පසු උන්වහන්සේ පූතිගත්තතිස්සස්ථවිර (ගෙඩි හැදුණු) නමින් ප්‍ර‍කට වූහ.

පසු කලක උන්වහන්සේගේ සිරුරේ ඇට කැඩී බිඳී ගියේය. පිළියම් නොකළහැකි තත්ත්වයක් උදාවිය. ආඳිපෙරෙවි වස්ත්‍ර‍ ලේ සැරව තැවරී සිදුරු සහිත කැවුමක් මෙන් විය. සමග හැසිරෙන අය උපස්ථාන කළ නොහැකිව හැරදැමූහ. උන්වහන්සේ අනාථ වී වැද හොත්තෝ වූහ.

දිනකට දෙවරක් මහාකරුණාවෙන් ලොව දෙස බැලිම බුදුන්ගේ අවිජහත සිරිතකි. උදෑසනම ලොව බලන උන්වහන්සේ සක්වළමුවවිට පටන් ගදකිළි දොරටුව දක්වා වූ ඥානයෙන් ලොව දකිති. සවස් කාලයේදී බලන විට ගඳකිළියෙන් පටන්ගෙන බාහිරලෝකය අභිමුඛ කොට ඥානය විහිදුවා ලොව බලති. එදින බුදුන්ගේ ඥානදැලට පූතිගත්තතෙරුන් හසු විය. ශාස්තෘන්වහන්සේ, තිස්ස තෙරුන්ගේ රහත් වීමට ඇති උපනිශ්‍ර‍යසම්පත් දැක මොහු සද්ධිවිහාරිකාදීන් විසිනුත් හැරදමා ඇත. දැන් ඔහුට මා ඇර වෙනත් පිළිසරණක් නැතැයි ගඳකිළියෙන් නික්ම විහාර චාරිකාවේ හැසිරෙන ගමන් ගිනිහල් ගෙට වැඩමවා මහ සැළියක් සෝදා ලිප උඩ තබා වතුර රත්වන තුරු ගිනිහල්ගෙය තුළම වැඩ සිටියහ. වතුර රත්වූ පසු වැඩමවා ඒ භික්ෂුව සිටි ඇඳේ එක් පැත්තක් ඔසවා ගත්හ.

එකල භික්ෂූහු එහි පැමිණ ස්වාමීනි, ඉවත්වුව මැනවි. අපි ඇඳ එළියට ගන්නෙමු යයි ඔසවා ගෙන ගිනිහල්ගෙට රැගෙන ගියහ. ඔරුව (පඩු ඔරුව) ගෙන්වා එහි සතපවා උණුදිය ඉස්වා ඒ භික්ෂූන් ලවා තිස්සතෙරුන්ගේ පෙරවූ රෙදි ඉවත් කරවා උණුවතුරින් සෝදවා මද අව්වෙහි තැබ්බවූහ. ඉන්පසු ඔහුගේ සිරුර උණුදියෙන් යළිත් තෙමවා අතුල්ලා නැහැවූහ. එහි දී උන්වහන්සේ නැහැවීම අවසන් වනවිට පාරුපණයද වියළිණි. ඉන්පසු උන්වහන්සේට ඒ වස්ත්‍ර‍ පෙරවා, හැඳසිටි කසාවත් දියෙහි දමා පොඩිකරවා අව්වේ වනවාලූහ. උන්වහන්සේගේ සිරුරෙහි තිබූ ජලයද වියළිණි. තිස්සතෙරණුවෝ එක් කහවතක් හැඳ තවත් එකක් පෙරවා සැහැල්ලු ශරීර ඇතිව සිත එකඟ කරගෙන ඇඳමත නිදාගත්හ. බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්ගේ ඇඳ ඉහානයේ සිට මහණ ඔබේ මේ කය විඥානය පහව ගිය කල උපකාරයක් නොමැතිව දරකඩක් මෙන් පොළොවෙහි වැටී යන්නේයයි වදාරා මේ ගාථාවද ප්‍ර‍කාශ කළහ.

සිත නැතිව ගිය කය

දිරා ගිය දර කඩක් මෙන්

පොළොව මත වැතිරී යයි

නොබොහෝ කලක් මෙහි සිට

එහි අචීරං වත යනු මහණ නොබෝ කලකින්ම අයංකායො පඨවිං අධිසෙස්සති මේ ප්‍ර‍කෘති සයනයෙන් නිදා සිටින පොළොව මත නිදන්නේය. ඡුද්ධො යනු පහවගියේ, පහ වූ විඥානය ඇති හෙයින් හිස් බවට පත් වී නිදන්නේ යයි පෙනෙයි. කුමක් වගේ ද? නිරත්ථංව කලිංගරං රූපාකාරයක් අර්ථයක් නැති දරකැබැල්ලක් මෙනි. දැවයෙන් වැඩක් ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති දඬු ඇද නැති හැටියෙන්මත්, වක් වී ඇති දඬු ඒ හැටියෙන්මත් කපා එක්තැන් කර ගනිති. සෙසු ලීවල සිදුරු වූ තැන් දිරාගිය තැන් ගැට ඇති තැන් කපා එහිම හැර දමති. පසුව වෙනත් දැව අපේක්ෂා කරන අය අවුත් ඒ හැර දැමූ ඒවා නොගෙන තවදුරටත් සොයා තමන්ට උපකාර වන දැව පමණක් ගිනිති. සෙස්ස පොළොව මතුපිටම වැටී තිබෙයි. ඒවා පාපුවරු ඇඳකකුල් ඵලක පුවරු ආදිය සෑදීමට හැකි වුවත් හැර දමන්නාහ.

මේ ආත්මයෙහි (ශරීරයෙහි) දෙතිස් කුණප කොට්ඨාශවලින් ඇඳකකුල්වලට හෝ ගතහැක්කක් නම් නැත. හුදෙක් නිරන්ථංව කලිංගරං නිරර්ථක දඩුවක්ම වේ. මෙය විඥානය පහව ගිය කල කිහිප දිනකින්ම පොළොව මත වැතිරී යන්නේය.

දේශනා කෙළවර පූතිගත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ පටිසම්භිදා සහිත රහත් බවට පැමිණියහ. තවත් බොහෝ අය සෝතාපත්ති ආදි ඵලවලට පැමිණියාහුය. ස්ථවිරයන් වහන්සේ රහත්බවට පත්වනවාත් සමගම පිරිනිවන්පෑහ.

බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්වහන්සේගේ සිරුර පිළිබඳ කටයුතු කරවා, ධාතූන් ගෙන චෛත්‍යයක්ද කරවූහ. භික්ෂූහු, ස්වාමීනි, පූතිගත්තතිස්සතෙරණුවෝ කොහි උපන්නාහුදැයි ඇසූහ. මහණෙනි, උන්වහන්සේ පිරිනිවන් පෑහ. ස්වාමීනි, මෙවැනි රහත්වීමට පවා උපනිශ්‍ර‍ය සම්පත් ඇති උන්වහන්සේ තුවාලවලින් ගහන වූයේ කුමක් නිසාද? උන්වහන්සේගේ ශරීර ඇට බිඳී ගියේත් ඇයිද? කුමන කරුණක් රහත්වීමට උපනිශ්‍ර‍යවීද? මහණෙනි, මේ සියල්ල ඔහු තමන්ම කළකම් නිසා සිදුවිය. ස්වාමීනි, උන්වහන්සේ විසින් කරන ලද ඒ කළකම් මොනවාද? එසේනම් මහණෙනි අසව්.

මෙතෙම කාශ්‍යප බුදුන් කල පක්ෂීන් මරා ජීවත් වන්නකු විය. බොහෝ කුරුල්ලන් බැඳ ඉසුරුමතුන්ට දුන්නේය. ඔවුන්ට දී ඉතිරි පක්ෂීන් වික්කේය. විකුණා ඉතිරි වූ කුරුල්ලන් මරා තැබූ පසු කුණු වී යන හෙයින් ඔවුන්ට ඉගිළී යා නොහැකි සේ ඔවුන්ගේ කකුල්වල ඇට සහ පියාපත් බිඳ එකතු කොට තැබීය. එවුන් දෙවෙනි දිනයේ වික්කේය. විශාල සංඛ්‍යාවක් වූ විට තමන්ගේ කෑමටද උයවන්නේය. දිනක් ඔහු රසබොජුනක් උයාගෙන සිටින විට එක් රහතන්වහන්සේනමක් පිඬුසිඟා වැඩමවා ඔහුගේ ගෙය ඉදිරිපිට සිටියෝය. හෙතෙම තෙරුන් දැක සිත පහදවාගෙන මා විසින් බොහෝ ප්‍රාණීන් මරා කන ලදි. ආර්යයන්වහන්සේත් මගේ ගේ දොරටුවට වැඩමවූහ. ඇතුල්ගේ රජබොජුනක්ද සූදානම්ය. උන්වහන්සේට පිණ්ඩපාතය පූජාකරන්නෙමියි උන්වහන්සේගේ පාත්‍ර‍ය රැගෙන එය පුරවා රසපිණ්ඩපාතය පූජා කොට පසඟ පිහිටුවා තෙරුන් වැඳ, ස්වාමීනි, ඔබ මෙලොව ජීවිතය – අද සාර්ථක කර ගත්තාක් මෙන් මටත් එසේම වේවායි කීවේය. උන්වහන්සේ එසේම වේවායි අනුමෝදනා කළහ. මහණෙනි එදා කළකම් වශයෙන් තිස්සට මෙසේ විය. පක්ෂීන්ගේ ඇට බිඳීමේ හේතුවෙන් තිස්සගේ සිරුර ද ගෙඩිවණවලින් ගහන විය. ඇටද බිඳී ගියේය. ක්ෂීණාශ්‍ර‍වයන්වහන්සේට රස පිණ්ඩපාතයක් දීමේ ආනිසංශයෙන් රහත්බවට පැමිණියෝ යයි වදාළහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: http://bit.ly/2IrsBL3

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2RpGKMS
ආලවක පැනය සම්බන්ධයෙන් දහම් පඬුරක් පිලිගැන්වීමටයි මේ වෑයම
කථංසු තරතී ඔඝං – කථංසු තරතී අණණවං

කථංසු දුක්ඛං අච්චේති – කථංසු පරිසුජ්කඞති

දිනක් බුදු හාමුදුරුවො වැඩියා ආලවක යක්ෂයාගේ විමානෙට. මහා මාන්නක්කාර යක්ෂයෙක්. බුදු හාමුදුරුවො විමානෙට වඩිනකොට කවුරුත් නෑ බිරින්දෑවරු තුන් දෙනා විතරයි විමානෙ…. බුදු හාමුදුරුවො එනකං හිටියා…

යක්ෂයා ඈතින් එනවා බලාගෙන යක්ෂයා ට පෙන්න බුදු පියානන් වහන්සේ සක්මනේ යෙදුනා…

යක්ෂයා ඈත තියාම දැක්කා බුදු හාමුදුරුවන් ව. “ශ්‍රමණයා මොකද මේ පැත්තෙ, මගේ විමානෙ” කියලා හිතලා ලඟට ගිහින්,

“බැහැපං එලියට” කිව්වා…

බුදු හාමුදුරුවො නිශ්ශබ්දව එලියට වැඩියා…. බුදු හාමුදුරුවො කවුද කියලා ආලවකයා දන්නෙ නෑ… දන්නව නම් එහෙම කතා කරන්නෙ නෑ….

බුදු හාමුදුරුවො කියපු ගමන් එලියට වැඩි නිසා ආලවකයා හිතුවා “මගෙ අනට ටිකක් කීකරුයි වගේ…. වෙහෙසට පත්කරන්න ඕන ” කියලා. එහෙම හිතලා

“මෙහෙ වර” කිව්වා

බුදු හාමුදුරුවො ඇතුලට වැඩියා.

” එලියට පලයං”

එලියට වැඩියා

” ඇතුලට වරෙන්”

ආපසු වැඩියා

“එලියට පලයං”

“නොගියොත්”

බුදුරජාණන්වහන්සේ ඇහුවා… නොගියොත් කියලා…

“නොගියොත් මං උඹගෙන් අහනවා ප්‍රශ්න ටිකක්, උත්තර දීපං… උත්තර නොදුන්නොත් පලනව තොගෙ පපුව, උස්සල ගහනවා ගංඟාවෙන් එහා පැත්තෙ”

එතකොට බුදු පියානන් වහන්සේ කියනවා… ” ප්‍රශ්න ටික” අහන්න කියලා

ඉතිං ආලවකයා අපි මාතෘකා කරගත් ප්‍රශ්න ටික බුදු පියානන් වහන්සේ ගෙන් ඇහුවා….

එහි අර්ථය තමයි

කොහොමද සත්ත්වයා සැඩපහර තරණය කරන්නේ?

කොහොමද සත්ත්වයා සසරෙන් එතෙර වෙන්නෙ?

කොහොමද සත්ත්වයා දුකෙන් අත මිදෙන්නෙ?

කොහොමද සත්ත්වයා පිරිසිදු වෙන්නේ?

හිතෙනවද යකෙක්ට මේ වගේ ප්‍රශ්න ටිකක් හම්බවුනේ කොහොමද කියලා…

බුද්ධෝත්පාද කාලයට ධර්මය ඉස්මතු වෙනවා… ක්‍රමයෙන් එහි අර්ථය වැනසනවා… නමුත් වචන ටික වැනසෙන්නේ නෑ… අපිත් තේරුමක් නොදන්න වචන ටිකක් කියව කියවා යනවා නේද ධර්මය කියලා…. ඒ වගේ තමයි ආලවක යක්ෂයත්… පරම්පරාවෙන් අරං ආවා වචන ටිකක් කට පාඩමින් කාශ්‍යප බුදුන් වහන්සේගෙ සාසනේ තිබුනු. නමුත් ඔහු අර්ථය දන්නෙ නෑ…

ඉතිං බුදු හාමුදුරුවො මේ ප්‍රශ්න ටිකට මෙහෙම උත්තර දෙනවා…

කතංසු තරති ඕඝං?

මොනවාද මේ සැඩපහර…

කාම ඕඝ

භව ඕඝ

දිට්ඨි ඕඝ

අවිජ්ජා ඕඝ.

ඇස කන නාසය දිව ශරීරය මන අරමුණු ලැබෙනකොට ප්‍රියයි නම් ඇලෙනවා, අප්‍රියයි නම් ගැටෙනවා… ඇලි ඇලී, ගැටි ගැටී අසිහියට පත් වෙලා කාම සැඩපහරට අසු වෙනවා….

ඉතිං අසිහිය නිසා හිත ඇතුල පෙරලෙනවා විටෙක තිරිසන් බවට, මනුස්ස බවට, ප්‍රේත බවට…. එකින් එක මනසේ අනන්ත භව සකස් කරනවා… මෙහෙම භව ඕඝය කියන සැඩපහරට අහු වෙනවා…

භව ඕඝය ට අහු වෙලා, සත්ත්වයෙක්, පුද්ගලයෙක් කියන දෘෂ්ටියට බැහැගෙන අස්වාදයක් හොයමින් දිට්ඨි ඕඝය කියන සැඩපහරට අහුවෙනවා….

අනිච්චතාවයට පත් වන මේ හැමදේම නිච්චයි , ප්‍රියයි ,මධුරයි කියලා හිතාගෙන විද්‍යාවෙන් නොදකින නිසා අවිද්‍යා ඕඝයට අහුවෙනවා…..

කොහොමද මේ ඕඝ 4න් ගැලවෙන්නේ… කියලා ආලවක යක්ෂයා අහනවා….

සද්ධාය තරති ඕඝං.

සද්ධාව කියන සුදුසුකම ලැබුනොත් මේ ඕඝ හතර තරණය කරනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා…

මොකක්ද සද්ධාව කියන්නේ…. ඇත්ත දැක දැකා ඇත්තට පැහැදීමයි. යමෙක් සත්‍ය දැක අවබෝධයට පත් වෙනවා නම් හේ බුදුන් ට පැහැදුනා, දර්මය ට පැහැදුනා, සංඝ රත්නයට පැහැදුනා වෙනවා….

මේ මායාවක අපි පැටලිලා ඉන්නේ කියන එක දැනගත්ත දවසට ඒකෙන් මිදෙන්න වෙහෙසෙනවා….

කතංසු අන්නවං?

කොහොමද සසරෙන් එතෙර වෙන්නේ?

අප්පමාදේන අන්නවං.

සද්ධාවෙන් අර ඕඝ හතර තරනය කරනවා… එතෙර වෙන්න නම් අප්‍රමාදය තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ එලඹි සිහිය තියෙන්න ඕනෙ මෙතන මෙතනම.

සති නිමිත්ත මුට්ට සති වෙනකොට ඒ කියන්නේ බලවත් නැති වෙනකොට, ඕඝ හතරට අහුවෙලා දියවෙලා යනවා….

සති නිමිත්ත බලවත් වෙනකොට ඕඝ හතරට අහු වෙන්නෙ නෑ…. එතකොට සීලය රකිනවා නෙමේ රැකෙනවා….

එහෙනම් සසරෙන් එතෙර වෙන්න සිහියයි වඩන්න ඕනේ……

කතංසු දුක්ඛං අච්චේතී?

දුකෙන් අතමිදෙන්නේ කොහොමද?

විරියේන දුක්ඛං අච්චේතී.

ක්ෂණයක් ක්ෂණයක් පාසා සිහියම වැඩුව නම්…. විරියෙන් සති නිමිත්ත පූර්ණය කලා නම් දුකෙන් අතමිදෙන්න පුලුවං වෙනවා…..

කතංසු පරිශුද්ධති?

පාරිශුද්ධභාවය පත් වෙන්නේ කොහොමද?

ප්‍රඥාය පරිශුද්ධති.

අනිච්ච, දුක්ඛ, අනත්ත බව දැක දැකා පුහුණුවේ යෙදුනොත් ප්‍රඥාව වැඩෙනවා…. රාගය, ද්වේශය, මෝහය ක්ෂය වෙනවා…. සියල්ල විමුක්ත උන දවසට පාරිශුද්ධයි….

කියාලා බුදු හාමුදුරුවො මෙසේ පිළිතුරු දෙනවා…..

සද්ධාය තරතී ඔඝං.

අප්පමාදේන අණ්ණවං.

විරියේන දුක්ඛං අච්චේතී.

පඤ්ඤාය පරිසුජ්කඞති.

(උපුටා ගැනීමකි)

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2XY3wxS
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත් මහා කැරැල්ල සුමන කුමරුගේ මැදිහත් වීම යටතේ ඉතා මැනැවින් සංසිඳී තිබේ. ඒ ගැන ආනන්ද රජුගේ සිත බොහෝ සෙයින් සතුටට පත් වූ සෙයකි. රජු තමා ඉදිරියේ සිටි කැරැල්ල සංසිඳ වූ දෙටුපුත් සුමන කුමරුට මෙසේ පැවසුවේ ය.

“අගෙයි මා පුත‍්‍රය, ඉතාමත් ම අගෙයි. ඔබ ගැන පිය රජුගේ සිත ඉතාමත් සතුටට පත්වයි තිබෙන්නේ. ඉදින් තොප කැමැති යම් වරයක් වේ නම් දැන් එය ඉල්ලව. මා ඔබට එය ලබා දෙමි”

“අවසර පිය රජතුමනි, මසිතේ බෝහෝ කලක සිට පවතින ආශාවක් තිබේ. එය ඉටු කිරීමේ හැකියාව ඇත්තේද පිය රජතුමාට ම පමණි. එය ඔබ තුමා හට ලබාදීමට අසීරු වරයක් වුවත්, ක්ෂත‍්‍රීයයන්ගේ වචන දෙකක් නොමැති බැවින් මා හට එය ඉල්ලා සිිටීමට අවසර”

“පුත‍්‍රය තොප කැමැති වරය නොපමාව ඉල්ලව”

“පිය රජතුමනි මාගේ ඉල්ලීම නම් මෙයයි. මේ එළඹෙන්නේ වස්සාන සමයයි. ඔබ වෙන කිසිවෙකු හටවත් ලබාදීමට අකමැති ඒ භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයා හට උපස්ථාන කිරීමේ අවස්ථාව මා හට ලබා දෙනු මැනැවි.”

මීට කල්ප ලක්ෂයකට පෙර සිදු වූ පුවතකි මේ. ඒ පියුමතුරා නොහොත් පදුමුත්තර නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයයි. හංසවතියේ අගරජ බුදු සසුනේ පහන් සිත් ඇත්තේ විය. නිති බුද්ධ ප‍්‍රමුඛ ශතසහශ‍්‍රයක් සංඝයා විෂයෙහි උපස්ථාන කරනා ඔහු ඒ අවශ්ථාව වෙන කිසිවෙකු හට ලබා නොදේ. එහෙත් කැරැල්ලක් මැඩ පැවැත් වූ තම දෙටු පුත‍්‍රයා හට පොරොන්දු වූ වරය ලබාදිය යුතුය. එහෙයින් අකමැත්තෙන් වුවද සුමන කුමාරයා හට බුදුරජුන් හට උපස්ථාන කිරීමේ වරය ලබා දුන්නේය.

සුමන කුමාරයා ඉතා සැදැහැ සිතින් යුතුව පියුමතුරා බුදු රජාණන් වහන්සේටත් ශතසහශ‍්‍රයක් පමණ වූ මහා සංඝරත්නයටත් උපස්ථාන කළේය. බොහෝ පින්දහම් රැස් කර ගත්තේය. ඔහුගේ සිතේ උතුම් අදහසක් විය. ‘අනේ මා හට අනාගතයේ ලොව පහල වන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමකගේ අග‍්‍ර උපස්ථායකයා වීමට ලැබේවා’ යි පින් රැස් කරමින් සුමන කුමාරයා ප‍්‍රාර්ථනා කළේ ය.

පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු සසුනේ එසේ පින් රැස් කල හෙතෙම ඊට කල්ප ලක්ෂයක ඇවෑමෙන් පහළ වූ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ මනුලොව උපත ලැබීය. ඒ කපිලවස්තු නුවර අමිතෝදන ශාක්‍ය රජදහනේ ය. ඒ පින්වන්ත සිඟිත්තාගේ දැකීම සියල්ලන්ගේ සිත් ආනන්දයට පත් කළේය. එනිසා ම ඔහු ආනන්ද නම් විය. ආනන්ද කුමරු මහා නුවණැත්තෙකි.

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කල ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසි දහසක් මහ රහතුන් පිරිවරාගෙන කිඹුල්වත් පුරවරයට වඩිනා දිනයේ ඒ සම්බුදු රජාණන් වහන්සේ පිළිගැනීමට පැමිණි පිරිස අතරේ ආනන්ද කුමාරයා ද සිටියේය. ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්මෙන් ම සිත පහන් වූ ආනන්ද කුමරු ධර්මය අසා ඒ දහම අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් ගිහි ජීවිතය අතහැර පැවිදි බව ලබා ගත්තේය. සසරේ රැස් කරන ලද පුණ්‍ය මහිමයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහ්නසේගේ අග‍්‍ර උපස්ථායකයාණන් වහන්සේ බවට පත් වූයේ ඒ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ ය.

ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුදු සසුනේ පහළ වී වදාළ විශ්මිත ශ‍්‍රාවකයන් වහන්සේ නමකි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ සසුනේ වැඩිම අග‍්‍රස්ථාන ලැබූ භික්ෂුව වූයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය. තථාගත බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂූන් අතරේ (බහුස්සුතානං) බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂූන් අතරත්, (සතිමන්තානං) මනා සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, (ධිතිමන්තානං) මනා ධාරණ ශක්තිය ඇති භික්ෂූන් අතරත්, (ගතිමන්තානං) වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතරත්, (උපට්ඨාකානං) උපස්ථායක භික්ෂූන් අතරත් අග‍්‍රස්ථානය ලැබුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසිනි.

ඒ අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ පනස් පස් වැනි වියේදී ස්ථීර උපස්ථායකයාණන් වහන්සේ ලෙස ආනන්ද ස්වාමීන් වහන්සේව පත් කර ගත් සේක. එතැන් පටන් විසිපස් වසරක් ම බුදු රජාණන් වහන්සේට සෙවනැල්ල මෙන් උපස්ථාන කිරීමේ වාසනාව ආනන්ද ස්වාමීන් වහන්සේට උදා විය. ඒ ගෞරවනීය බුද්ධෝපස්ථානය ගැන උන් වහන්සේගේ ථේර ගාථාවල මෙසේ සඳහන් වේ.

“මං අවුරුදු 25ක් ම ගත කළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.

අවුරුදු 25 ක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක් හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකට මං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත කයින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත වචනයෙන්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත සිතින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.”

පුරා සතලිස් පස් වසරක් ලෝ සතුන් කෙරෙහි මහානුකම්පාවෙන් ජීවිතාවබෝධය පිණිස ධර්මය දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා පින්බිමේ දී දසදහසක් ලෝ ධාතුවම කම්පා කරවමින් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විටත් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ සේඛ භික්ෂුවක් ලෙසින්මයි. අනතුරුව මහා කස්සප මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයට ඉතා ඉක්මනින් ම බුදුරජුන්ගේ ධර්මය බාහිර මතවාදයන්ගෙන් අපිරිසිදු වන්නට මත්තෙන් සංගායනා කිරීමේ වැදගත්කම වැටහෙන්නට විය.

ඒ අනූව ‘පඤ්චසතිකා විනයසංගීති’ නමින් ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමට මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් නම් කරන ලදි. ඉන් හාරසිය අනූ නවයක්ම භික්ෂූන් මහ රහතන් වහන්සේලා වූ අතර සේඛ භික්ෂුවක් වූ ආනන්ද ස්වාමීන් වහන්සේ ද ඒ සංඝයා අතරට නම්කොට තිබිණි. එතැන් පටන් ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් නිකෙලෙස් වීම පිණිස බලවත් ලෙස වීරිය කරන්නට විය. මේ අතර අජාසත්ත මහ රජුගේ අනුග‍්‍රහ යටතේ ප‍්‍රථම ධර්ම සංගායනාව සඳහා කටයුතු සම්පාදනය වෙමින් පැවැතිණි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව් මසක් ගත වී නිකිණි මස පුන්පොහෝ දිනයට පෙර දවස උදා විය. එහෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ තවමත් නිවන් මඟ හැසිරෙන සේඛ භික්ෂුවකි.

මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩම කොට ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කරමින් මෙසේ පැවසිය. ”ආයුෂ්මත් ආනන්දයෙනි, හෙට දිනයේ ධර්ම සංගීතිය ආරම්භ කල යුතුව තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික භික්ෂුව ලෙස ඊට ඔබ වහන්සේගේ සහභාගීත්වය අනිවාර්යය වුවකි. එහෙත් එයට සහභාගී විය යුත්තේ කෙලෙස් සහිත කෙනෙකු ලෙස නම් නොවේ. ආයුෂ්මත් ආනන්දයෙනි, වීරිය වඩන්න. භාග්‍යවතුන් වහන්සේ විසිනුත් මේ ජීවිතයේ දී ම ඔබ වහන්සේ අරහත්වයට පත් වන බව වදාළ සේක. එනිසා ආයුෂ්මත් ආනන්දයෙනි, වීරිය කරන්න.”

ඒ අවවාදය සිතෙහි දරාගෙන රාත‍්‍රී මැදියම තෙක්ම සක්මනෙහි විදසුන් වඩමින් වෙහෙසුණු වීරිය වැඩූ ආනන්ද ස්වාමීන් වහන්සේ අළුයම කල එළඹි කල්හි මදක් සැතැපීමේ අදහසින් සක්මනෙන් ඉවතට වැඩම කළ සේක. පා දෝවනය කරගත් උන්වහන්සේ මනා සිහි නුවණින් යුතුවම යහන වෙත පැමිණ යහනේ වාඩි වූ සේක. ඉතා සිහියෙන් ම යුතුව යහනේ සැතැපීම පිණිස දෙපා පොළොවෙන් මිදී තිබිය එනමුත් උඩුකය යහන මත ස්පර්ශ වී නොතිබෙද්දී මේ අතරතුර කාලයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිත සියළු කෙලෙසුන්ගෙන් නිදහස් වූ සේක. ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2IPyYYH
අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.

එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව.

බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව දඹදිව රජකම් කළේ ධර්මාශෝක මහා අධිරාජයා. එතුමාගේ මුල් නම අශෝක. එතුමා දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඒ කියන්නේ යුද්ධ කරල රටවල් ඇල්ලීමේ ප්‍රතිපදාව. පසුව කාලිංග දේශය සමඟ සිදුවුණු බිහිසුණු යුද්ධයෙන් පසුව එතුමා ජීවිතය පිළිබඳව ඉතාමත් කළකිරුණා. එදා එතුමාගේ ජීවිතයටත් මුළු මහත් බෞද්ධ ලෝකයටත් වැදගත්ම අමරණීයම දවසක්.ඒ තමයි මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින රජුගේ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වරණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය, මේ දර්ශනය දැකීමෙන් රජතුමා ගේ සිත පී‍්‍රති ප්‍රමෝදයට පත් වුනා පමණක් නොවෙයි චංචල වී ගිය සිත මදකට නිශ්චල වී ගියා.

ඉන්පසුව එතුමා ස්වකීය ඇමතිවරුන් ලවා මේ පුංචි සාමණේරයන් වහන්සේ ස්වකීය මාලිගයට වැඩම කරවා ගත්තා. තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධාන කළා. එතකොට පොඩි හාමුදුරුවො සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. උන්වහන්සේ සුගතියට මග සකස් කරගත් කෙනෙක්. නිවන් මගට යොමු වූ කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්හ. රජතුමාත් බොහෝ නිහතමානී ලෙස බිමින් වාඩි වුනා. දැන් බලන්න මුළු දඹදිව තලයම හෙල්ලුම් කන ආකාරයට කටයුතු කරපු අධිරාජයෙක් කටයුතු කරන ආකාරය. මේ තමයි ධර්මයේ බලය.

ඉතින් මේ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්ත. ඉන්පසුව එතුමාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුනා. “චන්ඩාශෝක” ධර්මාශෝක බවට පත් වුනා. දිග්විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා.

ඉන්පසුව ධර්මාශෝක අධිරාජයා මේ සාමණේරයන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. ඊට පස්සෙ උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන වෙහෙර විහාර අසූහාර දහසක් කෙරෙව්ව. විශේෂයෙන්ම එතුමාට ඒ විහාර සඳහා අවශ්‍ය ධාතුන් වහන්සේලා එදා අජාසත්ත රජතුමා විසින් නිදන් කර තිබූ චෛත්‍යය තුළින් ලබා ගන්නට හැකි වුනා. වර්තමානය වන විට පුරා විද්‍යාඥයින් පවා තහවුරු කරල තිබෙනවා. ඒ වෙහෙර විහාර පිළිබඳව.

මේ වන විට ශාසනයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්‍යලබ්ධිකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට පටන් ගත්හ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇති වුනා. විනය විරෝධී භික්‍ෂූන් වහ්නසේලා එන්න එන්නම වැඩිවුනා. සත් අවුරුද්දකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. ඊට පස්සෙ මේ පිළිබඳව අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කරල තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එය පැවැත්වුනේ පැළලුප්නුවර (පාඨලීපුත්‍ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා. මින් පසුව විනය විරෝධී භික්‍ෂූන් වහන්සේලා සැට දහසක් පමණ සිවුරු අරවා ශාසනයෙන් නෙරපා හැරියා.

තුන්වන ධර්ම සාංගායනාවෙන් සිදු වුණූ උදාරම සේවය තමයි රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීම. ඒ අනුව අපි වාසනාවන්ත වුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්න.

එදා පොසොන් පොහොය දා දඹදිව වේදිසා පුරයේ සිට ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක කියන පිරිස සමඟ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළේ.

ඒ වෙලාවෙ අපේ රටේ රජතුමා හතලිස් දහසක පිරිවර සමග මුව දඩයමේ ගිහිල්ල හිටියෙ. ඒක ඒ කාලෙ තිබුණු එක්තරා චාරිත්‍රයකි. ඉතින් මේ වෙලාවෙ මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමාට මුණ ගැස්සවීම පිණිස එම පර්වතයට අරක් ගත් දේවතාවා රත්තරන් පාට ලස්සන මුවෙකුගේ වේශය අරගෙන රජතුමාට පෙනෙන්නට තණ කමින් සිටිය. රජතුමා මේ මුවාට විදින්නට ඕන කියල හිතාගෙන දුනුදිය ඇදගෙන ඌ පසුපස්සෙ එලවාගෙන ගියා. අර මුවාත් හරියටම මිහින්තලා පර්වතය ළඟින් දුවගෙන ගිහිල්ල අතුරුදන් වුනා. ඒ වෙලාවෙ රජතුමාව දුටු මිහිඳු මහ රහතන් වහන්සේ ‘තිස්ස’, ‘තිස්ස’ කියල කථා කළා. මේ ශ්‍රී ලංකාදීපයේ තමාට නම කියල අමතන්න තරම් අභිමානවත් පුද්ගලයා, කවුද කියල එතුමා බැලුවා. එතකොට එතුමා දැක්ක මිහින්තලා පර්වතයෙ කසාය වර්ණයෙන් බබලමින් වැඩ ඉන්න මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට එතුමා කලින් මහා සඟ රුවන පිළිබඳව අහල තිබුණත් මේ විදියට ඔබලා කවුද කියල ඇහුවා.

පින්වතුනි, අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි,

සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධා ගතා

යනගාථා රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නෙ “මහරජතුමනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි වැඩම කළා”, යනුවෙන් දේශනා කළා. ඊට පස්සෙ රජතුමා ඇසුවා ඔබ වහන්සේලා මෙහි වැඩියෙ කොහොමද කියල. ඒකට පිළිතුරු දුන් මහරහතන් වහන්සේ දියෙනුත් නොවේ.ගොඩිනුත් නොවේ. කියල පිළිතුරු දුන්න. ඊට පස්සෙ රජතුමා ඇහුවෙ නෑ අහසින්ද වැඩියෙ කියල. මොකද රජතුමාට නුවණ තිබුණ තේරුම් ගන්න මනස දියුණු කරල අහසින් ගමන් කරන උත්තමයෙක් ඉන්නා බවටත් ඒත් නූතන යුගයෙ ඉන්න සමහර මිථ්‍යාදෘෂ්ඨික පිරිස් මේව පිළිගන්නෙ නෑ. රජතුමා ඊට පස්සෙ දුනු ඊතල බිම දාල මහ රහතන් වහන්සේට කන් දුන්න. ලෝකයේ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය සිදු වුනේ ඒ වෙලාවෙ. මහ රහතන් වහන්සේට වුවමනා වුණේ රජතුමාගේ නුවණ පිළිබඳව පරීක්‍ෂා කරන්න. ඒ නිසා අඹ ප්‍රශ්නයක් ඥාති ප්‍රශ්නයක් ඇහුව, එ දෙකටම ඉතාමත් බුද්ධිමත් ලෙස රජතුමා පිළිතුරු දුන්න. ඉන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ මජ්ඣිම නිකායේ පළමුවන කොටසට අයත් ඇතෙකුගේ පියවර සටහනට උපමා කරල වදාළ කුඩා දෙසුම වන ‘චූල හත්ථි පදෝපම ‘සූත්‍රය දේශනා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිවර උතුම් තෙරුවන් සරණට පත් වුනා. මේ තමයි අප ලංකා ඉතිහාසයේ අමරණීය දවස, කල්ප ගාණකින් පහළවන ඒ අමා මෑණී බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යාමට අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමාට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ පින්වත් දේවානම්පියතිස්ස රජතුමා ඒ අවස්ථාව සකල ලංකාවාසි සියලු දෙනාටම ලබා දීමට කටයුතු කළා.

මේ උතුම් සූත්‍ර දේශනාවෙ නම් බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි අන්තර්ගතය කුමක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ උතුම් සූත්‍රයේ තිබෙන්නෙ යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්ථාවරම උතුම් තිසරණයට පත්වීම ගැන. ඇත්තෙන්ම කෙනෙක් ධ්‍යාන ලබා ගත්තත්, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලැබුවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි කියල පිළිගන්නෙ නෑ. ඒ පිළිගැනීම ඇති කර ගන්නෙ තමා විමුක්තියට පත් වුනා කියල සැබෑ ලෙසට දැන ගත්තට පස්සේ.

ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට තවත් දේශනා ගණනාවක් සිදු කළා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ දෙවැනි දවසෙම දේවදූත සූත්‍රය දේශනා කළා. මෙය තිබෙන්නෙ මජ්ඣිම නිකායෙ තුන්වන කොටසෙ. අද ඉන්න අපේ සමහර බෞද්ධයන් අපායවත් පිළිගන්නේ නෑ. ඒත් ඒ මිහිඳු මහ රහතන් වහන්සේට වුවමනා වුනේ ශ්‍රී ලාංකිකයන්ට අපාය ගැන කියල දීල අපායෙන් ගලවන්න. ඉතිං පින්වතුනි, අද දවස තමයි අපේ රටට ඒ ප්‍රඥාලෝකය උදා වුනු දවස, සතුන්ට අභයදානය ලැබිච්ච දවස. අපට සංසාරය ගැන ඉගෙන ගන්න ලැබුණු දවස. ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණු දවස, පින, පව, ගැන දැන ගන්න ලැබුණු දවස, ඒ උතුම් නිවන ගැන දැන ගන්න ලැබුණූ දවස, ඉතින් අපි මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අවාසනාවකට අද අපේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට මේ වැටහීම නෑ. අපි අද පටන්වත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කරමු. ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය ගත කරමු. මෙලොව පරලොව වාසනාවන්ත කර ගනිමු. ඒ උතුම් නිවන සාක්ක්‍ෂාත් කර ගනිමු. ඔබට ඒ වාසනාව උදාවේවා!