Monthly Archives: January 2015

තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කරන ලද්දේ විශාඛා මහා උපා…

තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කරන ලද්දේ විශාඛා මහා උපාසිකාවගේ ගැටලුවක් නිමිතිකරගෙනයි. විශාඛාව භද්දිය නුවර අමිතභෝගී මහා සිටු පවුලක උපන් පින්වත් සිටු දියණියකි. සැවැත් නුවර අමිතභෝගී සිටුවරු නොවූ හෙයින් කොසොල් රජතුමා විසින් බිම්බිසාර රජතුමාගෙන් කරන ලද බලවත් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙණ්ඩක සිටුතුමාගේ පුත් ධනංජය සිටුතුමා සැවැත්නුවරට සමීපව සාකේත නම් නුවරට පැමිණ වාසය කළේය.

ඔහු විශාකාවගේ පියතුමා විය. ඇය සොළොස්වියේ දී සැවැත් නුවර විසූ මිගාර සිටුතුමාගේ පුත් පූර්ණවර්ධන සිටුතුමා සමග විවාහ වූවාය. එම විවාහ මංගල්‍යයට අතිශය හිත්වත්කම නිසා කොසොල් රජු ද සම්බන්ධ විය. සාරමසකට වැඩි කාලයක් කොසොල් රජු ඇතුළු පිරිසට උපස්ථාන කළේ විශාඛාව සහ ඇගේ පිරිවර විසිනි.

විශාඛාවගේ ඒ විවාහ මංගල්‍යය අතිශය උත්කර්ෂවත්ව සිදුවුණි. පියා විසින් ඇයට මහලිය පළඳනාව සාරමසක කාලයක් තුළ සාදවා පිරිනැමූ අතර නොයෙක් සිටුවරුන්ගේ තෑගිබෝග ද ඇයට ලැබුණි. විවාහ මංගල්‍යයෙන් පසුවත් ඇයට දුරබැහැර සිට එවූ තෑගි ලැබෙමින් පැවතිණි. දිනක් පිටිසර වැසි සිටුවරයකු විසින් විශාඛාවට එවූ අගනා ආභරණයක් සඳහා සැවැත්නුවර වාසලේ දී අධික අයබද්දක් පනවන ලදී. මේ අසාධාරණ බදු අයකිරීම ගැන කථා කළ විශාඛාවට දොරටුවෙහි සිටි අයකැමියා ප්‍රකාශ කළේ කොසොල් රජුගෙන් විමසා අයබද්ද අඩුකරගන්නා ලෙසයි. මේ සඳහා විශාඛාව කීපවිටක්ම කොසෙල් රජුගේ මාලිගයට ගියාය. නමුත් කොසොල් රජතුමා විශාඛාව පැමිණි බව අසා දේවිය සමගින් අන්තඞපුරයට පිවිසෙයි. පිවිස බොහෝ වේලාවක් සිටි විශාඛාව ගිය පසු නැවත රාජකාරි සඳහා පැමිණෙයි. මෙසේ කරන ලද්දේ ඇයගේ ත්‍යාගයට නියමිත අයබද්ද අඩුකරීමට සිදුවන හෙයිනි. මෙසේ දින කීපයක්ම විශාඛාව රජමාලිගයේ දී අපහසුවට පත් වූවාය. මෙසේ එක් දිනයක උදේ සිට දවල් වන තෙක් මාලිගාවේ සිටි නමුත් රජු හමු නොවූ බැවින් වෙහෙසට පත් ඇය නැවත ගෙදර යන්නි බුදුරදුන් තමා කරවා පූජා කළ පූර්වාරාමයෙහි වෙසෙන බව අසා උන්වහන්සේවත් හමුවී සිත සනසා ගැනීමේ අදහසින් එහි පිවිසියාය.

මේ පුවත සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදාන පාළියේ දෙවන මුචලින්ද වග්ගයේ නවවන සූත්‍රය වූ (164-166) විසාඛා සූත්‍රයෙහිත් එහි අටුවාවේත් විස්තරව දැක්වේ. භාග්‍යවතුන් වහන්සේට මැනවින් පසග පිහිටුවා වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියා වූ මිගාරමාතු විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක

හන්ද කුතො නුත්වං විසාඛෙ ආගච්ඡසි දිවා දිවස්සාති? (විශාඛාවෙනි නුඹ මේ මද්දහනේ කොහි සිට එවුද?)

එවිට විශාඛාව ස්වාමීනි මාහට පසේනදී කොසොල් රජුගෙන් (රජු ලවා) කරවා ගත යුතු කිසියම් කටයුත්තක් ඇත. එය පසේනදී කොසොල් රජතුමා මගේ අදහස පරිදි තීරණය නොකරයි. යැයි පැවසුවාය

(ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි තථාගතයන් වහන්සේ විශාඛාවගේ ගැටලුව නිසා දේශනා කර වදාළේ

අනුන් අයත් සියල්ල දුක්ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුවය. (සැපය පිණිස පවතියි) සාධාරණය ඉටුකරගනීමෙහි දී සියල්ලෝ ම දුකට පැමිණෙති. කාමාධී යෝගයෝ ඉක්මවීමෙහි දුෂ්කර වෙති යන්නයි.

අනුන් ලවා කරගත යුතු සෑම කටයුත්තක දී ම දුක අපහසුවට පත්වීම වේදනාව තම සිතැගි සිතූපරිදි ඉටු නොවීම යනාදි අප්‍රසන්න මනෝභාවයන් අපට ඇතිවේ. (සබ්බං පරවසං දුක්ඛං) තමාගේ කටයුත්තක් අනුන් අයත්වේද තමා කැමති ලෙස එය සිදුකරගත නොහැක. එය තමාට දුකකි. විශාඛාවගේ ත්‍යාගයෙහි අයබද්ද තීරණය කිරීමේ ප්‍රධානත්වය රජතුමාට අයිති දෙයකි. ඔහුගෙන් ම එය කරගත යුතුය. විශාඛාව දින ගණනාවක් රස්තියාදු වූයේ එය අනුන් (රජු) ලවා කරගත යුතු බැවිනි. අපි ද අනුන්ගෙන් කරගැනීමට යන කාර්යයන්හි දී අපමණ වෙහෙසට දුකට වේදනාවට පත්වෙමු. මෙකරුණ සදාතනික වූවක් බව බුදුපියාණෝ දේශනා කරති.

නමුත් සියලු ආකාරයෙන් ඉසුරුමත් බව සැපයකි. ඉසුරුමත් බව හෙවත් ප්‍රධානත්වය ලැබීමේ අංශ දෙකකි.

1.ලොවී ඉසුරු බව – රජ මැති ප්‍රධානි තනතුරු හිමිවීම/ පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගැනීම

2.ලොවුතුරා ඉසුරු බව – සෝවාන් ආදි මගඵල ලබා දුක් ක්‍ෂය කර ලබන (දුක්ඛ නිරෝධ) නම් වූ උතුම් නිවන් සුවය

ලොවි හෙවත් ලෞකික ඉසුරුමත් බවෙහි අංශ දෙකකි. භෞතිකව ධනය, බලය, පිරිස වැඩිකරගැනීමෙන් ලබන තම නිවසේ හෝ ආයතනයේ හෝ රටේ හෝ ප්‍රධානත්වය එකකි. රජවරු ඇමැතිවරු ආයතනාධිපතිවරු ආදි වශයෙන් ලබන එම තනතුරුවලදි තමාගේ බලසීමාවට අදාළ කොටසෙහි තීන්දු තීරණ ගැනීමේදී තම මතයට අනුව කටයුතු කළ හැකිය. වෙහෙසට දුකට වේදනාවට පත්නොවී එමගින් සිය සිතැගි ඉටුකරගත හැකි නිසා එය සැපයකි. මෙය ලෞකික වූ භෞතික අංශයේ දියුණුවෙන් ලැබෙන්නෙකි. අනෙක් අංශය නම් සමථ භාවනාව වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීමයි. පංචාභිඥා උපදවා ගැනීමයි. එය ලෞකික වූ අධ්‍යාත්මික අංශයේ දියුණුවෙන් ලැබෙන්නකි. සැඩොල් කුලයේ උපන් මාතංග තවුස්තුමා පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගෙන සිටුකුමරියක් වූ දිට්ඨමංගලිකාව පාවාගෙන බමුණන්ගෙන් පවා පූජා ලැබූ ආකාරය මාතංග පුවතේ දැක්වේ. එමගින් ද සිය සිතැගි ප්‍රාර්ථනාවන් ආශාවන් හා අපගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත හැකිය. ‘සබ්බ ඉස්සරියං සුඛං’යි (සියලු ලොවී ලොවුතුරා බව සැපයෙකැයි) දැක්වූයේ එම කාරණයයි.

යෝගාහි දුරතික්කමා යනු සිවුමහා යෝගයන් ඉක්මවීම අතිශය අසීරු බවයි. යොග – සංසාරිකව සැරිසරායන සත්වයන් කර්මඵල සමග යොදවන නිසාත් දුක සමග යොදවන නිසාත් යෝග නමින් හඳුන්වන ධර්ම සතරකි.

ඒ සතර නම් කාම යෝග / භවයෝග /දිට්ඨී යෝග /අවිජ්ජා යෝග යෝගයෝ සත්වයන් ලෝකය විෂයෙහි බැඳ තබති.

1. කාමයෝග – කාමවස්තුවෙහි ඇලීමයි. කාම වස්තූන්ගෙන් සතුටුවීමයි. කාම තණ්හා (කාම ලෝකයන්හි ඉපිද පංචකාම සම්පත් විඳීමේ ආශාව පඤ්චකාම ගුණිකො රාගො කාම තණ්හා

2. භවයෝග – රූපාරූප භවයන්හි ඇලීම, භව තණ්හා (සසර දිගින් දිගට පැවතීමේ ආශාව / රූපාරූප භවයන්හි ඉපදීමට ඇති ආශාව)

3. දිට්ඨියෝග – දෙසැට මිසදිටුවෙහි ඇලීම, මිච්ඡා දිට්ඨි, මිසදිටු අදහස් පිළිගැනීමයි. සාවද්‍ය චර්යා සත්වයා ප්‍රපාතයට දුශ්චරිතයට හෙලයි. සක්කාය දිට්ඨි (ස්ථාවර ආත්මයක් ඇත) යනාදි පිළිගැනිම්

4. අවිජ්ජායෝග – චතුරාර්ය සත්‍යාවබෝධය වසාලන මෝහයයි. අවිද්‍යාව

මේ සිවු මහා යෝගයන්ගෙන් මිදුණූ තැන යෝගක්‍ෂේම නම වේ. යෝගක්‍ෂේම යනු නිවනයි. යොගක්ඛෙමං අයෝගක්‍ෂේම යනු සංසාරයයි.

තණ්හා යෝගයෙන් වෙලී ගැලී සංයුක්ත වු /කුදුමහත් භවයන්හි ඇලුණු සිත් ඇත්තා වූ සංසාරගත වූ සත්වයෝ මාරපාශය නම් වු යෝගයෙන් බැඳී සිටිති. ඒ සත්වයෝ නැවත නැවත ඉපදීම් මැරීම් වශයෙන් සසරට ම යොමුවෙති. නැවත ජාති ජරා මරණ දුක්ඛයන්ට පැමිණෙති.

1. අනාතාපි – කෙලෙස් තවන වීර්ය නැතිවීම
2. අනොත්තාපී – පවට බිය නොවන සුලුවීම
3. කුසීතො – කම්මැලිවීම / කුසීත වීම
4. හීනවීරියො – හීන වූ වීර්ය ඇති බව
5. ථීනමිද්ධ බහුලො – බහුලව කය සිත මැලි බැවින් යුක්තවීම
6. අහිරිකො – පවට ලැජ්ජා නැතිවීම
7. අනාදරො – මනා පිළිවෙත්හි ආදරයක් නැතිවීම

මෙම ලක්‍ෂණ වලින් යුතු භික්‍ෂුව උතුම් නිවන ස්පර්ශ කිරීමට අසමර්ථයෙක් වේ.

යෝගක්‍ෂේම නම් වූ නිවනට පත්වීමට දියුණුකරගත යුතු ගුණාංග

මහණෙනි රහත්නොවූ උතුම් නිවන පතමින් වෙසෙන සේක භික්‍ෂුවට සිතේ උපදින අංග අතුරින් උපරිම උපකාරයක් කරනුයේ යෝනිසෝමනසිකාරයයි. යෝනිසෝමනසිකාරය බඳු බොහෝ උපකාර වන අන් එකඳු දහමක් මම නොදකිමි. නුවණින් මෙනෙහි කරන භික්‍ෂුව අකුසල් පහ කරයි. කුසල් වඩයි.

යෝනිසෝමනසිකාරයෙන් යුතු පුද්ගලයා – පඨවි කසිණාදි අරමුණුවල සිත පිහිටුවා ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරයි.

මහණෙනි රහත් නොවූ උතුම් නිවන පතමින් වෙසෙන සේඛ භික්‍ෂුවට සිතේ උපදින අංග අතුරින් උපරිම උපකාරයක් කරනුයේ කලණ මිතුරු ඇසුරුයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බඳු බොහෝ උපකාර වන අන් එකදු දහමක් මම නොදකිමි. කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂුව අකුසල් පහකරයි. කුසල් වඩයි .

ධ්‍යාන වඩන සුළු වූත් නිතරම වීර්ය පවත්වාගන්නා වූත් නිතරම දැඩි පරාක්‍රමයෙන් යුක්තව ක්‍රියාකරන්නා වූ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් භයක් නැත්තා වූ අනුන්තර වූ නිවනට පැමිණ වෙසෙති.

යමෙක් මනුෂ්‍යයන්ට අදාළ ආයුෂ හා පංචකාමසම්පත්තිය ද දිව්‍යමය ආයුෂ හා පංචකාමසම්පත්තිය ද ඉක්මවා යන්නේ ද සියලු යෝගයන්ගෙන් විශේෂයෙන් වෙන් වූ එම පුද්ගලයාට මම බ්‍රාහ්මණයෙකැයි කියමි.

මෙසේ සිවුමහා යෝගයන් ජයගැනීමට කලණ මිතුරු ඇසුරත් යෝනිසෝමනසිකාරයත් (කරුණු කාරණා මැනවින් ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමේ හැකියාව) දියුණු කරගැනීම අවශ්‍ය වේ. ඉන් සම්මා දිට්ඨිය ලැබේ. අරි අඨගි මාර්ගයේ වීර්යවන්තව ගමන් කිරීමෙන් සියලු යෝගයන් පරදා යෝගක්‍ෂ්ම වූ අමා මහ නිවනින් සැනසීමට අප සැමදෙනාට ම පුළුවන්කම ලැබේ. ඒ උතුම් වූ ලෝකෝත්තර ඉසුරුමත්භාවයෙන් සැපවත්වීමට ඔබ සැමදෙනාට ම ශක්තිය ධෛර්ය ලැබේවා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක් බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උප…

පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක්

බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උපන් ජනසන්ථව කුමාරයා, දිසාපාමොක් ආචාරීන් වෙතින් අධ්‍යාපනය ලබා පැමිණ පියරජතුමාගේ ඇවෑමෙන් රජකමට පත්විය. දස රාජ ධර්මයන් නොඉක්මවා රාජ්‍යය විචාළ එතුමා දන්හල් කරවා දුගී – මගී යාචකාදීන්ට දන් දෙන්නට සැලැස්වීය. නිති පන්සිල්ද පොහොය අටසිල්ද සමාදන්ව සිල්වත් බවට පැමිණි හේ, රට වැසියා ද සිල්රකින පිරිසක් බවට පත්කළේය.

පොහෝ දිනවල වැසියා රජමැදුරට කැඳවා ඔවුන්ට ධර්මදේශනා කොට ඔවුන් තුළ ගුණ – නුවණ වර්ධනය කළේය. ඔවුන් සුචරිත ධර්මයට යොමුකළේය. මේ ක්‍රියාමාර්ගය නිසා හිරගෙවල් වැසී ගියේය. දන්ගෙඩිය දිරාපත් විය. එක් පොහෝදිනක රජතුමා පැවැත්වූ ධර්ම දේශනාවෙන් මරණ මොහොතේ මිනිසාට පසුතැවිලි වීමට හේතුවෙන කරුණු දහයක් ගෙනහැර දැක්වීය.

1. යම් කෙනකු තරුණකාලයේ උපයන මිල – මුදල්, ධන – ධාන්‍ය ආදියෙන් කොටසක් ඉතිරි නොකොට එදිනෙදා උපයන සියල්ල එදිනෙදාට වැය කළහොත් වයස නිසා හෝ රෝගාබාධ නිසා හෝ අබලදුබල වී යමක් ඉපයීමට නොහැකි අවස්ථාවට පැමිණිවිට යමක් ඉතිරිකර නොගැනීම ගැන සිතා පසුතැවීමට සිදුවේ. මේ පසුතැවීම වැඩිවන්නේ තරුණ කාලයේ ඉතිරිකරගත් දෙයින් දුබල අවස්ථාවේ අපහසුවක් නැතිව ජීවත්වන අය ගැන අසන – දකින විටය.

2. බාලකාලයේ සැලකිල්ලෙන් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු නොකළ තැනැත්තා සැලකිල්ලෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වී පහසුවෙන් ජීවත්වෙන අය දැකීමෙන් පසුතැවිලි වේ.

3. කේලාම් කියමින් අල්ලස් ගනිමින් ජීවත්වන පුද්ගලයා මහලු වයසට පත්වූ පසු මරණින් මත්තේ තමාට කවර විපාකයක් විඳින්න සිදුවේදැයි ඇතිවෙන බිය නිසා තමන් කළ ඒ වැරදි සිහිපත්ව පසුතැවිල්ලට පත්වේ.

4. සතුන් මැරීම, හොරකම ආදී අකුසල කර්ම කළ පුද්ගලයාද තමා කළ ඒ අකුසල කර්මවලට මරණින් මතු විඳින්නට සිදුවන අකුසල විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වේ.

5. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය යන අකුසල කර්මයේ නිරතවූවෝ තමන්ට මරණින් මතු ලැබෙන දරුණු විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වෙති.

6.සම්පත් තිබියදී දනක් – පිනක් නොකර ජීවත් වූ පුද්ගලයා එසේ හැකියාව තිබියදී පින් නොකිරීම ගැන සිතා මරණාසන්න අවස්ථාවේ පසුතැවිල්ලට පත්වේ.

7. තම මවු – පියන්ට උපස්ථාන නොකළ පුද්ගලයා ඒ යුතුකම තමාගෙන් ඉටු නොවීම ගැන සිතා මහලු වියේදී පසුතැවිලි වේ.

8. කන – බොන විදිය, අඳීන – පළඳින විදිය ආදී ජීවිතයට අවශ්‍ය කරුණු කියාදෙන හෙයින් පූර්වාචාරීන් වශයෙන්ද යහපත – අයහපත පෙන්නා දෙමින් කැමති ආහාරපානාදිය සම්පාදනය කර දෙන හෙයින් ඉටු දෙවියන් වශයෙන්ද හැඳින්වෙන මවුපියන්ට බැණවදින අපහාස (අක්‍රෝෂඣී පරිභව ) කරන පුද්ගලයා තමන් කළ ඒ අකුසල කර්මයත් ඊට ලැබිය හැකි නපුරු විපාකත් සිහිවීමෙන් මහලු වියේදී පසුතැවිලි වේ.

9. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් හැන්දක් නොදී ඒ අයට නින්දා – අපහාස කරන පුද්ගලයාද තමන් නොකළ සත්ක්‍රියාවන් ගැනත් කළ අසත් ක්‍රියාවන් ගැනත් සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවීමට පත් වේ.

10. කලින් කල සිල්වතුන් ගුණවතුන් වෙත ගොස් කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යනාදී කරුණු විමසා අවවාද අනුශාසනා ලබානොගත් පුද්ගලයාද සත් පුරුෂයන් ඇසුරුකිරීමට නොහැකිවීම ගැන මරණාසන්න මොහොතේ පසුතැවිල්ලට පත් වේ.

කැලිගම විජිතනන්ද හිමි
ලේක් හවුස් බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි

පිනට භය නොවන්නැයි වදාළ දෙසුම. ————————————— භාග්‍යවතුන…

පිනට භය නොවන්නැයි වදාළ දෙසුම.
—————————————
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, පින්වලට භය වෙන්න එපා! පින්වත් මහණෙනි, ‘පින’ කියලා කියන්නේ මේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ සැපයටම කියන නමක්. පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කරපු පින් නිසා මේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ ආනිශංස විඳපු බව මා දන්නවා. අවුරුදු හතක් මෛත්‍රී සිත වඩපු නිසා, සංවට්ට කල්ප හතක් මේ ලෝකෙට ආවෙ නෑ.

පින්වත් මහණෙනි, කල්පය විනාශ වෙන කොට ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යනවා. කල්පය ආරම්භ වෙන කොට හිස් බ්‍රහ්ම විමානයක උපදිනවා. පින්වත් මහණෙනි, මම තමයි එහෙ බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාත් මම ම තමයි. මම හැම දෙයම මැඬපැවැත්වූවා. අනභිබවනීය වුනා. සියළු දෙයම තේරෙන කෙනෙක් වුනා. සියළු දෙයම තම වසඟයට පමුණුවා ගත්තා. පින්වත් මහණෙනි, මම තිස් හත් වතාවක්ම දෙවියන්ට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදුනා. නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ, සතර මහා දිවයින් දිනපු, සියළු සතුරන් දිනපු, සෑම ජනපදයකම ස්ථිර රජු වෙච්ච, ආශ්චර්යවත් වස්තු හතක් ලබපු සක්විති රජ බවට පත්වුනා. ඉතින් එහෙම එකේ ප්‍රදේශයකට රජකම් කරපු වාර ගණන ගැන කියන්න තරම්වත් දෙයක් නෑ. පින්වත් මහණෙනි, මට මෙන්න මෙහෙම හිතුනා. ‘මේ මොන විදිහේ පිනක විපාකයක් නිසාද දැන් මට මේ තරම් ඉර්ධිමත් බවකුත්, මහානුභාව සම්පන්න බවකුත් ලැබිලා තියෙන්නේ?’ කියලා.

පින්වත් මහණෙනි, ඊට පස්සේ මට මේ විදිහට අවබෝධ වුනා.
‘මා විසින් කරපු මේ පුණ්‍ය කර්ම තුනක යහපත් ඵල විපාක ලැබුනු නිසා තමයි දැන් මම මේ තරම් මහා ඉර්ධිමත් වෙන්නෙත්, මහා ආනුභාව සම්පන්න වෙන්නෙත්’ කියලා. ඒවා තමයි, දානයත්, ඉන්ද්‍රිය දමනයත්, සිත, කය, වචනය සංවර කරගැනීමත්.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් කෙනෙක් අනාගතයේ සැප සේ වාසය කරන්න කැමැති නම් ඒ කෙනා දානයත්, සමචරියාවත්, මෛත්‍රී සිත වඩීමත් කියන මේ පුණ්‍ය ක්‍රියාවලම හික්මෙන්න ඕන. ඤාණවන්ත කෙනා සැප උපදවා දෙන මේ කාරණා තුන දියුණු කරලා, දුක් නැති, සැප ඇති ලොවක උපදිනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය….

සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන

අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය

ආර්ය භාවයට පුද්ගලයන් පත් කරන සත්‍ය සතර චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. බුදු දහමෙහි එන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර එදා සමාජයෙහි සාධුසම්මතව ද පැවැතුණි. එහෙත් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් භවයෙන් වැසී තිබී බුදුරජාණන් වහන්සේ විසින් ම සොයාගන්නා ලදී. අන්‍ය උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් ම සොයාගන්නා ලද නිසා උන්වහන්සේ සම්මාසම්බුද්ධ නාමයෙන් හඳුන්වති.

සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය.

ආර්ය සත්‍ය සතර නම්:-

දුක්ඛ – දුක
සමුදය – දුක හටගැනීම
නිරෝධ – දුකින් මිදීම
මග්ග – දුකින් මිදීමට යා යුතු මාර්ගය යන්න යි.

මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සසර ගමන නවතා පරම සුඛය නම් වූ නිර්වාණය ලබා ගත හැකිය. සත්‍යාවබෝධය නො වන තාක් සසර දිගින් දිගට ම ගමන් කිරීමට සිදුවෙයි. “ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නො කිරීමේ හේතුවෙන් මටත් ඔබටත් සසර බොහෝ කාලයක් සැරිසරන්නට සිදුවිය.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. සත්‍යයෙහි මූලික ලක්ෂණ තුනක් විද්‍යාමාන වේ.

එනම්, තථ, අවිතථ, අනඤ්ඤ නම්
තථ – ඒකාන්ත සත්‍ය බව,

අවිතථ සැමදා ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍ය බව

අනඤ්ඤතථ, අන් පරිද්දකින් නො වන බව.

බුදු, පසේ බුදු, මහරහතුන් ආර්ය තත්වයට පත් කරන හෙයින් මෙම සත්‍ය සතර ආර්ය සත්‍ය නමින් හැඳීන්වෙයි. මෙම ආර්ය සත්‍ය සතරට තව කිසිවක් එකතු කරන්නට නැත. එසේ ම සත්‍ය සතරක් නොව තුනෙකි. තැනහොත් දෙකෙකි යයි අඩු කිරීමක් ද කළ නොහැකිය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය වැඩිය යුතුය.

● දුක්ඛාර්ය සත්‍යය

සාමාන්‍යයෙන් දුක යැයි හඳුන්වනුයේ කරදරය – විපත – දොම්නස – සෝකය යන අප්‍රසන්න වේදනා අවස්ථාවන් ය. එහෙත් දුක්ඛ සත්‍යයෙන් ඊට වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙයි. එයින් පැහැදිලි කෙරෙන්නේ අපරිපූර්ණත්වය, අනිත්‍යත්වය, හිස් බව, වසඟයෙහි නො පවතින බව යන දාර්ශනික අර්ථයන් ය. සංක්‍ෂෙපයෙන් පංච උපාදානස්ඛන්ධය ම දුක යැයි පෙන්නා දුන් අතර සැපයක් නැතැයි ද දේශනා කොට නැත. ගිහි සුඛය, පබ්බජිත සුඛය, අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ආදී සැප පිළිබඳව ද දේශනාවේ සඳහන් වී ඇත. සත්‍ය ස්වභාවය ඒවා ද අනිත්‍යත්වයට ගොදුරු වන නිසා දුක්ඛ සංඛාවට ම වැටීමයි. ලෞකික ධ්‍යානවලින් ලැබෙන සුඛය ද වෙනස්වන නිසා දුකම බව පෙන්නා දුන්හ. කාම සම්පත් පිළිබඳව අවබෝධ කටයුතු කරුණු තුනක් බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. එනම් අස්සාද – ආස්වාදය හෙවත් රස විඳීම, ආදිනව රසවිඳීමෙන් සිදුවන අයහපත, නිස්සරණ – එයින් අත්මිදීම යන කරුණු තුනය. පියකරු දෙයක් හෝ සත්වයෙක් පුද්ගලයෙක් දුටුවිට ප්‍රිය කරයි. ඇලෙයි. නැවත නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. ප්‍රීතියක් ලබයි. ආස්වාදනය යනු එයයි. ප්‍රිය දේවල් සත්වයන් පුද්ගලයන් වෙනස් වෙයි. අනිත්‍යත්වයට පත්වෙයි. එවිට ආස්වාදයෙන් ඇති වූ ප්‍රීතිය නැති වී දුක දොම්නස ඇතිවෙයි. එය ආස්වාදයෙන් ඇතිවන ආදීනවය යි. යම්කිසි දෙයක හෝ සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳව හෝ බැඳීම ආශාව නැතිකර ගැනීම නිස්සරණය වශයෙන් දැක්වෙයි. මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් විට ලෝකෝත්තර සුඛය උදාකරගත හැකිය.

කාමයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය තත් වූ පරිද්දෙන් නො දන්නා තැනැත්තා අනුන් ද, එහි යෙදවීමට අසමත් ය. තත් වූ පරිද්දෙන් දන්නා තැනැත්තා කාමයන්ගෙන් මිදෙන අතර අන්‍යයන් ද කාමයන්ගෙන් මුදා ගැනීමට සමත් වෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය ම දුක් බව බුද්ධ දේශනාවයි. විඥානස්කන්ධයේ අනිත්‍යත්වය ප්‍රකට නො වන නිසා විඥානය නො නැසී පවත්නා බවට බුද්ධ කාලයෙහි ද විශ්වාසයක් පැවැතුණි. සාති භික්ෂුව ද එම මතයේ එල්බ ගත්තෙක් විය.

බුද්ධ දේශනාව අනුව සසර මුළුල්ලේ ම ගමන් කරන්නේ මේ විංඥානය බව උන්වහන්සේගේ අදහස විය. බුදුරජාණන් වහන්සේ විංඥානය යනු කුමක්දැයි සාති භික්‍ෂුවගෙන් ඇසූ විට කථා කරන්නේ, සැප දුක් විඳින්නේ කරන ලද කර්ම විපාක විඳින්නේ විංඥානය බව පිළිතුරු දුන්නේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “ මෝඝ පුරිසය, මා මෙසේ කවුරුන්ට දේශනා කළ බවක් දන්නෙහිද ? විඥානය ද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව මවිසින් නොයෙක් අවස්ථාවල දෙසා ඇතැයි ප්‍රකාශ කළහ.

විඥානය හටගන්නා ප්‍රත්‍යයන් අනුව නම් ලබයි. ඇස ද රූපය ද නිසා ඇතිවන්නේ චක්ඛු විඤ්ඤාණය යි. කන ද ශබ්දය නිසා ඇතිවන්නේ සෝත විඤ්ඤාණය යි. නාසය ද ගන්ධය ද නිසා ඇතිවන්නේ ඝාණ විඤ්ඤාණය යි. කය ද ස්පර්ශය ද නිසා ඇතිවන්නේ කාය විඤ්ඤාණය යි. මනස ද ධර්මය ද නිසා ඇතිවන්නේ මනෝ විඤ්ඤාණය යි.

බුදුරජාණන් වහන්සේ මේ කරුණ තවදුරටත් පැහැදිලි කරමින් “ ගින්න යම් ප්‍රත්‍යයක් නිසා ඇවිලෙන්නේ ද එම ප්‍රත්‍යයේ නාමය ලබයි. දර නිසා ඇවිලෙන ගින්න දර ගින්න වෙයි. ගින්න තණකොළ නිසා ඇවිලේ නම් ඒ ගින්න තණගින්න නමින් හැඳින්වේ.

● සමුදය සත්‍යය

පළමු ආර්ය සත්‍යය දුක බවත් දුක ඇතිවීමට හේතු වන තණ්හාව දෙවන ආර්ය සත්‍යය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. “ මහණෙනි, පුනර්භවය ඇති කරන, නන්දිරාගයෙන් යුක්ත වන ඒ ඒ තන්හි ඇලෙන සුළු, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් පවතින මේ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ථ සත්‍යය” යි යනුවෙනි. පඤ්ච කාමය පිළිබඳව තෘෂ්ණාව කාම තණ්හා වශයෙන් ගැනේ. නැවත නැවත ඉපදීමත් පැවතීමත් පිළිබඳව තෘෂ්ණාව භව තණ්හාවයි. නැවත භවයක නො ඉපදීමත්, නො පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව හෙවත් උච්ඡේද දෘෂ්ටිය විභව තණ්හා නමින් හඳුන්වා දී ඇත. බුදුදහමට අනුව ලොවෙහි ඇති සැම දෙයක්ම පටිච්චසමුප්පන්න ධර්මයෝ ය. දුක් ලැබීමට හේතුවන්නේ තෘෂ්ණාව යි. තෘෂ්ණාවට හේතුව වේදනාව යි.

වේදනාව ස්පර්ශයෙන් ඇතිවේ. මෙසේ චක්‍රාකාරව පවතින හෙයින් ආරම්භයක් කෙළවරක් පටිච්චසමුප්පාද ධර්මයෙහි දක්නට නැත. “අවිජ්ජා පච්චයා තණ්හා” යයි දක්වා ඇත්තේ අවිජ්ජාව ආරම්භය වශයෙන් පවතින නිසා නොව කොතැනකින් හෝ ආරම්භ කළයුතු නිසා ය.

දුක් ඇතිවීමට එක ම හේතුව තණ්හාව ම නොවූවත් දුක් ඇතිවීමට ප්‍රධාන හේතුව තෘෂ්ණාව යි. ආශ්‍රම ධර්ම අතර කාමාශාව නමින් තණ්හාව දක්වා ඇති අතර අවිජ්ජා දිට්ඨි ආශ්‍රමයන් ද තෘෂ්ණාවට උපස්ථම්භක වේ. හේතු වේ. එයින් පැහැදිලි වන්නේ ද තෘෂ්ණාව ප්‍රමුඛස්ථානයට පත්වන බවයි. තෘෂ්ණාව වශයෙන් පංච කාමය පමණක් නොව දෘෂ්ටි, ආකල්ප විශ්වාස යන මේවා ද ගැනේ. නො දැනීම නිසා මම ය මාගේ ය යයි අල්ලා ගැනීම තණ්හාව ඇතිවීමට මූලික හේතුව යි. මේ නිසා පෞද්ගලික කල කෝලාහල පමණක් නොව රට රටවල් අතර යුද කෝලාහල ද ඇතිවේ. මේ ප්‍රශ්න විසඳීමට නම් ඒවා ඇතිවීමට හේතු වන මූල නිධානය සොයා බලා ඊට පිළියම් යෙදිය යුතුය. එහෙත් “තණ්හා පච්චයා භවෝ” පටිච්චසමුප්පාදයෙහි ඉගැන්වෙන පුනර්භවයට තෘෂ්ණාව හේතුවන ආකාරය ඊට වඩා ගැඹුරින් විග්‍රහ කර බැලිය යුතුය. මෙහිලා කර්මය පිළිබඳ දැනීම ද අවශ්‍ය වන්නේ ය.

බුදු දහම ආහාර සතරක් පිළිබඳව විග්‍රහයක් කරයි.

1. සත්වයන් ජීවත්වීමට සඳහා කබලිංකාරාහාරය,
2. පංචේන්ද්‍රියයන් බාහිර ලෝකය සමඟ ස්පර්ශයෙන් ඇතිවන ඵස්සාහාරය,
3. ඵස්සාහාර හේතුවෙන් ඇතිවන විඥානාහාරය,
4. ඒ ඒ ගැටීම් නිසා ඇතිවන මනෝ සංචේතනාහාරය

යනු ඒ සතරයි. මේ ආහාර සතර සත්වයාගේ පැවැත්මට හේතු වෙයි. සත්වයාගේ පුනර්භවයට හේතු වන්නේ මනෝ සංචේතනාහාරයයි. මනෝ සංවේතනාහාරය යනු චේතනාවට ම භාවිත වන පර්යාය නාමයකි. චේතනාව ම කර්මය වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

මනෝ සංචේතනාහාරය අවබෝධ කරගත් විට තෙවදෑරුම් තෘෂ්ණාව ගැන දැනීම ඇතිවෙයි. මෙයින් සත්වයාගේ සාංසාරික ගමන දිගින් දිගටම සිදුවේ. දුකේ හේතුව ද දුක තුළ ම පවතී. දුක්ඛ නිරෝධයේ හේතුව පවතිනුයේ දුකින් බැහැර නො වේ. යම්කිසිවක් හටගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුළුය. මෙයින් පැහැදිලි වන්නේ දුක හටගැනීම හා එහි නිරෝධ ය ඒ තුළ ම පවත්නා බව යි.

බුද්ධ දේශනාව අනුව පුද්ගල දුක හා සමාජ දුක තණ්හාව නිසා මම ය, මාගේ යයි අල්ලා ගැනීමෙන් ඇතිවෙයි. ගසක මුල නිරුපද්‍රිතව දැඩිව පවත්නා කල්හි ගස කපා දැමුවත් නැවත නැවත වැඩෙයි. එසේම තණ්හාවත් ඒහා බැඳුණු සියලු කෙලෙස් උදුරා දමන තුරු දුක නැවත නැවත උපදී. මෙයින් පැහැදිලි වන්නේ සත්වයන්ගේ අනුසය වශයෙන් පවත්නා තණ්හාවත් එනම් සිත තුළ නිදා සිටින තණ්හාවත් මුලිනුපුටා දමන තුරු දුක නැවත නැවත උපදින බව යි.

● දුක්ඛ නිරෝධාර්ය සත්‍යය

දුක්ඛ නිරෝධාර්ය සත්‍යය විස්තර කරන බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැතුම් සූත්‍රයේ දී වදාළ සේක්, “මහණෙනි, දුක්ඛනිරෝධාර්ය සත්‍යය නම් තෘෂ්ණාව සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම, නැති කිරීම, සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම, එයින් මිදීම හා එහි නො ඇලීමයි. යනුවෙනි. නිරෝධය හෙවත් දුකින් මිදීම නිවන යි. නි යනු නැත යන අදහස ගෙන දෙන උපසර්ගයෙකි. වාණ නම් තෘෂ්ණාව යි. නි වාණ – නිබ්බාන විය. එහි අදහස තෘෂ්ණාව නැති යනුයි.

නිවන ලෝකෝත්තර තත්ත්වයෙකි. එය අවබෝධයෙන් ම වටහා ගතයුතු ය. භාෂාවන්ගේ වචන සෑදී ඇත්තේ ලෝකයේ පවත්නා දේ හඳුන්වා දිමටය. එහෙයින් භාෂාවන්ගේ වචනවලින් ලෝකයෙන් එහා පවතින දෙයක් විස්තර කිරීම අසීරුය.

නිර්වාණය හැඳින්වීම සඳහා වදන තිස් දෙකක් සංයුක්ත නිකායේ දක්වා ඇත. එයින් පැහැදිලි වන්නේ නිර්වාණය හඳුන්වා දීමට ලෞකික භාෂාමය වචනවලින් නො හැකි බව ය. ඇතැම් විට උපමා රූපක මගින් ද නිවන හඳුන්වා දීමට යත්න දරා ඇත. රහතන් වහන්සේ පහන නිව්නාක් මෙන් පිරිනිවන් පාන බව රතන සූත්‍රයෙහි සඳහන් වේ.

නැවත සංස්කාරයන්ගෙන් සෑදුන දෙයක් නො වේ. එහි ඇත්තේ අවේදයිත සැපයෙකි. උණ රෝගයෙන් පෙළී සිටියකු එම රෝගය සුව වූ විට දැන් සනීපයි කියයි. එහෙත් ඔහුට ඇත්තේ උණෙන් නිදහස් වීම මිස අමුතු සනීපයක් නොවේ. නිවන ද එබඳු ය. සංස්කාරයන්ගෙන් සෑදුණ උපාධානස්කන්ධයන්ගෙන් මිදීම පරම සැපත ලෙස හඳුන්වනු ලැබේ.

ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ධර්මදේශනා කරන විට “ ඇවැත්නි, නිර්වාණය සැපයකි” යැයි පැවසූහ. එවිට ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නිර්වාණයෙහි විඳීමක් නැත්නම් ඇති සුවය කුමක්දැයි විමසීය. එයට සැරියුත් හිමි පිළිතුරු දෙන්නේ ආයුෂ්මත් උදායි, විඳවීමක් නැතිවීම ම එහි සැපය යි ප්‍රකාශ කළේය. තවදුරටත් එම කරුණ පැහැදිලි කරන සැරියුත් තෙරණුවෝ ධ්‍යාන සුවයෙන් ගතකරන්නකුට කාම සංඥාවෝ ආබාධයන් වෙති. ආබාධයක් වේ නම් එය දුකක් බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත. එසේ ආබාධ නැතිවීම සැපයකැයි සැරියුත් තෙරණුවෝ පැහැදිලි කළහ.

නිර්වාණය තර්කයට ගෝචර නො වන හෙයින් අතක්කාවචර වෙයි. එය ප්‍රඥාවන්තයන් විසින් තම තමන් ම දත යුතු ය. “ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යනුවෙන් දහම් ගුණ පාඨයෙහි සඳහන් වන්නේ එයයි.

● දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය

දුක්ඛ නිරෝධගාමිණී පටිපාදාර්ය සත්‍යය දම්සක් පැවතුම් සූත්‍රයෙහි දක්වා ඇත්තේ “ ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිණි පටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨඞ්ගිකෝ මග්ගෝ සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්භාසඞ්කප්පෝ, සම්මා වචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි” යනුවෙනි. නිවන අවබෝධ කිරීමටත් එමඟින් දුකින් නිදහස් වීමටත් ඇති එකම පිළිවෙත ආර්යාෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් හඳුන්වනු ලැබේ.

හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයත්, අනාර්ය, අනර්ථකර කාමසුඛල්ලිකානු යෝගයත්, දුක් සහිත, අනාර්ය, අනර්ථකර අත්තකිලමතානු යෝගයත් යන අන්ත දෙකට නොවැටෙන හෙයින් මධ්‍යම ප්‍රතිපදාව නම් වේ. සිද්ධාර්ථ ගෞතම බෝසතාණෝ පළමුව කාමසුඛල්ලිකානුයෝගයෙහි ද පසුව අත්තකිලමථානුයෝගයෙහි ද යෙදී ඒවා හිස් බව වටහාගෙන ඇස් ලබාදෙන, නුවණ ඇතිකරන උපසමයටත් අභිඥාවටත් සම්බෝධියටත් නිර්වාණයටත් හේතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව සොයාගත්හ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ලබා නිවන් ක්ෂාත් ක්ෂාත් කරගැනීම එහි පරමාර්ථය යි.

මෛත්‍රියත් කරුණාවත් පාදක කොට ඇති සීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුනට ඇතුළත් වේ. සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි යන තුන සමාධියට අයත් වන අතර සම්මා සංකප්ප, සම්මා දිට්ඨි අංග දෙක ප්‍රඥාවට අයත් ය. සච්ච විභංග සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය නම් දුක පිළිබඳ දැනීම, දුක හටගැනීම පිළිබඳ දැනීම, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මග පිළිබඳ දැනීමයි. සම්මා සංකප්පය නම් නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය හා අවිහිංසා සංකප්පය යි. සම්මා වාචා නම් බොරු කිම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන මේවායින් වැළකීමයි. සම්මා කම්මන්ත නම් ප්‍රාණ ඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර යන වැරදි නො කිරීමයි. සම්මා ආජීව නම් මිථ්‍යා ආජීවය හැර යහපත් ලෙස දිවි පැවැත්වීම යි. සම්මා වායාම නම් නූපන් පාපී අකුසල ධර්ම නො ඉපදීම සඳහා වෙර වැඩීම උපන් පාපී අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෙර වැඩීම උපන් පාපී අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෙර වැඩීම, නූපන් කුසල් දහම් ඉපදවීමට වෙර වැඩීම, උපන් කුසල් දහම් ස්ථිර කර ගැනීමට වෙර වැඩීම යි. සම්මා සතිය නම් කාය, වේදනා චිත්ත ධම්ම යන සතර සතිපට්ඨානයෙහි සිත පිහිටුවා ගැනීමයි. සම්මා සමාධි නම් ප්‍රථම මධ්‍යානය ද්විතීය ධ්‍යාන, තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන උපදවා එකඟ වූ සිතින් යුතුව විදසුන් වඩා රහත් බව ලබාගැනීම යි.

මෙම සත්‍ය සතර එකින් එක සම්බන්ධ නිසා එක ධර්මයක් අවබෝධ කර ගැනීමෙන් ම නිර්වාණාවබෝධය ලබාගත හැකි ය. මෙම සත්‍යාවබෝධය ලබාගන්නා තුරු සෑම සත්වයන්ට ම සංසාර දුකින් නිදහස් විය නො හැකිය. සසර දුකක් බව දේශනා කොට ඇත්තේ ලෝකයෙහි අනිත්‍යත්වයට ගොදුරු නො වන සචේතනික අචේතනික කිසිවක් නො මැති නිසා ය.

තෙරුවන් සරණයි!

සූරියගොඩ සිරිධම්ම නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

සප්ප සූත‍්‍රය (සර්පයා ගැන වදාළ දෙසුම) මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල…

සප්ප සූත‍්‍රය (සර්පයා ගැන වදාළ දෙසුම)

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ රජගහ නුවර “කලන්දක නිවාප” නම් වූ වේළුවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරේ එළිමහනේ වැඩසිටියා. වැහි පොදත් එක දෙක වැටෙනවා.

එතකොට පවිටු මාරයාට මේ වගේ කැමැත්තක් ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙළින් කරවන්න ඕන’ කියල. ඉතින් ඔහු විශාල නාග රාජයෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේ
ළඟට ගියා. උගේ ඇඟ තනි ගස් කඳකින් හදාපු ඔරුවක් වගේ. උගේ පෙණය රා පෙරන විශාල පෙරහන්කඩයක් වගේ. උගේ ඇස් කොසොල් රටේ තියෙන විශාල පිඟන් වගේ. වැස්ස වහිනකොට විදුලි එළිය නික්මෙනවා. ඌ කටින් දිව එළියට දානකොට අන්න ඒ වගෙයි. කම්මලේ මයිනහම පිඹිනකොට මහා සද්දයක් එනවා. ඌ ආශ්වාස ප‍්‍රශ්වාස කරන කොට එන්නෙත් ඒ විදිහේ සද්දයක් තමයි.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්නේ ‘පාපී මාරයා’ කියල හඳුනගත්තා. පාපී මාරයාට ගාථාවලින් මෙහෙම වදාළා.

”සමහර උදවිය පාළු කුටිවල ඉන්නවා. පාළු කුටිවල සැතපෙනවා. අන්න ඔහු මුනිවරයෙක්. තමාව සංවර කරගෙනයි ඉන්නෙ. ඔහු හැමදේකම ආශාව දුරුකරලයි ඉන්නෙ. එබඳු අයට පාළු තැන් කදිමයි.

භයානක වන සතුන් හරියට ඉන්නවා. බිහිසුණු අරමුණු ඕනතරම් තියෙනවා. ලේ බොන මැසිමදුරුවොත්, සර්පයොත් ඕනතරම් ඉන්නවා. නමුත් ඒ පාළු කුටියට වඩින මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ එක අරමුණකට වත් බෑ.

ආකාසය පුපුරල ගියත්, පොළොව පුපුරා ගියත්, සකළ සත්ව ප‍්‍රජාවම භීතියෙන් වෙලී ගියත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරයන් වහන්සේලා කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නෙ නෑ.”

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!

සූත්‍ර පිටකය/ සංයුත්ත නිකාය01/ මාර සංයුත්තය/ ආයු වග්ගය/ සප්ප සූත්‍රය