Monthly Archives: April 2015

මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. අපිත් රූකඩයක් නටවමින් අනෙක් අය පවත්වන රූකඩ සංදර්ශනය…

මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි.
අපිත් රූකඩයක් නටවමින් අනෙක් අය පවත්වන රූකඩ සංදර්ශනයක් නරඹනවා. මේ ඇත්ත දකින්නට නොපමාව කායානුපස්සනාව වඩමු.

උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතු…

උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු අද පවා ජනපි‍්‍රය ව්‍යවහාරයේ පවතී. කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය.

ඒ බව ආරංචි වූ උත්තිය කුමාරයා රසහිගතව මාලිගාවෙන් පැනගොස් දුර බැහැර ප්‍රදේශයක සැඟවිණ. උත්තිය කුමරු තම ආදරවන්තිය නොදැකීමෙන් බලවත් ශෝකයට පත්වී අවසානයේදී තමාගේ දුක දන්වමින් තල් පතක් ලියා, මහණ වෙස් ගැන්වූ තරුණයකු අත කුමරිය වෙතට ලැබීම සඳහා රජමැදුර වෙත යැවීය.

එදින රජ මැදුරේ දානයකි. භික්ෂුන් වහන්සේලා දනට වඩින අවස්ථාවෙහි පසුපසින් ගොස් මේ චීවරධාරියා ද දන් වළදා සෙත් පතා පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ආපසු එන ගමනේ දී දනට වැඩි රහතන් වහන්සේ නමක් පසුපසින් පැමිණ දේවියට පෙනෙන්නට තල්පත බිම හෙළුවේය.

දේවිය තල්පත අහුලා ගත්තාය. ඒ බව දුටු රජතුමා සැක සිතී එය පරීක්ෂා කරන විට රහතන් වහන්සේගේ අත් අකුරු තම සොහොයුරාගේ අත් අකුරු හා සමාන වූ බැවින් රහතන් වහන්සේ සැක කළේය. මේ රහතන් වහන්සේ තම දේවිය සමඟ ආදර සම්බන්ධයක් පවත්වතියි සැක උපදවා උණු තෙල් කටාරමක බහා මරණයට පත් කිරීමට නියම කළේය.

මහාවංශය, රාජාවලිය, රසවාහිනිය යන ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රවල මෙම පුවත සවිස්තරව ඇතුළත් වේ. මේ රහතන් වහන්සේ මෙබඳු අවාසනාවන්ත හා භීෂණාත්මක ඉරණමකට ගොදුරු වීමෙන් පරිනිර්වාණයට භාජනය වූයේ පෙර භවයක දී ගොපල්ලකුව ඉපිද සිටි අවස්ථාවක මැස්සකු සමඟ කිරි මුට්ටියක් උණු කිරීමේ ප්‍රති විපාකයෙන් බව සඳහන් වේ.

සිව් පිළිසිඹියා පත් රහත්භාවය නිසා පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් මේ කාරණය දැන ගත් සේක. තෙල් කටාරමේ පැසෙමින් ගත කළ කාලය තුළ මේ රහතන් වහන්සේ ගාථා සියයක් දේශනා කරමින් පසුකාලීන ජනතාවට අවවාද අනුශාසනා කළ සේක. මෙම ගාථා ථේර කටාහ ගාථා යන නාමයෙන් පොළොන්නරු යුගයේ ජනපි‍්‍රය වී තිබිණි. එම ගාථා ධර්මවලින් කිහිපයක් මගින් දුන් ධර්මාවවාද මෙම ලිපියෙන් අනාවරණය වේ.

සත්වයාගේ මරණය පිළිබඳව දේශනා කරන ලද අමුතුම ආකාරයේ ධර්ම පාඨයක් මෙසේය. මහා සාගරයේ පැය විසි හතර තුළදීම මහා බියගෙන දෙන දළ රළ පංති නැගෙමින් වෙරළාසන්නය දක්වා පැමිණ වෙරළේ හැපී බිඳී යයි. එපරිද්දෙන්ම දෙව්, මිනිස්, සත්ව ජීවිත මරණය නම් ඉතා දරුණු වෙරළේ හැපී බිඳී යයි. ලෙඩට, දුකට, පීඩාවට පත්ව සිටින තැනැත්තෙක් දුටු විට අප තුළ අනුකම්පාවක් ඇතිවේ. එපමණක් නොව එසේ දුකට පත්වූ තැනැත්තාට යම් උපකාරයක්, පිහිටක් විය හැකි අවස්්ථාවක අප සිටී නම් ඔහුට උදව් කිරීමට අපි ඉදිරිපත් වෙමු. එහෙත් මරණය නම් වූ මාරයා තුළ කිසි විටෙකත් අනුකම්පාවකින් තොරව මරුවා සමඟම සටනට වැදුණු පුද්ගලයා මරණය නම් වූ තමා වසඟයට ගනී.

කෙළි දෙලෙන් පසුවෙමින් වැඩිහිටි සියල්ලන්ගේ නොමඳ ආදරය දිනාගත් සියුමැලි දරුවා වෙත පවා අනුකම්පා විරහිතව කිසියම් ප්‍රමාද දෝෂයක් බලාගෙන සිටින මරුවා දරුවාගේ ජීවිතය ඩැහැ ගන්නේ මව්පිය, වැඩිහිටි ඥාතීන් හඬවමිනි. මහා කැලෑවක් ලැව් ගින්නෙන් වැනසෙන්නා සේ ලෝක සත්වයා මරණය නම් වූ ගජේන්ද්‍රයා විසින් සිය වසඟයට ගෙන වනසා දමයි.

එම රහතන් වහන්සේ අපට දෙන අවවාදය නම් ජීවිතය මෙන් ධනයද මෙපරිද්දෙන්ම විනාශ මුඛයට යන බවයි. ඒ සියල්ල ක්ෂණිකය. මේවායේ සැබෑ තතු කෙසේ වේද යත් ඔන්චිල්ලාවක් මෙනි. වරෙක ඉහළ යයි. අනතුරුව පහළට එයි. භව භෝග සම්පත් ළඟා වේ. යළි ඒවා විනාශයට පත්වී දිළිඳු වේ. ප්‍රාර්ථනා කරන කිසිම සම්පතකට හිමිකමක් මට නැත. ඒවා අයිතිවන්නේ සොබාදහමටය.

භව භෝග සම්පත් ගිනි දැල්ලක් පරිද්දෙනි. යටින් පටන්ගෙන ඉහළින් අවසන් වේ. සුළං රැල්ලක් මෙන් හමාගෙන යයි. එක් අවස්්ථාවකදී අපට හිමිවී යළි අප හැර දමා යයි. ජීවිතය විදුලි එළියක් සේ වහා වෙනස් වේ. චපලය. ඇස්බැන්දුමක් මෙනි. සත්වයා මිරිඟුව පසුපස දුවන මුවන් සේ සැප සම්පත් ඇතුළු බොහෝ දේ සොයමින් දිවයයි. මේ දිවීමෙහි නිමාවක් නොපෙනේ. ලද දෙයක් ද නැත. එහෙත් දිව යන ගමන කෙදිනකවත් නවතින්නේද නැත. තණ්හාවෙන්, ආශාවෙන් අල්වාගන්නා මෙලොව තිබෙන කිසිවක් එක් අතකට ස්ථිරව පවතින්නේ නැත. අනෙක් අතට ඒ කිසිම දෙයක් සසර සැරිසරමින් යන ගමනේදී ගෙන යා නොහැකිය. එසේවූ තාවකාලික සතුටක්, සැපයක් සලසන දේවල් පසුපස හඹා යෑම මුළාවකි, මායාවකි.

ශරීරය මායාවකි. ඇස් බැන්දුමක් මෙනි. ඇත්තක් නොවේ. දිය දහරකට හඳක් පායා ඇති විටෙක එම දියකඩ තුළ පෙනෙන සඳේ ඡායාව වැන්න. කැඩපත ඉදිරිපිට ජීවමානව සිටගෙන සිටින මගේ අජීව, පුද්ගල නොවන ඡායාවන් ‘මම’ ම යැයි කිසිම තර්කයකින් තොරව පිළිගනී. කැඩපතේ ඡායාව පමණක් නොව මගේ ශරීරයත් මම හෝ මගේ ආත්මය නොවන බව තේරුම්ගත යුතුය. සත්වයාගේ මැවුම්කරු කවුද? යනුවෙන් මාරයා ඇසූ පැනයට වජිරා භික්ෂුණින් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙසේය.

‘මරු ඇයි ඔබ සත්ත්වයකු දකින්නේ? ඔබ (වැරැදි) දෘෂ්ටියකට හසුවෙලාද? මෙය තනිකර සංස්කාර මිටියක්. මෙතැන සත්වයෙක් ඇත්තේ නැත. රූප, වේදනා, සඤ්ඤා, සංකාර විඤ්ඤාණය යන ස්කන්ධ පහේ එකතුවක් පමණි. මෙසේ තමා පිළිබඳ වැරැදි දැක්ම සක්කාය දිට්ඨියයි. මා සතු කෙළෙස් ධර්ම සියල්ලම දැවටී තිබෙන්නේ මෙම ආත්ම දෘෂ්ටිය සමඟය.

සත්ත්වයාගේ ජීවිතය තුළ අනන්ත වූ රැවටීම් කන්දරාවක් තිබේ. මායා බන්ධන රැසකට හසුවී රැවටී අපි ජීවත් වෙමු. මේ මායා බන්ධනයෙන් ගැලවීමට අප වැටී සිටින මුළාවෙන් මිදීමට අපට ඇති එකම පිහිට තථාගත ධර්මය පමණි. තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය (සන්ධිට්ඨිකෝ) – ඇස් ඉදිරිපිට දැකගත හැක්කේය. (අකාලිකෝ) – කාලයකට සීමා නොවේ, (ඒහිපස්සිකෝ) – සමීපයට පැමිණ පිරික්සා බැලිය හැක, (ඕපනයිකෝ) – ඉදිරියටම යාමට නායකත්වය දෙයි, (පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි) නුවණැත්තවුන්ට තමන් තුළින් තමන් විසින්ම අත්දැකිය හැකිය.

යමෙක් දිය බුබුළුවලින් භාජනයක් තනා එම බඳුනට මිරිඟු දිය පුරවා පානය කරන්නේ යැයි කියන්නේ නම් එය මවිතයට කරුණක් නොවේ. ඇතැම් විට එය සත්‍යයක් විය හැක. එහෙත් කිසිම හරවත් දෙයක් නැති මේ ජීවිතය ආත්මයකැයි ගනීද එය නම් කිසි විටෙකත් විය නොහැකිමය. මගේ ශරීරය සංඛත ධර්මයකි. ශරීරය සැදී ඇත්තේ සතර මහා ධාතුන්ගෙනි. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් සංඛතයකි. හේතු ඵල දහමින් හටගත් දේවල් සංඛත ලෙස හැඳින්වේ.

අසීමිත සංස්කාර ධර්ම සමූහයක් විසින් ශරීරයේ පැවැත්මට අවශ්‍ය නොයෙකුත් දේවල් සංස්කාර කෙරෙමින්, නිෂ්පාදනය කෙරෙමින්, කය නඩත්තු කරන නිසා හෙවත් කය (සංඛතය) අභිසංස්කරණය කරන නිසා සංස්කාර යැයි කියයි.

හට ගැනීමක් පේනවා, වැනසීමක් පෙනේ, පවතින දේ තුළ වෙනස් වීමක් පෙනේ යන මේ ලක්ෂණ තුන තමයි හේතු ඵල දහමින් හටගත්ත දේ තුළ තිබෙන්නේ. ශරීරය සැදී ඇති රූප, වේදනාදී ස්කන්ධ පහම සංඛතයකි. හේතු ඵල දහමින් හටගත් දෙයකි. සංඛතය අභිසංස්කරණය කරන නිසා සංස්කාර නම් වේ. සංඛතය, අභිසංස්කරණය කිරීමයි කියන්නේ තිබුණු දේ විසින් නැවතත් එබඳු දෙයක්ම සකස් කිරීමයි. පැවැති මිනිස් රූපය වෙනුවට තවත් අලුත් මිනිස් රූපයක්ම සාදා දීමයි.

පැවැති මිනිස් රූපය වෙනුවට තවත් අලුත් මිනිස් රූපයක්ම සාදා දේ යැයි විශ්වාස කළ නොහැක. එසේ අලුතෙන් හැදෙන රූපය සිව්පාවෙක්, කෘමියෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක් වීමට පුළුවන. විඳීම විසින් නැවතත් විඳීමක් සාදා දෙයි. රූපය තවත් රූපයක් වීම යනු එම රූපයේම තවත් ඥාති රූපයක්ම නොවේ.

ස්කන්ධ පහකින් (රූප, වේදනා ආදී) නිමවී ඇති මේ ශරීරය ආත්ම යන ස්ථිර වෙනස් නොවන ධර්මතාවක් නොවේ. ස්ථිරව පැවැතීම කිසිවිටෙක සිදුවන්නේ නැත. මෙසේ තථාගතයන් වහන්සේ විසින් ශරීරය ස්කන්ධ පහකට වෙන් කර පැහැදිලි කර දුන්නේ ශරීරය කිසිම හරයක් නැති හා ස්්ථිරව නොපවතින (අනිත්‍ය) දෙයක් බව පෙන්වාදීමටය. රූපය වෙනස් වන දෙයකැයි පෙනී ගියත් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් මවා ගනු ලැබුවේ ආත්ම යන සංකල්පයයි.

ආත්ම යනු අන් කිසිවකට සම්බන්ධකමක් නැති, තනිවම හටගෙන සිටින වෙනස් නොවන ධර්මතාවයක් යැයි ආත්මවාදීන් පවසා සිටියා. ආත්මය ස්්ථිරය වෙනස් නොවේ යන්න මිනිසා චින්තන ශක්තියෙන් පොහොසත්වීමට පටන්ගත් දා සිට ඇති කරගනු ලැබූ පුද්ගල ඇදහීමකි. සක්කාය දෘෂ්ටියකි. මේ වැරැදි දැක්ම වූ කලී පංචස්කන්ධය තුළට කා වැදී සියල්ල ආවරණය කෙරෙමින් බිහිවූ මිථ්‍යාවකි. මේ ආත්මවාදී වැරැදි දැක්ම උපාදාන වශයෙන් අල්ලා වැලඳ ගැනීමෙන් ජීවත්වීම එකම සැනසීම වේ යැයි ගැනීම අවිද්‍යාවේ අතිප්‍රබල මුළාවකි. මේ මුළාවෙන් සත්වයා මුදාගැනීම තථාගතයන් වහන්සේගේ මූලික අභිප්‍රාය විය.

ආදිකාලීන ආගමික විශ්වාසයන් සියල්ලක්ම ගොඩනැගී තිබෙන්නේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනය. බෞද්ධයෝ බුදුදහමේ පෙන්වාදෙන අනාත්ම දර්ශනය පිළිගැනෙතත් ඒ සමගම එයම අමතක කරමින් ආත්ම දෘෂ්ටිය විසින් මුළාවට පත්ව සිටිති. කැඩපතෙහි දිස්වෙන අජීව පුද්ගල නොවන ඡායාව ‘මම’ යන පුද්ගලභාවයත් ආත්ම දෘෂ්ටියත් යන දෙකම දකින්නේ එකක් හැටියටය. මේ මුළාවෙන් වැරැදිම වැරැදි දැකීමෙන්, මායාවෙන් මිදෙන තුරු නිවැරැදිව තමා දෙසවත් ලෝකය දෙසවත් බැලිමට නුපුළුවන.

කවරවූද අනුවණයෙක් විනා, නැණවතකු නම් වස්තුව හා ජීවිතය පිළිබඳ ඡන්ද රාගයෙන් ඇල්මෙන් පසුවේද? එසේ අලාය කිරීම මුළාවකියි පවසමින් මේ මහරහතන් වහන්සේ පැසවමින් තිබෙන තෙල් කටාරමේ අර්හත් බලයෙන් පිරිනිවීම ප්‍රමාද කරමින් දේශනා කළ ථේර කටාහ ගාථා සියයෙන් තුනක් පමණි මෙසේ සඳහන් කරන්නට යෙදුණේ.

කොට්ටාවේ සුමන හිමි
වෙනිවැල්කොල යෝගාශ්‍රාමාධිපති

බුදුන් උපන් නේපාලයේ සිදුවූ භූ චලනයෙන් පිඩාවට පත් වූ සියලු දෙනාටම වහ වහා සුවපත් ව…

බුදුන් උපන් නේපාලයේ සිදුවූ භූ චලනයෙන් පිඩාවට පත් වූ සියලු දෙනාටම වහ වහා සුවපත් වේවා. ජීවිතය අනියතයි, වහ වහා ධර්මයෙහි හැසිරෙමු.

භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ “අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු…” යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .
භුමිචාල සූත්‍රය ->

'නාථකරණ සූත‍්‍රය – 6 කොටස' ප‍්‍රශ්නය : ආහාරය දුක්ඛ සත්‍යයට අයිති බව ඔබ වහන්සේගේ…

‘නාථකරණ සූත‍්‍රය – 6 කොටස’

ප‍්‍රශ්නය : ආහාරය දුක්ඛ සත්‍යයට අයිති බව ඔබ වහන්සේගේ දේශනාවේදී සඳහන් වුනා. ඒක තව ටිකක් පැහැදිලි කරන්න.

ආහාරය අයිති දුක්ඛ සත්‍යයට. ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටිකත් අයිති දුක්ඛ සත්‍යයට. අභිධර්මයෙ, යමක ප‍්‍රකරණයෙ, සච්ච යමක කියලා කොටසක් තියෙනවා. ඔය සච්ච යමකයේ සත්‍යය කියන එක දෙආකාරයකින්
පෙන්නනවා. යමක කියන්නේ දෙකක් කියන එක. යමක ප‍්‍රාතිහාර්ය කියන්නේ. ප‍්‍රතිහාර්ය දෙකක්. යමක ශාලා කියන්නෙ ශාලා දෙකක්. යමක ප‍්‍රකරණය කියන්නේ ප‍්‍රශ්න දෙක දෙක තියෙන්නෙ. ධම්ම පදයෙ යමක වග්ගය කියලා කියන්නෙ.

යමකප‍්‍රකරණයෙ තථාගතයන් වහන්සේම ප‍්‍රශ්නයක් අහලා තථාගතයන් වහන්සේම විසඳනවා.

සමුදය සමුදය සත්‍යයද?
සමුදය සත්‍යය සමුදය ද?
සමුදය සමුදය වේ. සමුදය සත්‍යය නොවේ.
සමුදය සත්‍යය සමුදය ද වේ. සමුදය සත්‍යය ද වේ.

ඒ කිව්වේ දැන් සමුදය කියලා කිව්වට ඔක්කොම සමුදය සත්‍යයට අයිති නෑ. සමුදය සත්‍යයක් තියෙයි නම් ඒ සමුදය සත්‍යය සමුදයක් ද වෙනවා. සමුදය සත්‍යයක් ද වෙනවා.

හොඳයි දැන් අපි තේරෙන භාෂාවෙන් සමුදය කියන්නෙ මොකක්ද කියලා තෝරා ගනිමුකො.

සමුදය කියන්නෙ ඇතිවීම, හට ගැනීම. යම් ඵලයක් උපදින එකට කියනවා හටගන්නවා කියලා. දැන් ගහක් ගත්තොත් සමුප්පන්න. ඒ ගහ හටගන්න බීජයක් තියෙනවා නම් ඒකට කියනවා සමුදය කියලා. සමුදය නමැති හේතුවෙ ඵලය තමයි ගහ. සමුදය කියන්නේ සමුදය සත්‍යයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකට ම ද කියලයි ප‍්‍රශ්නය අහන්නෙ.

ලෝකෙ සමුදය කියලා යමක් තියෙයි නම් ඒ සමුදය කියන සියල්ල බුදුරජාණන් වහන්සේ පෙන්නපු සමුදය සත්‍යය කියන එකට අයිතිද කියලා ප‍්‍රශ්නයක් අහනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදය කියලා යමක් තියෙනවා නම් ඇතිවීම කියලා යමක් තියෙයි නම් ඒ සියල්ලම සමුදය සත්‍යයයි කියලා පෙන්නපු එකට අයිති නැහැ. හැබැයි සමුදය සත්‍යය කියලා පෙන්නපු එක
සමුදය සත්‍යයටත් අයිතියි ඒක ද සමුදයත් ඇති කරවන ධර්මයක් කියලා පෙන්නුවා.

කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා. ආහාර සමුදයො රූප සමුදයො, කියනකොට එතන ආහාර සමුදයෙන් රුප සමුදය වෙනවා කියන තැන සමුදය සත්‍යය නැහැ. එතන සමුදයක් විතරයි.

ස්පර්ශ සමුදයො වේදනා සංඥා සමුදයො. ස්පර්ශය නිසා වේදනා සංඥා හටගන්නවා කිව්වහම එතන සමුදය සත්‍යය නැහැ, සමුදයක් විතරයි. නාම රූප සමුදයො විඤ්ඤාණ සමුදයො කියනකොට නාම රූපයාගේ ඇතිවීමෙන් විඤ්ඤාණය ඇතිවෙනවා කියන තැන සමුදය සත්‍යය නැහැ, සමුදය විතරයි.

හැම වෙලාවෙම තණ්හාව තමයි සමුදය සත්‍යය වෙන්නෙ. තණ්හාව කියන්නෙ දුක ඇති කරවන හේතුව. දුක ඇතිකරන නිසා තණ්හාව සමුදයක් ද වෙනවා. ඒක තථාගතයන් වහන්සේ වදාළ සමුදය සත්‍යයට ද අයිතියි. සමුදය සත්‍යය කියන තැන හැම වෙලාවෙම කෙලේසයකින් පනවන්නෙ.

ආහාරය කියන තැන කෙලේසයකින් පැනෙව්වොත් රහතන් වහන්සේලාට පවතින්න බෑ. සමුදය කියන එක සමුදය සත්‍යයට අයිති වුනොත් – සමුදය දුරු කිරීමෙන්නෙ නිරෝධය සාක්ෂාත් කරන්න වෙන්නෙ – එහෙනම් රහතන් වහන්සේට නිරෝධය සාක්ෂාත් කරන්න වෙන්නෙ නැහැ.

දුක පිරිසිඳ දකින්න
සමුදය දුරු කරන්න
නිරෝධය සාක්ෂාත් කරන්න

එතකොට නිරෝධය සාක්ෂාත් වෙන්නෙ සමුදය දුරු කිරීමෙන්. සමුදය කියන්නෙ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ‘යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත‍්‍ර තත‍්‍රාභි නන්දනී’ යම් තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය පිණිස පවතින, සතුටින් ඇලෙන, ඒ ඒ තැන සතුටුවෙන, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාවට කිව්වා සමුදය කියලා. මොකද දුක ඇතිකරවන නිසා. එතකොට ඒක සමුදයක් වෙනවා. ඒ වගේම සමුදය සත්‍යයත් වෙනවා.

ඊට පස්සෙ නිරෝධය කියන එක පැනෙව්වෙ මොකකින්ද කියලා බලන්න.

‘යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො’

ඒ තුන් ආකාර තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමෙන්, අත්හැර දැමීමෙන්, ගෙවා දැමීමෙන්, මිදීමෙන් නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්.

එතකොට සමුදය දුරු කිරීමම නිරෝධය සාක්ෂාත් වීම වෙනවා නම් සමුදය තියෙන්න බෑනෙ. ඉතින් සමුදය කියන තැන සමුදය සත්‍යය තිබුනොත් ඒ කියන්නෙ කෙලේසයක් තියෙනවා කියන එක.එහෙම වුනොත් රහත් වෙනවා කියන එකක් වෙන්නෙ නෑ.

ඒ නිසා හැම වෙලාවෙම සමුදය සත්‍යය කියලා පෙන්නනකොට ඒක සමුදයක් වෙනවා, ඒකෙන් යම් ධර්මයක් ඇතිකරනවා. හැබයි සමුදය සත්‍යය තියෙන හැම තැනකම කෙලෙස් කියලා දකින්න. ඊට මෙහා සමුදය කියලා පෙන්නන තැන් තියෙනවා. ඒවා යම් ඵලයක් ඇති කරවනවා තමයි හේතුවක් ඇති කරවනවා තමයි. නමුත් කෙලෙස් නෙවෙයි. දුක් වූ හේතු ටිකකින් දුක් වූ ස්කන්ධයෝ උපද්දනවා. ඒ නිසා ඒ ටික ඔක්කොම අයිති ආහාර ප‍්‍රත්‍යයට. ඒක දුක්ඛ සත්‍යයටයි අයිති.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

ලෝකයේ දුෂ්කරම සටන කරන ඒ මහා මුනිවරුන්ට මාගේ නමස්කාරය වේවා.. ලෝකයේ උතුම්ම ජයග්‍ර…

ලෝකයේ දුෂ්කරම සටන කරන ඒ මහා මුනිවරුන්ට මාගේ නමස්කාරය වේවා..

ලෝකයේ උතුම්ම ජයග්‍රහණය කෙලෙස් සතුරන් නැසීමෙන් ලබන ජයග්‍රහණයයි.

අපි මුළු ජීවිතයේම කලේ සතර මහා ධාතු කොටස් වලට (බෝනික්කා, කාර් එක, දරුවා ආදී) නම්…

අපි මුළු ජීවිතයේම කලේ සතර මහා ධාතු කොටස් වලට (බෝනික්කා, කාර් එක, දරුවා ආදී) නම් දමාගෙන ඒවත් එක්ක සෙල්ලම් කරපු එක තමයි.
ලොකු වෙනකොට අලුත් සෙල්ලම් බඩු ටිකකට මාරු වෙච්ච එක විතරයි.

බලන්න අපි කුඩා කල සිට කොපමණ දේවල් වලට බයද කියලා. දඬුවමට, රැකියාව අහිමි වීමට, ගෙව…

බලන්න අපි කුඩා කල සිට කොපමණ දේවල් වලට බයද කියලා. දඬුවමට, රැකියාව අහිමි වීමට, ගෙවල් දොරවල් ඉඩම් දරුවෝ පෙම්වතියන් අහිමිවීමට, ජීවිතය අහිමි වීමට, නිරෝගිකම අහිමි වීමට, ආදී වශයෙන් බය ඇති වන කාරණා අනන්තයි.
නමුත් කෙලෙස් වලින් අපිරිසිදු වූ අපේ සිත් වලට හිතෙන්නේම මේ කාමයන් සැපක් කියලා. ආදීනවය පේන්නෙම නැහැ.
සිත පිරිසිදු කරගෙන දුකින් මිදෙන්නට ධර්මය අවබෝධ කරන්න.