Monthly Archives: July 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2jF6sjR
සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග

අපි සෑම කෙනෙක් ම අපේ ජීවිත වඩාත් සාර්ථක ව, ප්‍රීතිමත් ව ගත කරන්නට කැමැත්තෙමු. ඒ සඳහා අපි බොහෝ සෙයින් වෙහෙස මහන්සි වන්නෙමු. විටෙක සතුටින් යුතු ව ද විටෙක දුකෙන් යුතු ව ද ජීවිතය පවත්වාගෙන යාමට විවිධ දෑ කරන්නෙමු. ඒ අතරතුර තමන්ගේ සතුට, ආශාව වෙනුවෙන් යහපත් – අයහපත්, කළ යුතු – නොකළ යුතු ආදී වශයෙන් භේදයකින් තොරව ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන අවස්ථාවන් ද නැතුවා නො වේ. තමන් කරන කියනා අයහපත් දෙයින් පසුවට විඳින්නට සිදුවන අයහපත් විපාක පිළිබඳවත්, තමන්ට ලැබී ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ ඇති අස්ථිර භාවය ගැනත්, මරණින් මතු පරලොව ජීවිතය ගැනත් අප දක්වා ඇත්තේ කෙතරම් නම් අවම වූ සැලකිල්ලක් ද?

මෙසේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් නොමැති, ඒ සඳහා වෙහෙසක් මහන්සියක් නොගන්නා අයෙකුගේ ජීවිතය භයානක වූ අඳුරු සෙවණැල්ලකින් වැසී යන්නේ ඔහුටවත් සොයාගත නොහැකි පරිද්දෙනි.

සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන්ගේ ජීවිත පැවැත්මේ යථා ස්වභාවය මැනවින් දන්නා සේක. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව යළි මිනිසුන් අතර උපදිත් නම් ඒ ඉතා ම අල්පයක් බවයි. බොහෝ සත්වයෝ මිනිස් ලොවින් චුතව නිරයෙහිත්, තිරිසන් යෝනියේත්, ප්‍රේත ලෝකයෙහිත් උපදින බවයි. මෙසේ මේ සත්වයාට භයානක වූ සසර ගමනක් පවතින බව මැනවින් වදාළේ ලෝකස්වාමී වූ අපගේ බුදුරජාණන් වහන්සේ ම ය. අතිශය භයානක වූ ඉරණමකට පත් වීමේ අවදානමක් සහිත මනුෂ්‍යයාට එයින් නිදහස් විය හැකි මාර්ගය පෙන්වා වදාළේ ද අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය.

ඒ අසහාය වූ, විස්මිත අවබෝධයෙන් යුක්ත වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ධර්මයෙහි උපකාරයෙන් යමෙකුට සතර අපායෙන් නිදහස් වීමේ අවස්ථාව තම ජීවිතයට උදාකර ගත හැකි වුවහොත් එය කෙතරම් නම් භාග්‍යයක් ද? සැබැවින් ම පුණ්‍යවන්ත වූ සත්පුරුෂයන්ට බුද්ධ ශාසනයක් මුණගැසුණ විට ඒ වාසනාව උදාකරගත හැක්කේ ම ය. මව් කිරිල්ලියගේ උණුසුමින් වැඩෙන්නා වූ බිජුවක් පරිද්දෙන් උතුම් බුදු සසුනේ උණුසුම ලබනා සටකපට මායා නොමැති ශ්‍රාවකයා ගුණදමින් වැඩි වැඩී පරතෙරට ම යන්නේ ය. එබැවින් යමෙකුට බුද්ධ ශාසනයක් මුණගැසීම යනු පුදුමාකාර වූ වාසනාවකි.

සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූ, යළි උපතක් නොමැතිව පිරිනිවනට වඩින රහතන් වහන්සේලා ද යළි කාම ලෝකයට නොපැමිණ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද එහි දී පිරිනිවන් පානා අනාගාමී ශ්‍රාවකයන් ද එක් වරක් පමණක් කාම ලෝකයට පැමිණ නිවන කරා ගමන් කරන සකදාගාමී ශ්‍රාවකයන් ද කොතරම් පමා වුව ද උපරිම වශයෙන් ආත්මභාව 7ක් ඇතුළත නිවන් අවබෝධ කරනා සෝතාපන්න ශ්‍රාවකයන් ද බිහිවන්නේ බුදු සසුනක් තුළ දී ම පමණකි. ආරම්භක කෙළවරක් දැකිය නොහැකි දීර්ඝ සසරක වල්මත් ව ඇවිද එන අපට උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වීම, අනාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම සකදාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම ආදිය තබා බුදු සසුනේ පිහිට පිළිසරණ ලද. සතර අපායෙන් සදහට ම නිදහස් වූ, ආත්මභාව 7ක් ඇතුළත නියත වශයෙන් ම නිවන කරා ගමන් කරන සෝතාපන්න ශ්‍රාවකයෙකු බවට පත් වීම යන්න ද විස්මිත වූත්, අද්භූත වූත් සිදුවීමකි. එවන් අසිරිමත් වාසනාවකට උරුමකම් කියන්නා වූ සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ දහම් වැඩපිළිවෙළ තුළින් ම පමණකි. සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නා වූ වැඩපිළිවෙළ ඉස්මතු කරලමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ම ප්‍රගුණකර ගත් විට සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්ඃ

1. සත්පුරුෂයන් ඇසුරු කිරීම (සප්පුරිසසංසේවෝ).

2. සද්ධර්ම ශ්‍රවණය (සද්ධම්මසවනං).

3. යෝනිසෝ මනසිකාරය (යෝනිසෝ මනසිකාරෝ).

4. ධර්මානුධර්ම ප්‍රතිපදාව (ධම්මානුධම්මපටිපත්ති).”

(ඵල සූත්‍රය – සං. නි. 5)

කෙලෙස් සහිත වූත්, කෙලෙස් දුරුකරන්නට වෙහෙස මහන්සි වන්නාවූත්, සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූත් සෑම පුද්ගලයෙකු පිළිබඳ ව ම පරිපූර්ණ අවබෝධයක් ඇත්තේ භාග්‍යවත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට පමණි. ඉහත දැක්වූ ධර්මයන් බහුලව ම ප්‍රගුණ කිරීමෙන් සෝතාපන්න බවට පත්වූ ආර්ය ශ්‍රාවකයෙකු තුළ දැකගත හැකි ධර්මයන් සතරක් පිළිබඳව ද අපට දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. යම් පිරිසකට අප අනුකම්පා කරන්නේ නම්, යම් කෙනෙක් අපගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නේ නම් ඒ සියල්ලෝ ම සමාදන් කරවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයන් වන සතරක් වූ සෝතාපත්ති අංගයන් ගැන උතුම් බුද්ධ දේශනා ඇසුරින් ම දැන හැඳිනගන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද.

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ උතුම් වූ සංයුත්ත නිකායේ පස්වන කොටසේ මහා වර්ගයෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සඳහන් වන පරම පාරිශුද්ධ බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් මේ ලිපිය සැකසෙන්නේ ඒ සඳහා යම් පෙළඹවීමක්, උනන්දුවක් ඇතිකිරීමේ උතුම් අදහස පෙරදැරිකර ගනිමින් ය.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍ය තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ අප කාගේත් සිත්වල හටගන්නා ආකාරයේ ප්‍රශ්නයකි. එනම්, බුදුරජාණන් වහන්සේවත්, මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාත් ඇසුරු කිරීමෙන් අනතුරුව නගරයට පිවිසෙන තමන්ට නගරයේ පවතින කලබලකාරී පරිසරය තුළ බුදුරජාණන් වහන්සේවත්, ධර්මයත්, ශ්‍රාවක සංඝරත්නයත් සිහිකර ගැනීමට නොහැකි වන බවත්, එවන් අවස්ථාවක මරණයට පත් වුවහොත් තමන්ගේ පරලොව ජීවිතයට එය කුමන අයුරකින් බලපාන්නේදැයි කියාත් ය. එදාටත් වඩා අතිශය සංකීර්ණ කලබලකාරී සමාජ වටපිටාවක් තුළ ජීවත්වන අපට මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර බෙහෙවින් ම ප්‍රයෝජනවත් වන්නේ ය. තමන්ගේ මරණය ගැන බියක්, තැති ගැනීමක් ඇති නොකරගන්නා ලෙසත්, තමන්ට හිමිවන්නේ අළාමක මරණයක් බවත් මහානාම ශාක්‍ය රජතුමාට වදාළ බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා නිවනට නැඹුරු වූ, නිවනට යොමු වූ, නිවනට බර වූ අයෙක් වන බවත්, එම ශ්‍රාවකයා තුළ දැකගත හැකි සතර ධර්මය නම් සෝතාපත්ති අංගයන් සතර බවත් ය. එනම් එම ආර්ය ශ්‍රාවකයා,

1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

2. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

3. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි.(සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

4. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙයි. (අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති)

යම් දිශාවකට නැමී පවතින, යම් දිශාවකට බර වූ රුකක් මුලින් සිඳින විට ඒ රුක බර වී නැමී පවතින දිශාවට වැටෙන්නේ යම් සේ ද මේ ධර්මයන් සතරෙන් සමන්විත වූ ශ්‍රාවකයා ද නිවනට බර ව, නිවනට නැඹුරු ව, නිවනට යොමු ව පවතින නිසාවෙන් නිවන කරා ම යොමුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සියලු දුගති භය ඉක්මවා යාම පිණිස උපකාරී වන්නා වූ ධර්මයන් ලෙසින් ද, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස මෙන් ම නොබබළන සත්වයන් හට බබළනු පිණිස පවතින දෙව් පියවර සතර ලෙසින් ද, නිරයෙහිත්, තිරිසන් ලොවෙහිත්, ප්‍රේත ලොවෙහිත්, අසුර ලොවෙහිත් උපත ක්ෂය කළ, සෝතාපන්න වූ, අපායට නොවැටෙන සුලු වූ, නියතයෙන් ම නිවන පිහිට කොට සිටින්නෙකු ලෙස තමාට ම තමා ගැන කිව හැකි දහම් කැඩපතක් ලෙසින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව නිවැරදි වූ මනා දැනුමක් ලබාගත හැක්කේ බුද්ධ දේශනා ඇසුරින් ම පමණි. එම නිසා ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ඒ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් සුළුවෙන් නමුදු විමසා බැලීම වටින්නේ ය.

උතුම් සම්බුදු සසුනක් තුළ සෝතාපන්න බවට පත් වූ ආර්ය ශ්‍රාවකයා තුළ දැකගත හැකි පළමු සෝතාපත්ති අංගය නම් බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වීම බව දැන් අපි කවුරුත් දනිමු.

එසේ බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇතිකර ගැන්මට නම් ඒ බුදුරජාණන් වහන්සේ ව මනා කොට ගුණ වශයෙන් හඳුනාගත යුතු ම ය. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයකින් තොර ව ම තමන් වහන්සේගේ ස්වකීය ඤාණයෙන් සියල්ල අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසන සේක. දමනයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට දමනය වීමට දහම් දෙසන සේක. සන්සිඳීමට පත් භාග්‍යවතුන් වහන්සේ අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක. සසරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට සසරින් එතෙර වීමට දහම් දෙසන සේක. පිරිනිවනට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට පිරිනිවන් පාන්නට දහම් දෙසන සේක. දැනගත යුතු දේ දන්නා, දැකගත යුතු දේ දක්නා දහම් ඇසින් උපන්, නැණ මඬලින් උපන්, දහම තුළින් උපන්, පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවෙකුත් නැත්තේ ම ය. දහම් අරුත් මතුකර දෙන ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකයට ම අග්‍ර වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ දැකිය හැකි පමණ කළ නොහැකි වූ උතුම් සම්බුදු ගුණ කඳ බුදුරජාණන් වහන්සේ විසින් ම ගුණ නවයකට කැටිකොට අපට දේශනා කොට වදාළ සේක.

එනම් බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළ නික්ලේශී උත්තමයන් වහන්සේනමකි (අරහං). චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඤාණ වශයෙන් ද කෘත්‍ය ඤාණ වශයෙන් ද කෘත ඤාණ වශයෙන් ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ නැති ව ම අවබෝධ කොට වදාළ සේක (සම්මා සම්බුද්ධෝ). බුදුරජාණන් වහන්සේ ඉද්ධිවිධ ඤාණ, දිබ්බසෝත ඤාණ, දිබ්බචක්ඛු ඤාණ, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ආදී නොයෙකුත් ඤාණයන් උපදවා ගත් සේක. ඒ ඤාණයන්ට අනුව ම ජීවිතය ගත කළ සේක (විජ්ජාචරණ සම්පන්නෝ). භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර මධ්‍යම ප්‍රතිපදාව තුළ තම ජීවිතය දියුණු කොට ඒ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ සේක (සුගතෝ). බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක ද සියලු දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක (ලෝකවිදූ). දමනය කිරීමට අසීරු වූ අකීකරු බඹුන්ව ද අකීකරු දෙවියන්ව ද අකීකරු මිනිසුන්ව ද මහා කරුණාවෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී). භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවියන්ගේ ද සියලු මිනිසුන්ගේ ද එක ම ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ලෙස, ඉතා සුන්දර ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ සේක (බුද්ධෝ). සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවේ වෙන කිසිවෙකුට දැරිය නොහැකි වූ මේ සියලු සම්බුදු ගුණයන් දරා වැඩ සිටි සේක (භගවා).

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ව ගුණ වශයෙන් හඳුනාගන්නා අයෙකුට උතුම් බෝසත් දිවිය ගැන ද ජාතක කතා ඇසුරින් දැනගන්නට ලැබෙන්නේ නම් ‘අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය සම්බුද්ධත්වයට පෙර බෝසත් අවධියේ දී ද මෙතරම් අසිරිමත් නම් සම්බුදු දිවිය කෙතරම් අසිරිමත් වන්නේදැ’ යි කියා තව තවත් සිතේ ප්‍රසාදය වැඩි දියුණුකර ගත හැක්කේ ම ය.

මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් දැනගෙන නොසැලෙන චිත්ත ප්‍රසාදයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා මුල මැද අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන් වූ, පාරිශුද්ධ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය (ස්වාක්ඛාතෝ), මේ ජීවිතයේ දී ම තමන් තුළින් මේ ධර්මය දැකගත හැක්කේ ය (සන්දිට්ඨිකෝ), කාලයකට අයත් නැත්තේ ය (අකාලිකෝ), ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය (ඒහිපස්සිකෝ), තමා තුළට පමුණුවා ගත යුත්තේ ය (ඕපනයිකෝ), නැණවතුන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි) යැයි කියා උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ද ගුණ වශයෙන් ම හැඳින සිත පහදවාගෙන සිටී. මෙසේ හෙතෙම දෙවන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.

එසේ ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වීම නම් වූ මී ළඟ සෝතාපත්ති අංගයෙන් සමන්විත ශ්‍රාවකයා ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය තුළ දැකිය හැකි ගුණයන් පිළිබඳ ව ද මනා අවබෝධයකින් යුක්ත වේ. කුදු මහත් භවබෝග සම්පත් අතහැර, කුදු මහත් ඤාති සමූහයා අතහැර, හිසකෙස් බා, කසාවත් පොරවා බුදු සසුනෙහි පැවිදි බිමට පත් වූ, ලද ආහාරයකින් යැපෙන, ලාභ සත්කාරයන්ට ගිජු නොවන, පාපී ආශාවන්ගෙන් නිදහස් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය නිවැරදි ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සුපටිපන්නෝ), ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (උජුපටිපන්නෝ), අවබෝධය ඇතිවෙන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (ඤායපටින්නෝ), යහපත් ධර්මය පවසන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සාමීචිපටිපන්නෝ), පුරුෂ යුගල වශයෙන් සිව්නමක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටනමක් ද වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට දන්පැන් ගෙනවුත් පිදීමට සුදුසු ය (ආහුනෙය්‍යෝ), ආගන්තුක සත්කාරයට සුදුසු ය (පාහුනෙය්‍යෝ), පින් සලකා දෙන දනට සුදුසු ය (දක්ඛිණෙය්‍යෝ), වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ය(අඤ්ජලිකරණීයෝ), ලොවට උතුම් පින්කෙත ය (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස) කියා ලොවෙහි අග්‍රතම පිරිස වන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නා ආර්ය ශ්‍රාවකයා මෙසේ තුන්වන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.

මෙලෙසින් තුනුරුවන කෙරෙහි නොසැලෙන පරිදි මනා කොට සිත පහදවාගෙන සිටින්නා වූ ආර්ය ශ්‍රාවකයා සතරවන සෝතාපත්ති අංගය වන ආර්යකාන්ත සීලයෙන් ද සමන්විත වේ. එනම් නොකැඩුණු සිල් පද ඇති (අඛණ්ඩානි), සිදුරු නොවුණු (අච්ඡිද්දානි), පැල්ලම් නොගැසුණු (අසබලානි), අතරින් පතර නොබිඳුණු (අකම්මාසානි), තෘෂ්ණා දාස භාවයෙන් නිදහස් ව තිබෙන (භුජිස්සානි), නුවණැත්තන් විසින් පසසන ලද්දා වූ (විඤ්ඤුප්පසත්ථානි), දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නො වූ (අපරාමට්ඨානි), සමාධිය පිණිස පවතින (සමාධි සංවත්තනිකානි) උතුම් වූ සීලයෙන් යුක්ත වේ.

මෙසේ ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් සිල්පද මැනවින් සමාදන් ව දිවි දෙවෙනි කොට ඒවා රැකගනිමින් වාසය කරයි. උතුම් බුද්ධ දේශනා කියවා නොමැති දුස්සීල වූ අසත්පුරුෂයෝ නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නොපහන් සිතින් යුතුව සීලයට ගරහති. මාර්ග ඵල ලැබූවන්ට සිල් පද අදාළ නැතැයි පවසති. ඔවුන් මේ සඳහා උපුටා දක්වන්නේ සරකානි සූත්‍රය යි. ඔවුහු ඒ උතුම් බුද්ධ දේශනාව නිවැරදිව කියවා තේරුම් නොගෙන “සරකානි ශාක්‍යයා ද සෝතාපන්න ව සිට මත්පැන් පානය කළා නො වේදැ?” යි කියා මහා මුළාවක පැටලී සිටිති. තමන් මහා ධර්ම ඤාණයකින් යුත් බුද්ධිමතුන් පිරිසක් යැයි පෙන්වන්නට ගිය ද ඔවුහු වනාහි බුද්ධ දේශනා කියවා නොමැති, අඩු තරමේ සරකානි සූත්‍රයවත් කියවා නොමැති, තම දුස්සීලකම් වසාගන්නට අසාර්ථක උත්සාහයක නිරත වන අභාග්‍ය සම්පන්න පිරිසක් වශයෙන් ධර්මය දන්නා වූ නුවණැත්තන් විසින් හඳුනාගැනෙති. මක් නිසා ද යත්, සරකානි සූත්‍රයේ අවසානයේ ඇති ‘සරකානි ශාක්‍ය තෙමේ මරණ කාලයෙහි ශික්ෂාව සමාදන් ව සිටියේ ය’ යන වැකියවත් ඔවුන් කියවා නොමැති බව පෙනෙන්නට තිබෙනා හෙයිනි.

එබැවින් අප සිත පහදවා ගත යුත්තේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත වූ අවබෝධය කෙරෙහි ම ය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක උතුම් සම්මා සම්බෝධියට පත් වී වදාළ සේක් ද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක් ද ඒ අතර කාලය තුළ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය. ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් ඒ උතුම් බුදු වදන කොතරම් සත්‍යයක් ද…

එබැවින් අපට සත්‍ය වටහා ගත හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය තුළින් ම පමණි. ඒ උතුම් නිර්මල බුද්ධ දේශනාවන් ම ගෞරවයෙන් ඉගෙනගත යුතු වන්නේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ වදාළ සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ ඇතිකර ගන්නට වාසනාව ලබන්නේ ද එසේ ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, සීල ගෞරවයෙන් යුක්ත ව ම නිර්මල බුද්ධ දේශනා ඉගෙනගෙන ජීවිතයට පුරුදු පුහුණුකර ගැනීම සඳහා අවංක ව වෙහෙස දරනා සත්පුරුෂයන් ය.

අපගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් අපව නොමඟ නොයැවූ සේක. මුළා නොකළ සේක. සෑම විට ම අපට අනුකම්පා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය යුගයේ සමාජයෙහි පැවති විවිධ වැරදි සහගත දෘෂ්ටීන්ගේ නිස්සාර භාවය ද මැනවින් පෙන්වා දෙමින් ජීවිතයට සැබෑ ම පිහිට පිළිසරණ උදා කරන ලද නිවැරදි වූ මාර්ග ප්‍රතිපදාව ම අප හට පෙන්වා වදාළ සේක. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණවරුන්ගේ නිස්සාර වූ ප්‍රතිපදාවක් ගැන පෙන්වා වදාළේ මෙලෙසිනි.

“මහණෙනි, බ්‍රාහ්මණවරු උදයගාමිනී නමින් ප්‍රතිපදාවක් පනවති. ඔවුහු ශ්‍රාවකයා මෙසේ සමාදන් කරවති. එම්බා පුරුෂය, එව. නුඹ කලින් ම නැගිට නැගෙනහිර දෙසට මුහුණලා යව. ඒ නුඹ ඉදිරියට හමුවන වළ මග හරින්න එපා. ප්‍රපාතය මග හරින්න එපා. කණුව මග හරින්න එපා. කටුබිම මග හරින්න එපා. අසූචි සොරොව්ව මග හරින්න එපා. ගවර වළ මග හරින්න එපා. යම් තැනක නුඹ වැටෙන්නෙහි නම් එතැන දී ම මරණයට පත් වන්නෙහි ය. එම්බා පුරුෂය මෙසේ නුඹ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ ය.”

(බ්‍රාහ්මණ සූත්‍රය – සං. නි. 5)

බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රාහ්මණයන්ගේ මේ ගමන අඥාන වූ, මුළාවට පත් වූ ගමනක් බවයි. නිවන පිණිස නොපවතින බවයි. එසේ වුව ද නිවන පිණිස පවතින්නා වූ උදයගාමිණී ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය විනයෙහිලා පනවා වදාළ සේක. එය නම් සතරක් වූ සෝතාපත්ති අංගයන් තමා තුළ උපදවා ගැනීම යි.

එනිසා සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ උපදවා ගැනීමට අප සැවොම උත්සාහවත් විය යුතු ය. මන්ද එය අපගේ ජීවිතයට මහත් රැකවරණයක් සලසාලන නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ සක්විති රජ කෙනෙක් සතර මහා දිවයින්වලට අධිපති ව සිට මරණින් මතු දෙව්ලොව උපන්නත් හෙතෙම සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත නො වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් නොවන බව යි. එමෙන් ම ආර්ය ශ්‍රාවක තෙමේ පිඬුසිඟා යැපුන ද කඩමාළු රෙදිවලින් මසාගත් දෙයක් පෙරෙව්ව ද සතරක් වූ සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් වන බවයි. එපමණක් ද නොව කඳු මුදුනෙහි මහා වැසි ඇදහැළෙන විට ඒ ජලය පහතට නැමී ඇති බෑවුම් දිගේ එමින් පර්වත කඳුරැළි ඇල දොළ පුරවයි ද කුඩා ගංගා පුරවයි ද, කුඩා ගංගා පුරවා මහා ගංගා පුරවයි ද, මහා ගංගා පුරවා සාගරය පුරවයි ද එලෙසින් ම යමෙක් තුළ මේ සතරක් වූ සෝතාපත්ති අංගයන් පිහිටා තිබෙත් ද, එම ධර්මයෝ ගලන්නාහු පරතෙරට ගොස් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවත්නා බව ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එනිසා, මරණය ඉදිරියේ බියට – තැතිගැනීමට පත් නොවන්නා වූ, මරණින් මතු සතර අපායේ උපතක් කරා නොයන්නා වූ ශ්‍රාවකයෙකු බවට පත් වීම පිණිස හේතු උපකාර වන සතරක් වූ සෝතාපත්ති අංගයන් අපගේ ජීවිතය තුළ ද උපදවා ගැනීමට මේ උතුම් වෙසක් සමයේ අපි සැවොම අදිටන් කර ගනිමු. ඒ සඳහා උතුම් සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් නිරන්තරයෙන් අපට හට හිමි වේවා…!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Lj42Ue
දවසේ පින්බර සිතුවිල්ල…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32nobhf
න තං කම්මං කතං සාධු ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි එක් ගොවියෙක් උදෙසා දේශනාකළහ.

ඒ ගොවියා සැවැත්නුවර සමීපයෙහි එක් කුඹුරක ගොවිතැන් කරයි. සොරු දියකාණුව දිගේම අවුත් නුවරට වැද එක් ධනවත් නිවසකට උමගක් හාරා බොහෝ රන්රුවන් සොරා ගෙන ඒ දිය ඇලින්ම නික්මුණාහුය. එක්සොරෙක් අනිත් සොරුන් රවටා එක් දහසක් බැඳි පියල්ලක් (පොදියක්) කොට ඒ කුඹුරට ගොස් ඔවුන් සමග භාණ්ඩ බෙදාගෙන යන්නේ වළලු ආදි ආභරණ පොදියෙන් ගිලිහී වැටුණු දහසක් බැඳි පියල්ල ගැන නොදත්තාහුය.

එදින බුදුරජාණන්වහන්සේ උදෑසන ලොව බලනසේක් ඒ ගොවියා තමන්ගේ ඥානදැලට පිවිසෙන බව දැක ඔහුට කුමක් සිදුවන්නේදැයි සොයාබලනසේක් මෙසේ දුටුසේක. මේ ගොවියා උදෑසනම සීසෑමට කුඹුරටයයි. භාණ්ඩ අයිතිකරුවෝ සොරුන්ගේ අඩිපාරදිගේ අවුත් දහසක් බැඳි පියල්ල දැක මොහු අල්ලාගන්නාහුය. මා හැර ඔහුට වෙනත් සාක්ෂියක් නැත. සෝවාන් වීමේ හේතු සම්පත්ද මොහුට ඇත. මා එහි යා යුතුයයි සිතූසේක.

ඒ ගොවියාද පාන්දරම සීසෑමට ගියේය. ශාස්තෘන්වහන්සේ ආනන්ද තෙරණුවනුත් සමග එහි වැඩිසේක. ගොවියා බුදුන් දැක ළඟට ගොස් වැඳ නැවත සීසාන්ට පටන් ගත්තේය. ශාස්තෘන්වහන්සේ ඔහු හා කිසිවක් කතානොකොටම දහසක්බැඳි පියල්ල වැටුණුතැනට ගොස් එය බලා, ආනන්ද සර්පයා දුටුවෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය ඒ ඝෝරවිෂ සර්පයා දුටුවෙමියි කීහ. ගොවියා ඒ කථාව අසාගෙන සිට, මම වේලාවේත් අවේලාවේත් මෙහි හැසිරෙන්නෙමි. මෙහි සර්පයෙක් ඇතැයි සිතා, බුදුන් ආපසු වැඩි කල ඌ මරා දමන්නෙමියි කෙවිටත් රැගෙන එහි ගියවිට දහසින් බැඳි පියල්ල දැක, මේ සඳහා බුදුරජාණන්වහන්සේ සර්පයායයි කියන ලදහයි සලකාගෙන එය රැගෙන නැවතී නුවණැති හෙයින් එය එක් පැත්තක තබා පසින් වසා නැවත හාන්ට පටන්ගත්තේය.

මිනිස්සු රාත්‍රිය පහව ගියකල්හි සොරුන් ගෙදර කර තිබූ ක්‍රියාව දැක ඔවුනගේ පියවර සටහන් අනුව කුඹුරට ගොස් එහිදී සොරු භාණ්ඩ බෙදූ තැන දැක ගොවියාගේ පාගැසුනු තැන්ද දුටුවාහුය. ඔවුහු ගොවියාගේ පියවර සටහන් අනුව ගොස් පසුම්බිය තැබූ තැන දැක පස් විසුරුවා හැර පසුම්බිය රැගෙන තෝ ගෙවල් කොල්ල කා කුඹුරෙහි සීසාන්නාක් මෙන් සිටින්නෙහිදැයි තර්ජනය කොට තළාගෙන ගොස් රජුන්ට පෙන්වූහ. රජු ඒ පුවත අසා ඔහුට දඬුවම් නියම කෙළේය. රාජපුරුෂයෝ ඔහුගේ දෙඅත් පිටුපසටකොට බැඳ කසයෙන් තළමින් ඝාතනය කරනතැනට ගෙනගියහ. ගොවියා කසයෙන් තළද්දී වෙන කිසිවක් නොකියා, පස්සානන්ද ආසිවිසොති, පස්සාමි භන්තෙ ඝෝරවිසොති (ආනන්ද සර්පයා දැක්කෙහිද, එසේය ස්වාමීනි, ඝෝරවිෂයා දැක්කෙමි) යන්න පමණක් කියමින් යයි.

ඒ ඇසූ රාජපුරුෂයෝ, තෝ බුදුන්ගේත් අනඳ තෙරුන්ගේත් කථාවක් කියන්නෙහිය. මේ කිමෙක්දැයි විචාරා, රජුන් දකින්ට ලැබුණොත් කියන්නෙමියි කීකල්හි, රජු සමීපයට පමුණුවා රජුට ඒ පුවත කීවාහුය. ඉන්පසු රජු කුමක් නිසා මෙසේ කීවෙහිදැයි විචාළේය. හෙතෙම දේවයන්වහන්ස, මම සොරෙක් නොවෙමියි සීසෑම පිණිස පිටත්වී ආ තැන් පටන් සියලු පුවත් රජුට කීවේය.

රජු ඒ කථාව අසා, පිනැතියෙනි, මොහු ලොව අග්‍ර‍ පුද්ගලවූ ශාස්තෘන්වහන්සේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරයි. මොහුට දෝෂාරෝපණය අයුතුයි. මම මීට කළයුත්ත දනිමියි ඔහුත් රැගෙන සවස් වේලාවෙහි බුදුන් වෙතගොස් ස්වාමීනි, අනඳ තෙරණුවෝත් සමග ඔබවහන්සේ මේ ගොවියා සානා තැනට වැඩියාහුදැයි විචාළේය. එසේය මහරජ, ඔබවහන්සේලා එහිදී කුමක් දුටුවාහුද? දහසක් බැඳි පසුම්බිය දුටුවෙමු. එය දැක කුමක් කීවාහුද? මහරජ මෙසේ කීවෙමු. ස්වාමීනි, යම් හෙයකින් මේ පුරුෂයා ඔබවහන්සේ වැනි කෙනෙක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් නොකෙළේ නම් ඔහුගේ ජීවිතය නොලැබී යන්නේය. ඔබවහන්සේ කළ කථාව කියා ඔහු ජීවිතය ලැබීය. ඒ අසා ශාස්තෘන්වහන්සේ, එසේය මහරජ මමත් එපමණක්ම කියා ගියෙමි. නුවණැත්තා විසින් යම් කර්මයක් කොට පසුතැවීමක් ඇතිවේනම් එබඳු කර්මයක්නොකටයුතු යයි කියා පූර්වාපරසන්ධි ගළපා ධර්ම දේශනා කරමින් මේ ගාථාව වදාළහ.

කඳුළු පිරි දෑසින් හඬහඬා දුක් විඳිමින්

පසුතැවිලි වන වැඩ කිසි විටක නොම කළයුතු

එහි න තං කම්මං යනු නිරයාදියේ උපදවන්නට සමත් දුක් උපදවාගෙන ක්‍රියාකොට පසුව සිහිකරන්නේ, සිහිකරන හැම මොහොතකම ඒ අනුව තැවෙයිද, ශෝක කෙරෙයිද, ඒ කළ ක්‍රියාව නුසුදුසුය. සුන්දර නොවෙයි. යස්ස අස්සු මුඛො යනු යමෙකුගේ ඇස් කඳුළින් තෙමී අඬමින් විපාක විඳියි.

දේශනාවසානයෙහි ගොවි උපාසකතෙම සෝවාන්ඵලයට පැමිණියේය. පැමිණි භික්ෂූහුද සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2G6B8Th
එකම නිල්වන් වදුලු තලාවක්‌ වූ නොයෙක්‌ තුරුයෙන් හා ලතාවන්ගෙන්ද සශ්‍රීකව පැවැතියා වූ ඡේතවනාරාමයෙහි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සේක. එම මනරම් ආරාමයෙහි දහසකටත් අධික වූ බුදු පුතුනුවන් වහන්සේලා වැඩ වාසය කළද පරිසරය බෙහෙවින් ශාන්ත දාන්තව පැවැතියේය.

නෙත් මෙන්ම සිත්ද එක ලෙස පැහැර ගනිමින් ඒ බැලු බැලූවන්ගේ නෙතුත්, සිතු සිතූවන්ගේ සිතුත් මහා පහන් බවකට පත් කළාවූ බුදුපියාණන් වහන්සේ ඒ ව නවිටත් වැඩ සිටියේ දහම් අසුනේය. තමන්ගේ ඇස ගැටුණු රූපත් ගැහැණියක්‌ නිසා බියකරු සංසාර සාගරයේ තවදුරටත් රැඳී බැඳෙන්නට කල්පනා කළ උදාසීන භික්‌ෂුවකට ඒ අමා මෑණිsයන් වහන්සේ දහම් දෙසමින් සිටියහ.

‘අවාසනාවන්ත, භික්‌ෂුව, නුඹ මෙසේ මාර පාසයෙන් බැඳී ගියේ මේ දැන් නොව, පෙරත් එසේම වූයේ යෑයි දක්‌වා වදාළ සර්වඥයන් වහන්සේ ඒ අලස භික්‌ෂුවගේ අතීතයද ගෙන දක්‌වන්නට පටන් ගත්තේය. මහා කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුවය.

එය දුර ඈත අතීතයේ එක්‌තරා කාල වකවානුවක්‌ විය. එකල වූ එම රාජධානියෙහි අග්‍රතම නගරය වූයේ පෝතලී නම් නුවරයි. ‘අස්‌සක’ එහි රාජ්‍යත්වයට පත්ව රාජ්‍ය පාලන කටයුතුවල නිරතව සිටියේය. අස්‌සක රජ රාජ පාලනය රාජ්‍යයේ පමණක්‌ නොව පෝතලී නුවර පුරාවෙහිමත් අහුමුලු නෑර පැතිරී ගියද එහි සියලු ජනතාවෝම ජීවන සහන දායාදය නොලද්දොaය. එනම් රටේ එක්‌ පිරිසක්‌ සියලු සැප සම්පත් අනුභව කරද්දී තවත් ජනකායක්‌ ජීවත්වූයේ දිළිඳුකම නමැති බහ බරින් නොයෙක්‌ දුක්‌ ගැහැට හා වේදනාවන්ද අනුභව කරමින්ය. වරෙක නොනැවතී එක දිගට වැසි වැස්‌සේය. මෙසේ අපමණ කාලයක්‌ තුළ වැසි වැටී අහසේ පැහැය සේදී ගියාක්‌ මෙන්වූ විට ඊළඟට පෑයූ හිරුගේ තද රැසින් මහපොළොවද පුපුරා ගියේය. සොබා දහමේ හිරිහැර හා අරියාදූන්ද සහිත මේ සෑම කාලගුණ විපරීතයකදීම සිදුවූයේ දුප්පතුන්ගේ කුඩා ධ්‍යානාගාර බෙහෙවින් හිස්‌වී යාමය. මේ සෑම විටෙකදීම සෑම මිනිසකුට හා ගැහැණියකටම උරුමවූයේ ඉහටත් උඩින්වූ දුප්පත්කම නමැති සාපයෙහි අඳුරු සලකුණු පමණකි. ඒ හැර අස්‌සක රජතුමා හෝ රජයේ වෙනත් කවරකුදු හෝ ඔවුන්ගේ දුකඳුරු තිමිර ඉරා දමා ඔවුන් නිවා සනහන්නට ආවේ නැත. එවැන්නක්‌ සිදුවීමට නම් ඒ ඇසුරින් රටම හෙල්ලුම්කවන්නා වූ කිසියම් ආනෝදොaලනාත්මක සිද්ධියක්‌ සිදුවිය යුතු විය. එහෙත් එවැන්නක්‌ සිදුවූයේ කලාතුරකිනි. එතෙක්‌ මේ දිළිඳු ජනතාවෝ නැති බැරිකම් නමැති තම තමන්ගේ අඳුරු අහුමුලුවලට තල්ලුවී අසරණකමින් පරිපීඩිතව බලා සිටියේය.

අස්‌සක රජ මැදුරේ කිසිවකුටත් රුදුරු ජීවන ඉරණමෙහි සේයාවකුදු දැනුණේ නැත. ඔවුහු රසවත් අහරින් මෙන්ම පානයෙන්ද සන්තර්පනය වී ඌරන් මෙන් තරව වැඩුණු කය මෙන්ම නිරෝගී බවින්ද යුතු වූවෝය.

මේ අතර ජීවත්වෙමින් සිටි ‘උබ්බරී’ ද රජ පවුලේම එක්‌ කාන්තාවක්‌ වූවාය. පංච කල්‍යානයෙන් යුක්‌ත ව රූපශ්‍රී ඇති උම්බරියට පළමු වූ තවත් කිසිදු වනිතාවක්‌ අස්‌සක රජ මාලිගයෙහි නොවූවාය. එහෙයින්ම උබ්බරීට මේ රජ මාලිගය තුළ හිමිවූයේද ලොකු තනතුරකි. එනම් ඒ අනෙකක්‌ නොව අස්‌සකගේ අග්‍රභාර්යාව තානාන්තරයයි.

ලෝකයේ කොතැනක වුවද මල් හට ගන්නා වසන්තයම හැමදා හැම විටෙකම පවතින්නේ නැත. ලොව ජීව අජීව කවරකටත් පොදු වූ වෙනස්‌වන සනාථතන දහමින් ඒ අනුව සෑම සියලු දෙයක්‌ම නැසී වැනසී උඩු යටිකුරුව යන්නේ කිසිවකුත් නොසිතූ නොපැතූ ආකාරයටය. අස්‌සක ඇතුළු පිරිස සියලු ලෞකික බල මහිමයන්ගෙන් බෙහෙවින් සන්නද්ධ වී උපරිම රාජකීය ජීවිතයක්‌ ගත කළද එම අනියත දහම එලෙසින්ම ඔවුන් කෙරෙහිද බලපවත්නා බව කියන යුගයක ලකුණු පහළ වෙමින් තිබුණේය.

ගස්‌ මුදුන්වල සිටිමින් තොරතෝංචියක්‌ නැතිව හඬා වැලපෙන උලමාගේ සොහොන් හඬ මුළු මහත් පෝතලී නුවර පුරාවෙහිම අහුමුලු නෑර පැතිර ගියේය. අනෝරා වැසි වැරෙන පරිසරයක සේයාවකුදු නොවුණත් හැම දවසකම පෝතලී නුවර පුරා පැවැතියේ මූසල අඳුරු මන්දාරමක්‌ සහිත වැහි බීරමකි. ගහකොළ සැලිණ. ඒ සැලෙන විට තුරු මුදුන් එකිනෙක ගැටී නැගෙන හඬ මහ මුහුදක මහ කැලඹුමක්‌ නිසා බිඳෙන – සිඳෙන රළ ගෙඩි රැළක වියරු ඝෝෂය කියා පෑවේය. නපුරු කාලයේ නෙක ලකුණු පළ කළ රජ මැදුරට උදාවන නස්‌පැත්තියේ අමිහිර නොබෝ දිනකින්ම අස්‌සක ඇතුළු නිලබලධරයින් හැමට වටහා ගත හැකිවී.

අකුසල කර්මයන් ඇසුරෙහි මෝරා වැඩුණු ප්‍රතිවිපාකයන් ලැබෙන්නට පටන්ගෙන තිබෙන බව අස්‌සක අග බිසව වූ උබ්බරීගේ කහ ගැහුණු ඇඟෙන්ද ගිලී ගිය සුදුමැලි දැසින් හා වෙව්ලන ඇඟපතින්ද වඩාත් පැහැදිලිව පෙනුණේය. වෙදකම්වලින් පමණක්‌ නොව හෙදකම්වලින්ද දැනුම් සයුරේ නැණ නැවින් එතෙරව ගිය වෙද ඇදුරෝ අස්‌සකගේ රාජ මාළිගයට පැමිණියෝය. ඔවුහු දන්නා කියන සෑම බේතක්‌ හේතක්‌ම උබ්බරීමට දුන්නෝය. එහෙත් ඒ කිසිවකිනුත් උබ්බරී ගොඩට ගැන්මට නොහැකි වී. උබ්බරී රෝගාතුර වූ මේ දින කිහිපයට ඇගේ රන්වන් රූපය ඇත්තටම දිරා වැහැරී ගොස්‌ තිබුණේ මුළුතැන් ගෙයක වූ කිළිටි කඩමාල්ලක්‌ පරිද්දෙනි.

ඈ ඉතා වේදනාවෙන් සිරි යහන් ගබඩාවෙහි කෙඳිරිගාමීන් සිටියාය. ක්‍රමයෙන් ජීවිතය තුරන්වී යනු ඇයට දැනේ. ඇයගේ පරිවාර කාන්තාවෝ ඇය අසලට රැස්‌ව වරින් වර වැළපෙන්නට පටන්ගත්හ. මේ සියල්ල දෙස බලාගෙන අස්‌සක රජතුමා සිටියේ ශෝකයෙනි. ඔහුගේ පපුවේ හා උගුරේ ගැස්‌ම නොඉවසිය හැකි තරම් බලවත්ව දැනී ඔහුටද හැඬුම් ආවත් ඔහු එය වෑයමින් නවතා ගත්තේය. එනමුදු අස්‌සකගේ කඳුළුවලින් බොඳවී ගිය දෙඇස කාටත් පැහැදිලිව දැකගත හැකිවිය.

මෙදින රාත්‍රිය ගෙවී ගියේ මේ සිහිසන් නොමැති ශෝකාතුර අන්ධකාර පරිසරය ඇතුළේ අසස්‌ක රජ මාලිගයම ගිලීගනිද්දීය. මාරයාගේ බල පුළුවන්කාරමකම ගැන සිතින් මෙන්ම කයින්ද දුබලව ගිය උබ්බරීට කිසිම සැකයක්‌ තිබුණේ නැත. ජීවත මාලිගයෙහි ඇයට තවත් විසිය නොහැකි විය. එක්‌ ජීවිතයකදී උරුමකරගත් අපමණක්‌ වූ දුක්‌ වේදනාවන් නිමාකොට උබ්බරී මරණය වැළඳ ගන්නා විට එදින අලුයම් කාලය ළඟාවෙමින් තිබිණි. රාජකීයයන්ට උලමාගේ සෝපහාස නාදය තවත් නොඇසිණ. එනමුදු අස්‌සක රාජමාලිගයේ පැවැති අඳුරු පාලු මූසල ස්‌වරය තවදුරටත් එසේම පැවැතිණ.

උබ්බරීගේ මරණය සිදුවී නපුරු කාලය වැට පැන යාමෙන් ඉක්‌බිතිව පෝතලී නුවර යළිත් මුලින් පැවැති ස්‌වරූපයට පෙරළී තිබිණි. එසේ වුවත් තම ප්‍රියාදර භාර්යාව වූ උම්බරියගෙන් වෙන්වී අස්‌සකට කිසිසේත් සිතෙහි සාමයෙන් කාලය ගත කළ නොහැකි විය. උබ්බරිය අවශ්‍ය යෑයි ඔහුගේ සිත ඔහුට තදින්ම කීවේය. ඒ නිසාමදොa අස්‌සක කළ දෙයින් මහජනතාවෝද මහත් විමතියකට පත්වූහ. එනම් උබ්බරීගේ රූපයෙන් අගපත් මළකඳට ආශා කළ හේ එය කිසිදා කුණු නොවන බලගතු තෙලක ගිල්වාලූයේය. ඉන් ඉක්‌බිතිව ඒ පනසුන් මළ කඳ තම සිරියහන් ගබඩාවෙහි තමා නිදන ඇඳ යට තබා ගත් අතර ඔහු අනතුරුව හරිහමන් ලෙස කෑමක්‌ බීමක්‌ පවා නොගෙන බොහෝ විට ශෝකාතුරව ඇඳ උඩ වැතිර සිටියේය. අමාත්‍යයින් අස්‌සකගේ ශෝකාතුර සිත නිවා සනහාලන්නට නොයෙක්‌ දහම් කීමත් ඒවායින් කිසිම වැඩක්‌ වූයේ නැත.

සම්මා සම්බුදු බව ලබන්නට උතුම් පෙරුම් දම් පුරමින් අප මහා බෝසතාණන් වහන්සේ මෙකල හිමාල වනයෙහි වැඩ වාසය කළහ. සීතල හිමවතෙහි දුස්‌කරතම ජීවිතයක්‌ ගෙවමින් බියකරු සංසාර දුකින් අතමිදෙන්නට මෙසේ වීරිය වඩන අතරේ එක්‌ දිනෙක උන්වහන්සේ ස්‌වකීය වූ දිවැසින් ලෝකය දෙස මොහොතක්‌ බලා වදාළ\හ. එහිදී උන්වහන්සේට පෙනුණු නොයෙක්‌ දසුන් අතර ශෝකයෙන් මුසපත්ව ගිය අස්‌සක රජුගේ ජිවන අන්දරයද අපූරුවට පෙනිණි. නිරාහාව දුකින් යහනාවේ වැතිර සිටින ආසක දුටු බෝධි සත්වයන් වහන්සේ තුළ හටගත්තේ බලවත් අනුකම්පාවකි.

‘අස්‌සක රජ මැදුරට වෙත ගොස්‌ මේ විපතින් ඔහු අතමිදවිය යුතුය යන පරාර්ථනීය කල්පනය එහිදී එක්‌වරම උන්වහන්සේගේ සිතට නැගිණ. ඒත් එක්‌කම ගමනාරම්භයද කළ බෝධිසත්වයන් වහන්සේ අහස්‌ කුස සිසාර වැඩමවා විත් නතර වූයේ අස්‌සකගේ මඟුල් උයනේය. එහි ගල්තලාවක්‌ මත වැඩහුන් උන්වහන්සේ දුර ඈතට පෙනුණේ ඇත්තටම රන්වන් පිළිමයක්‌ සේය. එකෙණෙහිම එතැනට ආ බ්‍රාහ්මණයකුගේ ද අස්‌සකට සිදුවී ඇති විපත උන්වහන්සේට දැන ගන්නට ලැබිණ.

බෝධි සත්වයන්ගේ ඉල්ලීම පිට අස්‌සක උන්වහන්සේට අභිමුවට කැඳවූයේය. දිවැස්‌ ඇති මහත් බලසම්පන්න තාපසයකු සිය මඟුල් උයනට වැඩමකර සිටින බව ඒ වනවිට අස්‌සකටද දැන ගන්නට ලැබී තිබුණේය.

එහෙයින් ඒ තාපසයෝ මාගේ ආදර බිරියගේ උත්පත්තියද දන්නවා විය හැකියි. ඈ උපත ලබා සුවසේ ජීවත්වනු ඇත්තේ කොහේද? උන්වහන්සේගෙන් අසා දැනගන්නට දැන්ම යන්න ඕනෑ. එසේ සිතූ අස්‌සක සිරියහන් ගැබෙන් නික්‌මී මගුල් උයනට ගියේය.

‘පින්වත් තාපසයාණන් වහන්ස මාගේ ප්‍රිය භාර්යතමෝ මරණින් මතු කොහේ උපත ලබා සිටින්නේද? මට නොවහලා පවසනු මැනවි’. අස්‌සක බෝසතුන් හමුවේ දණින් වැඳ වැටුණේය.

‘එසේය මහරජතුමණි, දනිමි. ඇය දැන් ගොය ගොඩක පණුවියක්‌ව උපත ලබා සිටිනවා’ යි බෝසත් තවුස්‌තෙම පිළිවදන් දුන්නේය.

පින්වත් තවුසාණෙනි, මෙතරම් රූ සිරියකින් ජීවත්ව සිටත් එබඳු ආත්මයක්‌ ඈ ලැබුවේ කොහොමද? එය නම් මට කොහොමවත් අදහාගන්න බැහැ’ අස්‌සක කීය. බෝසත් තාපසයාණන් වහන්සේ මෙහිදී ගෙට උණ්‌ඩියක්‌ සහිතවම පණුවිය අස්‌සක අභියසට ගෙන්වූ සේක. ගොම උණ්‌ඩියක්‌ සහිතව සිය සැමි ගොම පණුවාද සමග එහි ආ පණුවිය සිය පූර්ව ආත්මය කියන්නටද පටන් ගත්තාය. තමා එදා අස්‌සකගේ රූබර බිරිඳවූ උබ්බරී බවත්, රූප මදයෙන් මත්ව කිසිදු පිනක්‌ දහමක්‌ නොපිරූ හෙයින් මෙසේ උපන් බවත් ඈ කීවාය.

පින්වත් තාපසයාණන් වහන්ස. මේ අස්‌සකයනුත් සමග මෙම මඟුල් උයන තුළ පෙරදී මා කෙළිදෙලෙන් පසුවූ වාර අනන්තයි. ඒත් දැන් මා ඒ ජාතියෙන් වෙන්වුණා. එහෙයින් අස්‌සක රජු කෙරෙහි කිසිදු ස්‌නේහයක්‌ හෝ බැඳීමක්‌ මා තුළ නෑ’ යි ගොම පණුවිය තවදුරටත් තෙපළාය.

එයින්ම අස්‌සකගේ මෝහයත්, ඒ හා බැඳුනු මුලාවත් සියල්ලත් සංසිඳුණේය. ඔහු සැනෙකින් නිදා සිට පිබිදුනකු මෙන් පියවි ලෝකයට පිවිසුණේය. න් ඉක්‌බිතිව රජ මැදුරට ගිය ඔහු වහාම උබ්බරීගේ මළකඳ නොහොන් බිමට පිටත්කර හැරියේය. මුළු රජමැදුරම සෝදවා තමනුත් නා හිස්‌ සෝදා සුවඳ පැනින් සුවඳවත්වී දැහැමින් රාජ්‍ය කොට මිය පරලොව ගියේය.

එකල ශාසනයෙහි උකටලී වූ භික්‌ෂුව මෙකල මේ අස්‌සකය. ඔහු මුdවේ පෙලූ ස්‌ත්‍රිය මේ ගොම පණුවියයි. ඔහු රාග ගින්නෙද් මුදවාලූ තාපසයාණන් නම් දැන් බුදුවූ මම්ම වේ යෑයි දක්‌වා වදාල බුදුරජාණන් වහන්සේ මේ අස්‌සක ජාතකය නිමවා වදාළ සේක.