Monthly Archives: March 2015

● ස්වාමීන් වහන්ස, මේ ලොව උපත ලැබූ අප ශීඝ්‍රයෙන් ළං වන්නේ මරණය ට යි. මිය යනවා යැය…

● ස්වාමීන් වහන්ස, මේ ලොව උපත ලැබූ අප ශීඝ්‍රයෙන් ළං වන්නේ මරණය ට යි. මිය යනවා යැයි කියන්නේ කුමක් ද?

මිය යනවා, මරණයට පත්වෙනවා යැයි එක්තරා විදිහකට කියනවා නම් එක ගමනක කෙළවර සහ තව ගමනක ආරම්භය යි. තව ආකාරයට කියනවා නම් මේ භවයේ තාවකාලික නැවතුම යි. සාමාන්‍ය පුද්ගලයන් වන අප හිතනවා මරණය කියන්නේ සදාතනික දෙයක් කියලා. මැරුණට පස්සේ ඒ පුද්ගලයා නැති වීමක්වන්නේ කියා. නමුත් මරණය කියන්නේ තව උපතකට මුලයි. අපත් සමග මේ ජීවිතයේ දී ජීවත් වූ අපගේ බොහෝ අය මැරුණා. ඒ පිරිස අරහත්වයට පත්වෙලා නැත්නම් ඒ සෑම කෙනෙක් ම තව තැනක ජීවතයක් ආරම්භ කරනවා.

මරණය කියන දේ තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල විවිධ ආකාරයට විස්තර කර තිබෙනවා. සච්චවිභංග සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් තිබෙනවා. පොදුවේ මේ ලෝකයේ ජීවත්වන අයට සත්ත්වයා කියා කියනවා. සත්ත්වයා කියන්නේ “භවයේ ඇලුණ” කියන එකයි. නැවත ඇලීමක් නැතුව මිදුන අයටයි විමුක්ත කියන්නේ නැවත ඇලීමක් නැතුව මිදුන අය විඳීන සුවයට “විමුක්ති සුවය” කියා කියන්නේ. මරණයේ දී වෙන ප්‍රධාන ම දේ තමයි රූපයෙන් විඤ්ඤාණය ඉවත්වෙලා යාම. විඤ්ඤාණයෙන් රූපය ඉවත්වෙනවාත් සමඟ ශරීරයේ ක්‍රියාකාරීත්වයට උපකාරි වන වායෝ ධාතුව ක්‍රියාකාරීත්වය නවතිනවා. මෙහිදී මරණය දුකක් බවට පත්වන්නේ මේ ශරීරයේ තිබෙනවා අංගමංගානු කියා වාතයක්. එය ශරීරය පුරාම විහිදී තිබෙනවා. මැරෙන අවස්ථාවේ මේ ශරීරය පුරාම විහිදී විසිරි තිබෙන වාතය එකට ඇදල කැටිකරලා අන්තිම හුස්ම ලෙස පිට කරනවා. ශරීරයේ උණුසුම අඩුවී ගෙන යනකොට ශරීරය ශීතල වෙන්න ගන්නවා. තේජෝ ධාතුව නැතිව යනවා. එවිට පෙනහැලි සෙම්වලින් ආවරණය වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන්න තිබෙන අවස්ථාව අඩුවෙනකොට අප කියනවා පණ අදිනවා කියලා. මෙය ඉතාමත් අමාරු ක්‍රියාවලියක්. මරණය සිදුවන අවස්ථාවේ දී බොහෝ අය සලිත වෙනවා. දුකට පත්වෙනවා. දරුණු කායික වේදනා හමුවේ මිනිසුන් බිඳ වැටෙනවා. ධර්මයේ පිහිටා කටයුතු කළ පුද්ගලයා පමණක් පණ අදිනවා කියා තෝරාබේරා ගන්නවා. ධර්මයෙන් බැහැර වූ පිරිස ට එය වටහා ගන්නට බැහැ. ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මානුකූ®ලව ධර්ම මනසිකාරය තුළින් තමන්ගේ ජීවිත අත්දැකීම් තමාගේ් ජීවිතයත් සමඟ ගලපා බලන්න තිබෙන හැකියාව යි. ඒ පුද්ගලයාට පමණයි මරණ මොහොතේ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එසේ හැකියාවක් නැති පුද්ගලයාට ඒ අවස්ථාව ඉතාමත් දුක්බර වේදනාකාරි අත්දැකීමක් වෙනවා. අපගේ් ශරීරයේ වායෝ ධාතුවයි, උණුසුමයි, විඤ්ඤාණය යි ශරීරයෙන් පිට වූ විට එය නිරුද්ධ වී යනවා. නිරුද්ධ වූ ගමන් එම ශරීරය දරකඩක් බවට පත්වෙනවා. මෙයයි මිය යනවා කියන්නේ.

● මරණාසන්න මොහොතේ දී බොහෝ අය සිහිමුලා වෙනවා. නො මුලා වී මරණයට පත්වීමට කුමක් කළ යුතු ද?

මරණයට පත්වනවිට හෝ අවසාන කාලය තුළ දී සිහිමුලා වෙන්නේ ජීිවත්වන කාලයේ දී ධර්මයේ පිහිටියේ නැති නිසා. සමහර අයට කර්ම දෝෂ නිසාත් සිහි මුලා වෙලා මැරෙනවා. අපේ සමාජයේ බොහෝ අය මරණාසන්න මොහොතේ බියට, මුලාවට පත්වෙනවා. සතුටින් තම කළ කුසල් සිහි කරමින් මිය යන අය බොහෝ අල්ප යි. බුද්ධ කාලයේ සිටි ධම්මික උපාසකයා වගේ අය අද අපට කලාතුරකින්වත් මුණ ගැහෙන්නේ නැහැ. සිහිමුලා වන්නට ප්‍රධාන හේතු තමා තමාගේ් පැවැත්ම හා අතීත කර්ම ශක්තිය.

අප ජීවත් ව සිටින කාලයේ දී සිතන්න ඕන කවදාහරි දවසක අප මැරෙන බව. ඒ වෙලාවට මගේ හිත හදා ගන්න පුළුවන් කියන දේ සිතට කා වැදී තිබෙන්නත් ඕන. අප දිගින් දිගටම හුරුපුරුදු කරන කර්මයක් තිබෙනවා. ඒ ආචින්න කර්ම ය. ඒ කර්මය තමා බොහෝවිට මරණාසන්න කාලයේ දී ඉස්මතු වී එන්නේ. අප හොඳ දේවල් නිතරම කරන විට හොඳ කර්ම ඉස්මතුවෙලා එන්න පුළුවන්.

දිනක්, මහනාම ශාක්‍ය රජතුමා තථාගතයන් වහන්සේගෙන් අසනවා, අප බොහෝ ම ශ්‍රද්ධාවන්ත යි. බණදහම් වගේ ම ගුණදහම් ද පුරුදු කරනවා. නමුත් ස්වාමිනි, ඉතාමත් ජනාකීර්ණ කිඹුල්වත් නුවර දී හදිසියේ අප මැරුණොත් ඒ වේදනාව නිසා අප දුගතියේ යයි ද? එවිට තථාගතයන් වහන්සේ උපමාවක් කියනවා. ගිතෙල් කලයක් අරගෙන වතුර යටකට ගිහිං කුඩු කරනවා. එතකොට උඩට මතුවී එන්නේ ගිතෙල්. මැටිකෑලි වතුර යටම තිබෙනවා. ඒ ආකාරයට ශ්‍රද්ධා ශීල ආදී ගුණ ධර්ම දියුණු කළ අය හදිසි අනතුරකින් හෝ කායික පීඩාවෙන් හෝ මැරෙන්න සිදු වුවොත් ඉස්මතු වන්නේ් තමා කළ හොඳ සිතිවිලියි. එහෙම හොඳ සිතිවිලි මතුවෙලා එන්නේ දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළ නිසයි. එනිසා සිහිය පිහිටුවා ගන්නට ඕන ආකාරයට තමාගේ් පැවැත්ම හදාගත යුතු වෙනවා.

ඒ වගේම අප දන්නවා තථාගතයන් වහන්සේ බොහෝ අයට මරණාසන්න අවස්ථාවේ සුගතියේ සිත පිහිටුවා තිබෙනවා. වේදනාවක් ඇතිවුනා ම වේදනාව ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යන ආකාරයට සිහි කිරීම. එහි අනිත්‍ය බව දැනීම එය නිත්‍ය කරගෙන පීඩාවට පත්වෙන්න එපා කියලා කියා දීපු අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ කරුණු ඉගෙනගෙන ඒවා නිතර පුරුදු කළොත් කායික පීඩා මානසික පීඩා තිබෙන අවස්ථාවක එය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සිහි නො මුලාම මරණයට පත්වෙන්න පුළුවන්.

● ජීචත්ව සිටියදීම “මරණානුස්සති” භාවනාව නිතර පුරුදුකරන ලෙස තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ කුමක් නිසා ද?

යම් කෙනෙක් නිතර නිතර මරණානුස්සති භාවනාව පුරුදු කරනවානම් ඔහු නිරන්තරයෙන්ම අප්‍රමාදි වෙන කෙනෙක්. අප්‍රමාදි වෙන කෙනා සිත කුසලයෙහි පිහිටුවන තැනැත්තා. මරණයට පත්වෙනවා යැයි කියන්නේ අතීතයේ හෝ අනාගතයේ නොවෙ යි. පණ යනවා කියන්නේ වර්තමානයේ සිදුවන දෙයක්. එහෙනම් අප්‍රමාදි පුද්ගලයා ජීවත්වන්නේ මේ යුගයේ. ප්‍රමාදිතැනැත්තා ජීවත් වන්නේ අතීතයේ හෝ අනාගතයේ. අතීතය කියන්නේ අපේ පාලනයෙන් තොර එකක්. නික්මිලා ගිය එකක්. අනාගතය කියන්නේ අපේ පාලනයෙන් තොර එකක්. තවම ආපු නැති එකක්. වර්තමානය මේ මොහොත කියන්නේ අපට පාලනය කළහැකි එකක්. මේ මොහොතේ සිත හොදට කුසලයෙහි පිහිටා ගත්තොත් අකුසලයෙන් මුදවා ගත්තොත් හොඳ සිතිවිලි වලින් හිත හදාගෙන සිටින අවස්ථාවක මැරුණොත් ඊළඟ ජීවිතය වුවත් සුගතිගාමි කරගන්න පුළුවන්. ඒ නිසයි තථාගතයන් වහන්සේ මරණය ගැන නිරතුරුවම සිහි කරන්න කියා වදාළේ. මරණයට පත්වන විට කම්පාවෙලා අඬ අඬා පසුගාමිව දුක්වෙලා වැඩක් නැහැ. මරණය කියන්නේ කල් ඇතිව හිතල එයට මුහුණ දෙන්න සිත ශක්තිමත් කර ගැනීම යි. ඕනෑම දුකක් කලින් හිතල සිටිය ම දුක අඩුවෙනවා. අනපේක්ෂිතව මරණයක් වුනාම දුක හිතෙනවා. අප හිතන්නේ් මිනිසුන් මැරෙන්නේ වයසට ගියා ම කියලා. එහෙම එකක් නැහැ. මරණය කියන්නේ ඕනෑම කාලයක මුහුණ දෙන්න වෙන එකක්. ජීවිතයට මරණය කියන දේ විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තේරුම් අරගෙන ජීවත්වීම තුළින් මරණයේ දී ඇතිවෙන වේදනාව දරාගන්න පුළුවන්කම තියෙනවා.

ඒ නිසා තමයි ජීවත්වෙලා ඉන්න කාලයේ දී ම මරණය පිළිබඳව මෙනෙහි කරලා භාවනාවක් ලෙස දියුණු කරන්න ඕන. එවිට ඔහු අප්‍රමාදි වෙනවා. බාල, ළමා, තරුණ, මධ්‍යම වයස්වල දී මිනිසුන් මැරෙන හැටි දකිනවා. මහ බලවතුන් ‘ධනවතුන්’ කුලවතුන් විවිධ ශක්තිසම්පන්න උදවිය මරණයට පත්වෙන හැටි දකිනවා. ඒ අය මරණයේ දී සියලු දේ අතහැර ගිය හැටි දකිනවා. එවිට ඔහු මටත් මේ ධර්මතාවය කවදාහරි උරුමවෙනවා කියා දැනෙගන කල් ඇතිව එයට සූදානම් වෙනවා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

1. මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා. 2. පහත් කුලවල නොඉපිද උසස් කුල වලම ඉපදුණා. 3. කැ…

1. මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
2. පහත් කුලවල නොඉපිද උසස් කුල වලම ඉපදුණා.
3. කැමති කැමති යාන වාහන ලැබුණා.
4. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.
5. බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.
6. සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා.
7. උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
8. සැමකල්හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
9. තම පිරිස කිසිවෙකුට භේද කල නොහැකි වුණා.
10. ඤාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු වුණා.
11. ශීත උශ්ණ වලින් පීඩාවක් වුණේ නැහැ.
12. කායික දාහ මනසික දාහ නැති උතුමෙක් වුණා.
13. නිවන් සුවය ලැබීමට එම පින උපකාර වුණා.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියළුම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක..
සාදු..! සාදු..! සාදු..!

මුළු කතාව කියවන්න ->

එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා…

එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත‍්‍රා ද ලේ සැරව ද අනුභව කරන පේ‍්‍රතියක් විත් දිව්‍ය පුත‍්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්ත‍්‍ර දෙන්න යැ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්ෂුව දෙව්පුත්ගෙන් විස්තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කිවේ ය. එනම් ”මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත‍්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්ත‍්‍ර තොපට ලෝහ වස්ත‍්‍ර වේවා” කියා ය. තමා දන් දී දෙව් විමනක් ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ පේ‍්‍රතියක් වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.

(මහාපේසකාර පේ‍්‍රත වස්තූව)

මේ නිසා කිසිවිටක දානාදී පින්කම් පහත් කොට කතා කරන්න එපා. හැකිතාක් පින් අනුමෝදන් වන්න.

සත්තභරියා සූත්‍රය (සප්ත භාර්යාවන් ගැන වදාළ දෙසුම) ——————————…

සත්තභරියා සූත්‍රය (සප්ත භාර්යාවන් ගැන වදාළ දෙසුම)
—————————————————————–

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන අනේපිඬු සිටුහුගේ නිවසට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසෙහි මිනිස්සු උස් හ`ඩින් මහ හඬින් ඝෝෂා කරමින් සිටිති. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථ පිණ්ඩික ගෘහපතියා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“කිම, ගෘහපතිය, ඔබ නිවසෙහි මිනිස්සු මසුන් මරණ තැනක කෙවුලන් සෙයින් උස් හ`ඩින් මහ හඬින් කුමක් නිසා ඝෝෂා කරන්නහු ද?”

“ස්වාමීනී, මේ සුජාතාවෝ ආඪ්‍ය වූ ආඪ්‍ය කුලයකින් ගෙනෙන ලද්දී කුලදියණිය යි. ඕ නැන්දනියට ද සවන් නොදෙයි. මාමණ්ඩියට ද සවන් නොදෙයි. සැමියාට ද සවන් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට ද සත්කාර නොකරයි. ගරු නොකරයි. බුහුමන් නොකරයි. නොපුදයි.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදියණිය ඇමතූ සේක.

“සුජාතාවෙනි, මෙහි එව.”

“එසේ ය, ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව හුන් සුජාතා කුලදියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“සුජාතාවෙනි, පුරුෂයෙකු හට මේ භාර්යාවෝ සත් දෙනෙකි. ඒ කවර සත් දෙනෙක් ද යත්;

වධකියක හා සමාන වූ බිරිඳකි. සෙරක හා සමාන වූ බිරිඳකි. ආර්යාවක හා සමාන වූ බිරිඳකි. මවක හා සමාන වූ බිරිඳකි. සොයුරියක හා සමාන වූ බිරිඳකි. යෙහෙළියක හා සමාන වූ බිරිඳකි. දාසියක හා සමාන වූ බිරිඳකි.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔබ මෙයින් කවර තැනැත්තියක් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් යම් අයුරකින් දැනගන්නෙම් ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේ මා හට ධර්ම දේශනා කරන සේක් නම් මැනැවි.”

“එසේ වී නම් සුජාතාවෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”
“එසේ ය ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(ගාථා)
1. යම් තැනැත්තියක් දුෂ්ට සිත් ඇත්තී, හිතානුකම්පා නැත්තී, අන්‍ය වූ පුරුෂයන් කෙරෙහි ඇලුනී, තම ස්වාමියා ඉක්මවා සිතන්නී ද, ධනයෙන් මිලට ගන්නා ලද්දී, සැමියාට වධ දීම පිණිස උත්සාහ කරන්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය වධකියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

2. ස්ත්‍රියකගේ ස්වාමියා ශිල්පයෙන් වේවා, වෙළඳාමෙන් වේවා, ගොවිතැන් කර්මාන්තයකින් වේවා යම් ධනයක් උපයයි ද, ඒ ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැත්තී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සෙරක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

3. යම් තැනැත්තියක් නිවසෙහි වැඩකරන්නට නොකැමැත්තී ද, අලස වූවා ද, බොහෝ කොට අනුභව කරන්නී ද, සැඩ පරුෂ වූවා ද, දරුණු වචන පවසන්නී ද, ස්වාමියාගේ නැගී සිටි වීරියෙන් කළ යුතු කටයුතු මැඩ සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය ආර්යාවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

4. යම් තැනැත්තියක් හැම කල්හී සිය සැමියාට හිතානුකම්පා ඇත්තී ද, මවක් දරුවෙකු රකින සෙයින් සැමියා රකින්නී ද, ඔහු විසින් උපයන ධනය ත් රකින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය මවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

5. යම් තැනැත්තියක් වැඩිමහල් සොයුරා කෙරෙහි බාල නැගණිය යම් සේ පවත්නී ද, එසෙයින් සිය ස්වාමියා කෙරෙහි ගෞරව ඇත්තී, ලැජ්ජා සිත් ඇත්තී, ස්වාමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සොයුරියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

6. යම් තැනැත්තියක් මෙහි බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය සැමියා දැක සතුටු වන්නී ද, කුලයෙහි වසන සිල්වත් ව, මනා පිළිවෙත් ඇති ව සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය යෙහෙළියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

7. ස්වාමියා විසින් දඬු මුගුරු ගෙන පහර දී තර්ජනය කරන ලද්දී නමුත් නොකිපෙන්නී, දුෂ්ට සිත් නැත්තී, සැමියාගේ වරද ඉවසන්නී ද, නොකිපෙන්නී, සැමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය දාසියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

8. මෙහිලා යම් බිරිඳක් වධකියක් යැයි කියනු ලබන්නී ද, සෙරක් යැයි, ආර්යාවක් යැයි කියනු ලබන්නී ද, දුස්සීල ගති ඇති, ඵරුෂ වූ, ආදර රහිත වූ ඒ බිරින්දෑවරු මරණින් මතු නිරයෙහි උපදිති.

9. මෙහිලා යම් බිරිඳක් මවක් යැයි, සොයුරියක් යැයි, යෙහෙළියක් යැයි, දාසියක් යැයි කියනු ලබන්නී ද, සීලයෙහි පිහිටි, බොහෝ කල් සංවර ව වාසය කරන ඒ බිරින්දෑවරු මරණින් මතු සුගතියෙහි උපදිති.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔවුන් අතුරින් ඔබ කවරී ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් ස්වාමියාගේ දාසියක හා සම වූ බිරිඳ වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

~ සත්තභරියා සූත්‍රය – අංගුත්තර නිකාය – 4 (සත්තක නිපාතය) ~

බුදුරජාණන් වහන්සේ පහත ගාථා ධර්මය දේශනා කළේ පින්වත් දේවතාවකුගේ ප්‍රශ්නයකට පිළිතුර…

බුදුරජාණන් වහන්සේ පහත ගාථා ධර්මය දේශනා කළේ පින්වත් දේවතාවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසටයි. එය සඳහන් වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ නජීරති සූත්‍ර දේශනාවෙයි. එය කෙටි දේශනාවක්. එම දේශනාවේ ඇති සියල්ලම අප සියලු දෙනාටම ඉතාම වැදගත් . ඒ නිසා එම දේශනාවේ හැම කරුණක් පිළිබඳවම අපේ අවධානයට ගනිමු.

ජලොකස්මිං ඡිද්දානි- යත්‍ථ චිත්තං න තිට්ඨති
ආලස්සංච පමාදෝච – අනුට්ඨානං අසංයමෝ
නිද්දා තන්දිච තේ ඡිද්දේ -සබ්බසො තං විවජ්ජයෙ

දිනක් මධ්‍යම රාත්‍රියේ දෙව්රම බබුළුවාගෙන පැමිණි පින්වත් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න මාලාවක් යොමුකළා. දෙවි දේවතාවරු බුදුරදුන්ගෙන් කළ විමසීම් හරිම වැදගත්. ඒ ප්‍රශ්න දෙස බලන විට අපට හිතෙනව ඇයි මිනිසුන්ට මේ ප්‍රශ්න අහන්න බැරිවුණේ කියලත්. මිනිසුන් බොහෝ විට අහල තිබෙන්නෙ දෙවියන් ගැන, ඍද්ධී ප්‍රාතිහාර්ය ගැන, අරුම පුදුම දේවල් ගැන, දෘෂ්ඨි ගැන වගේම කාම සම්පත්, සන්ඩු සරුවල් සහ ආදරය පේ‍්‍රමය ආදිය ගැනයි. ඉතින් දෙවියන්ට මේ ගැටලු හුඟක් අඩු නිසා බොහෝ විට දෙවියන් අහල තිබෙන්නෙ එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රයෝජනවත් දේවල් ගැනයි. ඒ දේවල් දෙවියන්ටත් වඩා වටින්නෙ මිනිස්ලොව ජීවත් වන අපටයි. දැන් අපි ඒ එක එකප්‍රශ්නය හා පිළිතුරු විමසා බලමු.

1. කිංසු ජීරති -කුමක් දිරාද?
රූපං ජීරති -සත්වයන්ගේ රූපය දිරයි.

දිරායාම ජරාවයි. ඉපදුන සත්වයා ජරාවට පත්වීම ස්වභාවයි. එය දුක්ඛ සත්‍යයේ දෙවැනි පියවරයි. “ජරාපිදුක්ඛා” යනු දේශනාවයි.ජරාවට පත්වීම විස්තර කරන සච්චවිභංග සූත්‍රය, “යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජරාජීරණතා, ඛණ්ඩිච්චං, ඵාලිච්චං, වලිත්තචතා, ආයුනො සංහානි, ඉන්ද්‍රියානං පරිපාකො අයං වුච්චති ජරා” යනුවෙන් ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව කොට්ඨාසයෙහි යම් ජරාවක් වන්නේ ද දත් හා ඇට කැඩුණු බවද, කෙස් ලොම් සුදු වූ බවද, රැළි ගැසුණු සම ඇති බවද, ආයුෂයාගේ හානියද, ඉන්ද්‍රියයන්ගේ මුහුකුරා යෑමක්, මේරීමක්,මහලු බවක් ඇද්ද මෙය ජරාව යයි කියයි.

මේ නිසා ජරාවට ගිය මඟ සලකුණූ සොයා ගත හැකිය. කෙස් ඉදුණූ ඇඟරැළි වැටුණු, හකු ඇකිළුණු , දත් හැළුණු, කුදු ගැසුණූ සලකුණූ ජරාවේ ලක්‍ෂණයි.ජල පහරකින් කැඩී බිඳී පොඩිවී ගිය තැන් ජලය ගිය මඟ සලකුණු කරන්නා සේ, හළුවී පිච්චි විනාශ වී ගියතැන් ගින්න ගිය මඟ සලකුණු කරන්නා සේ ජරාවට ගිය මඟ මේ ලක්ෂණවලින් හඳුනා ගත යුතුයි.

කොසොල් රජතුමා තම වයසට ගිය නැන්දනිය මිය ගිය අවස්ථාවේ සිය ශෝකය බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළ විට උන්වහන්සේ දේශනා කළේ “ජීරන්ති වෙ රාජරථා සුචිත්තා -අථො සරීරම්පි ජරං උපෙති” යනුවෙන්.

මහරජ! ලෝකයේ විසිතුරු හැම රාජ රථයක්ම දිරනවා. එමෙන් හැඩ වැඩ කරන මේ ශරීරයත් දිරාපත් වන බව දේශනා කොට රජුගේ ශෝකය දුරු කළා. ශරීරයක් ලැබූ ඔබ ඒ දිරාගිය ශරීරය වෙනුවෙන් කොතෙක් වෙහෙසුනාද, කොතෙක් වියදම් කළාද? කොතෙක් ආදරයෙන් සැරසුවද? එහෙත් ඒ සියල්ල මේ ශරීරය අමතකකොට ඔබටත් හොරා ඔහුට අයත් ස්වභාව වූ දිරායෑමට පත්වු බව නිතර සිහි කළ යුතුයි.

2. කිං නජීරති -කුමක් නොදිරාද?
නාම ගොත්තං නජීරති -සත්වයන්ගේ නාම ගෝත්‍රය නොදිරයි

මුළුමහත් සත්ව ලෝකයම බෙදාගෙන ගොස් අවසාන බෙදීම වන්නේ නාම රූප දෙකයි. පඤ්චස්කන්ධයේ ස්කන්ධ සතරක්ම නාමයි.වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සතරයි. සසර පුරා මේවා දිරාපත් වීමට නොදී ජලය පොහොර කොතරම් යොදමින් අරගෙන ආවද? තව කොතෙක් කල් අරගෙන යනවාද? ඒ නාම කය සුගන්ධවත් කිරීමට යම් වැඩපිළිවෙළක් යෙදුවාද යන මේවා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

දිරායන රූපයට දක්වන සැලකිල්ල, දිගුකලක් පවතින නාමකය හැඩ වැඩ කරන්නන් යෙදිය යුතුයි. ඉඩක් ලද හැම විටම නාමකය සංවර්ධනයට යොදාගන්න. ඒ නාමකයේ නොදිරන කල්පැවැත්ම ආරක්‍ෂා වන්නේ සද්පුරුෂ ධර්ම තුළයි “ සතංච ධම්මෝ නජරං උපෙති” සද්පුරුෂ ධර්ම නොදිරන බව බුදුරදුන් දේශනා කළා. බුදුවරුන්ගේ නාම ගෝත්‍ර අද දක්වා පවතින්නේ ඒ සද්පුරුෂධර්ම බලවේගය නිසයි. පුරාණ ආචාර්යවරුන්ගේ නාම ගෝත්‍ර කල් ඉකුත් වීමත් සමඟ නොඇසීයන්නේ ඒ සද්පුරුෂ බලවේගය නැති නිසයි.

යොච වස්සසතං ජීවෙ – දුස්සීිලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො – සීලවන්තස්ස ඣායිනො

සීලයෙන් තොරව දුස්සීලව ගෙවන වසර සියයක ජීවිතයට වඩා සිල්වත්ව සමාධියෙන් යුත් එක දවසක ජීවිතය ශ්‍රේෂ්ඨ බව බුදුරදුන් දේශනා කළා.

3. කිංසු උප්පථොති වුච්චති –කුමක් නොමඟ යයි කියනු ලැබේද?
රාගො උප්පථොති වුච්චති – රාගය නොමඟ යයි කියනු ලැබේ.

රූපාදි අරමුණුවල ඇලීම රාගයයි. පස්කම් සැපතෙහි ඇලී ගැලී වෙලී පැටලී කටයුතු කිරීම හොඳ මඟක් නොවේ.එය වැරැදි මඟකි. ඒවායෙහි නොඇලී විරාගීව කටයුතු කිරීම හරිමඟයි. සිදුරු නැති ආරක්‍ෂිත මඟයි.

යථාගාරං දුච්ඡන්නං – වුට්ඨී සමති විජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමති විජ්ක්‍ධති

මනාසේ සෙවෙණි නොකළ ගෙය වැසිදියෙන් සිදුරු කිරීමට සමත්වේද, එමෙන් මනා කොට නොවැඩූ සිත රාගයෙන් සිදුරුකිරීමට සමත් වෙයි. රූපරාග, ශබ්දරාග, ගන්ධරාග, රසරාග, ස්පර්ශ රාග නිතර ජීවිතය නොමඟට අදියි. එයින් ඇතිවන ගිනි නිවීමට සාගර ජලයත් මදිවෙයි. එම රාගාදි ගිනි නිසා ඇවිළගත් ජීවිත තුළින් සිදුවූ අපරාධ නිමක් නැහැ. දවසින් දවස එම ගිනිදැල් වැඩිවෙනවා. එබැවින් ඒ මඟෙන් ඉවත්වීමම එය නිවීමට ඇති හොඳම ක්‍රමයයි.

4. කිංසු ධම්මානං පරිපෙන්‍ථා – දහමට උවදුර කුමක්ද?
ලොභො ධම්මානං පරිපන්ථෝ– ලෝභය දහමට උවදුරය

ලෝභය නම් අරමුණුවල සිත ඇලීමයි. එය වැද්දන් වඳුරන් ඇල්ලීමට භාවිත කරන වදුරුලාටුවට උපමා කරයි. ලෝභය අකුශල මූලයකි. එය සෙලවීම ලෙහෙසි නොවේ. දාන සීලාදී පින්දහම් කිරීමටත්, සමාධී පඤ්ඤා කුසල දහම් වැඩීමටත් බාධා කරන්නේ ලෝභයයි. ගුණධර්ම සංවර්ධනයේ දී ලෝභය හරහට සිටී. එවිට රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ යන අරමුණුවල ඇස් කන් ආදිය ඇලී බැඳී ගොස් මරුවසඟයට යයි. ප්‍රාණඝාත ආදි පස්පව් වලදීද ලෝභය දැඩි ලෙස අනුබල දෙයි. ලෝභයෙන් ආවේශ වූ මිනිසා ඕනෑම අපරාධයක් කරයි. මෑතක එක් පුතකු පියාගේ විශ්‍රාම වැටුප ගැනීමට තම මවත්, පියාත් නැඟණියත් වසදී මරා දැම්මේ ලෝභයෙන් ආවේශ වූ නිසාය.

ආදරය , ආශාව, තණ්හාව පේ‍්‍රමය ලෝභයේම සහෝදරයෝ ය.කොතෙක් ධර්මය දැනගත්තත් මේ ලෝභය පස්පව් අතහැරීමට අනුබල දෙන්නේ නැහැ. “ගාත්‍රානි සිථිලායන්තෙ – තෘෂෛණකො තරුණායතෙ” යන ආප්තෝපදේශයෙන්ද පැහැදිලි කරන්නේ එයයි. අතපය පණ නැතිව වයසට ගියත් එකම තෘෂ්ණාව තරුණයෙක් මෙන් නැඟී සිටින බවයි. ලෝභයට තණ්හාවට වයසක් නැහැ. සමහර අයට වයසට යන්න යන්න තණ්හාව ආවේශ වූවාක් මෙන් තරුණයෙක්ව නැඟී සිටිනවා. ඒ වේලාවට අප කියන්නෙ අනේ! මෙහෙම තණ්හාවක් කියලයි. එබැවින් දහමට මේ හා සමාන උවදුරක් තවත් නැහැ කියා,දේශනාවේ සඳහන් වෙනවා. එය තේරුම් ගෙන මේ උවදුර නැති කර ගත යුතුයි.

5. කිංසු රත්තින්දිවක්ඛයො – රෑ දාවල් දෙකෙහි කුමක් ගෙවේද?
වයො රත්තින්දිවක්ඛයො – වයස රෑ දාවල් දෙකෙහි ගෙවේ.

අපේ වයස ප්‍රථම, මධ්‍යම, පශ්චිම යයි කොටස් තුනකට බෙදනව.බාල කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් ඒ කොටස් ගෙවී යනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු සියයක් ජීවත්වන කෙනෙකුගේ කාලය දසක දහයකට බෙදා ගෙවී යන අයුරු පැහැදිලි කළා.

මන්දා ඛිඩ්ඪා තථා වන්නා – බලා පඤ්ඤච හායනා
පබ්භාරාච පවංකාච – මොමුහා සයනාදස

මේ අනුව මන්ද දසකයේදී ළදරුවෙක් ලෙස අනුන්ගේ රැකවරණය ලැබ පෝෂණවීමත්, ක්‍රීඩා දසකයේදී අධ්‍යාපනයෙන් හා සෙල්ලමින් කාලය ගෙවීමත්, වර්ණ දසකයේදී පුළුවන් තරම් හැඩ වැඩවීමත්, බල දසකයේදී ශරීර ශක්තිය පෙන්වීමත්, ප්‍රඥා දසකයේදී නුවණින් විමසා කටයුතු කිරීමත්, හායන දසකයේදි පරිහානි ලක්‍ෂණ පහළවීමත්, පබ්භාර දසකයේදී කොන්ද නැමීම කුදුවීම ආරම්භ වීමත්, පවංක දසකයේදී වෙව්ලීම් පණ නැතිවීම් හට ගැනීමත්, මෝමුහ දසකයේදි සිහිමුළාවීම් මතක නැතිවීම් වැඩිවීමත්, සයන දසකයේදී නිදි යහනට වැටීමත් සලකුණු කරමින් ගෙවීයන පිළිවෙළ පෙන්වා දී තිබෙනවා. මෙසේ වයසට යෑම හැම ජීවිතයකටම පොදු ලක්‍ෂණයකි.

උපන් මොහොතේ පටන් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා අපේ වයස ගෙවීයයි. මේ මොහොත මේ තත්පරය මේ විනාඩිය,මේ පැය,මේ දවස නැවත ලබාගත නොහැකියි. අප්‍රාණික දෙයට වඩා ප්‍රාණය ඇති දේ ගෙවීයෑම හොඳින්ම දැකිය හැකියි. වාහනයක් පාවිච්චි කරන තරමට එහි කොටස් ගෙවී යයි. ගෙවෙන කොටස් වෙනුවට අලුතෙන් කොටස් සවිකොට පැවැත්ම වැඩිකළ හැකියි. පාවිච්චිය අඩුවන තරමට ගෙවීමත් අඩුවෙයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යයි. එහෙත් පණ ඇති දෙය පාවිච්චි කළත් නොකළත් ගෙවීයයි. අලුත් කෑලි දමා අලුත්වැඩියා කොට කාලය දිගුකිරීමටත් අපහසුයි. පණ ඇති සියලු සත්වයාත් ගස්වැල් ආදියත් මේ ලක්‍ෂණයට වහා යටත් වෙනවා. ඒ නිසා රෑ දාවල දෙකෙහි අපේ වයස ගෙවී යෑම වළකාලිය නොහැකියි.

6. කිං මලං බ්‍රහ්මචරියස්ස – බ්‍රහ්මචර්යාවට කිලුට කුමක්ද?
ඉත්ථි මලං බ්‍රහ්මචරියස්ස – ස්ත්‍රිය බඹසරට කිලුටය.

ඉත්ථි යනු ‘පුරුෂයන් පතන්නී’ යන අර්ථයයි. එමෙන්ම ‘පුරුෂයන් විසින් පතනු ලබන්නී ‘යන අර්ථයෙන්ද ඉත්ථි යයි කියනවා. එය ස්ත්‍රියගේත් පුරුෂයාගේත් අයිතියක්. බඹසර හැසිරීම යනු යහපත් හැසිරීමයි. බ්‍රහ්ම හැසිරීමයි. බඹ ලොව කාන්තාවන් නැහැ. ඒ නිසා බ්‍රහ්මයන්ට සිව්බඹ විහරණයෙන් හොඳ හැසිරීම ආරක්‍ෂා කරගත හැකියි. මිනිස් ලොව එසේ නොවේ. එහි ශ්‍රේෂ්ඨ හැසිරීමට බාධාව ඇත. යමෙක් ස්ත්‍රියක් නොපතා කටයුතු කිරීම බඹසර වාසයයි. ස්ත්‍රියක් පුරුෂයෙක් නොපතා කටයුතු කිරීමෙන් එය ඇයට බඹසර වාසයක් වෙනවා.

සාසන බ්‍රහ්මචර්යාවේ පළමුවන කිලුට ඇති වූයේ විනයේ ඇති ආකාරයට සුදින්න හිමියන්ගේ පුරාණ භාර්යාව නිසායි. කාට හෝ හොරෙන් කවුරු හෝ කෙනෙක් බඹසර කඩාද දෙවියන් ඒ පිළිබඳ විමසිලිමත් . ඒ නිසා බඹසර කැඩීම ලොවට රහසක් නොවේ. සාසනයේ පළමු ශික්‍ෂාපදය මෛථුන ධර්ම පාරාජිකාවයි. එය බ්‍රහ්මචර්යාව කිලිටි කිරීමේ පළමු පියවරයි. යමෙක් බ්‍රහ්මචර්යාව කිලිටි කරගෙන ඇද්ද බොහෝ දෙනෙක් එය අපවිත්‍ර කරගත්තේ ස්ත්‍රියක නිසායි. නාරිලතා පුෂ්පයට වශී වූ තවුසන් පවා බඹසර බිඳගත් බව පුරාවෘත්ත හෙළි කරනවා. ස්ත්‍රියට ලොබ බඳින කවරෙක් හෝ මෙය බමුණු මතයක් යයි බැහැර කරන්නේ නම් එය බුද්ධ වචනයට විරුද්ධ කතාවක්. එසේ කළ හැකි ප්‍රඥාවන්තයකු නැහැ. කළ හැක්කේ අනුවණයකුට පමණි.

7.කිං සිනාන මනොදකං – දිය රහිත නෑම කුමක්ද?
තපොච බ්‍රහ්ම චරියඤ්ච – තපසද බ්‍රහ්මචර්යාවද දියරහිත නෑමයි

ජලය ජීවිතයට අවශ්‍යම සම්පතක්. බීමට නෑමට, සේදීමට භෝග වගාවට ජලය නැතිවම බැහැ. ආහාර නැතිව දින කිහිපයක් සිටියත් ජලය නැතිව සිටිය නොහැකියි.ජලය නා ගැනීමෙන් ලැබෙන කායික මානසික සුවය අපමණයි. ඇතැම් ආගම්වල ආකාරයට ජලයෙන් පව් සේදීම කරනවා.

බුදුදහම එය ප්‍රතික්‍ෂේප කරමින් පව් හා කෙලෙස් සෝදා හැරිය හැක්කේ දිය නැති තපස හා බඹසර හැසිරීමෙන් බව පෙන්වා දෙනවා. ඒ නිසා තපසයි, බඹසරයි දිය නැති නෑමක්. එහි බැස නෑමෙන් ගත සිත දෙකම පවිත්‍රව විමුක්තියෙන් බැබළිය හැකියි. ඔබත් ඒ දිය නැති නෑමෙන් පිරිසුදු වන්න.

8. කති ලොකස්මිං ඡීද්දානි යත්‍ථ චිත්තං න තිට්ඨති – යම් තැනක සිත නොසිටී නම් ලොව එබඳු සිදුරු කීයද?
ඡලොකස්මිං ඡිද්දානි යත්‍ථ චිත්තං න තිට්ඨති – සිත නොසිටින ලොව සිදුරු සයකි.

අනුපාදිසේස නිර්වාණයත්, නිවන් සැප විඳින නිරෝධ සමාපත්තියත් සිත නොපවතින තැන් ලෙස ධර්මයෙහි පෙන්වා දෙයි. අනෙක් ඕනෑම අවස්ථාවක සිතේ පැවැත්ම බලපවත්වයි. කය නැතිව සිටියත් සිත නැතිව සිටිය නොහැකියි. පැවතිය නොහැකියි. කය නැතිව සිත පැවතුන අවස්ථා නවීන විද්‍යාව තුළද සොයාගෙන තිබෙනවා. මෙහිදී දක්වන්නේ සිත තිබුණත් නැති ගානට කටයුතු කරන අය හා අවස්ථා පිළිබඳයි. එබඳු සිත නොසිටින සිදුරු හයක් බුදුරජාණන් වහන්සේ එම දේවපුත්‍රයාට පෙන්වාදී තිබෙනවා.

1. ආලස්සං- අලස බවයි. කම්මැලිකමයි. අලසයා සිටි තැන පඹයෙක් මෙන් සිටගෙන සිටියි. වාඩි වූ තැන වාඩිවී සිටියි. දිගාවූ තැන දිගාවී සිටියි. හරියට සිතක් නැත්තකු ලෙසයි.

2. පමාදො – ප්‍රමාදයයි. අසනීප කියා ප්‍රමාදයි. කෑ ගමන් කියා ප්‍රමාදයි. කෙලෙස් වසඟ වී ප්‍රමාදයි. එය සිත නොපවතින සිදුරක් .

3. අනුට්ඨානං – වීර්යය නැති බවයි. වැඩ කරන විට වැඩ කිරීමේ වීර්ය හුඟාක් දුර්වලයි. වැඩ අවසන් නැහැ. හැම වැඩකම භාගයයි.

4. අසඤ්ඤමො- සංයමයක් නැති බවයි. අචාර සමාචාර නැතිකමයි. අසංවර කමයි.

5. නිද්දා –නින්ද බහුල බවයි.යන ගමන් නිදයි. සිටගෙනත් නිදයි. හිඳගෙනත් සර්පයෙක් මෙන් නිදයි. සිතක් නැති ලෙස නිදයි.

6. තන්දි – ආගන්තුක අලස බවින් යුක්තයි. හරි බඩ ගිනියි, හරි පිපාසයි, හරි අමාරුයි ආදි වශයෙන් අලස ගති පෙන්වයි.

මේ සිදුරු සය සර්ව ප්‍රකාරයෙන්ම දුරු කළ යුතුයි. සිදුරු සයත් ඇති කූඩයක් වගෙයි. දමන හැම දෙයක්ම හැලෙනවා. මේ සිදුරු සයක් ඒ වගෙයි. ඇතුළත කිසි ගුණදහමක් ඉතිරිවන්නේ නැහැ.ජීවිතයක මේ සිදුරු සය තිබුණොත් ඔහු සිතක් නැති ඇවිදින මළ කඳක් වගෙයි. ඔහු ගෙදරට බරක්, සමාජයට බරක්,රටට බරක්, තමා තමාටම බරක්. ඒ නිසා දියුණුව පතන ඉදිරිය බලන විමුක්තිය සොයන පුද්ගලයා සිතක් පැවැත්වීමට උදව් නොදෙන මේ සිදුරු සයෙන් ඉවත් විය යුතු වෙනවා. ඒවා දුරුකොට සිතක් ඇති අයකු ලෙස අර්ථවත්ව වැඩ කළ යුතුයි.

ලැබූ මිනිස්කමට වටිනාකමක් දෙන්න. දිරන කය පසුපස දුවන්නේ නැතිව තණ්හාවට තරුණ වෙන්න නොදී, හුඟක් වැඩ කොට විනාශයේ සිදුරු වසා දමන්න. නොදිරන නමක් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න.

තෙරුවන් සරණයි!

ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

~ කොසොල් රජුට ඇසුණ අපායේ හඬ ~ එකල ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැ…

~ කොසොල් රජුට ඇසුණ අපායේ හඬ ~

එකල ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත්නුවර ඡේතවනාරාමයේ ය. උන්වහන්සේ තම ජීවිතයෙන් වැඩි කාලයක්‌ ගත කරන්න යෙදුනේ මේ පිංබිමේය. ඡේතවනාරාම පුන්‍ය භූමියේදී නිවන් පසක්‌ කර ගත්තෝ නම් බොහෝ ය. එය ගණනින් නම් කිව නොහැකිම ය. අද මා ඔබට කියාදීමට බලාපොරොත්තු වන්නේ ඡේතවන පිං බිමේදී බුදුපියාණන් වහන්සේ ඔබ අප කාටත් දේශනා කළ උතුම් ධර්ම කාරණාවක්‌ පිළිබඳවයි. එනම් අනුවණයා බොහො අකුසල් කොට සසර දිග්ගසා ගන්නා ආකාරයයි. මේ ධර්ම කාරණය ඔබ අප කාටත් සසරේ තරම තේරුම් ගැනීමට මොනවට උපකාරී වේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොසොල් මහ රජතුමා උදෙසාය. එතුමා කම් සැපයට ගිජු පුද්ගලයකු බව අප සියල්ලෝම දන්නා කාරණයකි.

කොසොල් මහ රජතුමා යනු එවකට එනම් බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළ වු කාලයේ භාරතයේ සිටි ඉතා ප්‍රබල රජවරුන් සිව්දෙනාගෙන් එක්‌ අයෙකි. බිම්බිසාර රජු, වත්ස රජු, චන්ඩපඡ්ජෝත රජු අනෙක්‌ බලසම්පන්න රජවරුන් තිදෙනාය. කොසොල් රජු ඉතා බලසම්පන්න රජෙකි. නමුත් එතුමා කම් සැපයට දැකුවුයේ මහ පුදුමාකාර ලොල් බවකි. එතුමා නිතරම උත්සාහ කළේ රූමත් කාන්තාවන්ගෙන් තම අන්තඃපුරය පුරවා ගැනීමටය.

භාරතීය රජවරුන්ගේ පෙර සිට පැවති සිරිතක්‌ විය. එනම් සියලු ආභරණයෙන් සැරසී පිරිවර ජනයා සමඟ තම නුවර සංචාරය කිරීමයි. රජු නුවර පැදකුණු කිරීමට පෙර ඒ බව අණබෙරයක්‌ මගින් රට වැසියන්ට දැනුම් දෙයි. රට වැසියා ඉතා ප්‍රීතියෙන් තම රජුට ආචාර කිරීමට නුවර සරසති. මග දෙපස සිට රාජශ්‍රීය බලමින් සතුටු වෙති.

කොසොල් මහ රජතුමන් ද මෙම චාරිත්‍රය අකුරටම ඉටු කළ රජෙකි. එතුමා නුවර පැදකුණු කරන්නේ විශේෂයෙන්ම එතුමාගේ නෙත රූමක්‌ කාන්තාවන් කෙරෙහි යොමු වූයේ රජුටත් නොදැනීමය. රූමත් කාන්තාවන්ගේ බැල්මෙන් වශී වන රජු ඊළඟට කරන්නේ එම කාන්තාවන් විවාහකද අවිවාහක ද කියා සොයා බැලීමයි. මේ සඳහාම විශේෂිත වූ ඇමැතිවරුන් සේම රාජ පුරුෂයන් ද රජුට විය. රූමත් යුවතියෝ අවිවාහක නම් රජ අණින් ඇය අන්තඃපුරයට කැඳවයි. රූමත් යුවතිය විවාහක නම් රජු කරන්නේ කුමන හෝ චෝදනාවකින් ඇගේ ස්‌වාමියා සිරගත කොට මරා දමා ඇය අන්තඃපුරයට කැඳවා ගැනීමයි. මේ දිනපතා බුදු බණ ඇසීමට දෙව්රමට ගිය රජුගේ අභ්‍යන්තර ජීවිතයේ ස්‌වභාවයයි.

කාලයක්‌ ගත විය. දිනක්‌ කොසොල් මහ රජු සිව් සැට අබරණින් සැරසී නුවර පැදකුණු කරයි. එවේලේ එක්‌තරා තැනක උඩුමහලේ රූමත් යුවතියක්‌ රජුගේ නෙත ගැටුනි. සිත චංචල විය. රජු රාගයෙන් රත්විය.රජු බලාගත් අතම ඇය දෙස බලාගෙන සිටියි. දැන් ඇය මාලිගයට කැඳවා ගන්නා තුරු මහ රජුට නිවනක්‌ නම් නැත. මේ කාරණය දත් ඇමැතිවරුන් පළමුව කළේ මේ යුවතිය පිළිබඳ සොයා බැලීමයි. එය ඉතා රහසේම සිදුවිය. සියලු තොරතුරු දත් චරපුරුෂයන් පැවසුවේ මේ යුවතිය විවාහක ගුණවත් කාන්තාවක්‌ බවත් ඇගේ සැමියා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවත් ඔහු නිරතුරු බුදුරදුන් දක්‌නට යන බවත් ය.

නමුත් රජුගේ සිත වෙනස්‌ කළ නොහැකිමය. රාග ෙච්තනාව ගිනි ජාලාවක්‌ සේ දිවා රෑ රජු දවයි. දැන් රජු හා සල්ලාල ඇමැතිවරුන් සැලසුම් කරන්නේ මේ යුවතියගේ ස්‌වාමියා කුමන හෝ චෝදනාවකට වැරදිකරු කරන්නේ කෙසේද කියා ය. මේ අනුව රජු හා ඇමැතිවරුන් අපූරු සැලසුමක්‌ දියත් කළෝය. ඒ අනුව රූමත් යුවතියගේ ස්‌වාමියාට රජ වාසලට එන ලෙස අණ ලැබිණි. බියට පත් මේ අසරණ මිනිසා එවේලේම රජ වාසලට පැමිණියේය. රජ ඔහුට පසුදින සවස රජු නහන වේලාවට පෙර කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන එන ලෙස අණ කළේය. කඩුපුල් මල් හා අරුණවන් මැටි ඇත්තේ මේ ලෝකයේ නොව නාග ලොවෙහි ය. රජු මේ සැරසෙන්නේ කෙසේ හෝ මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ අයිති කර ගැනීමටයි. නිවසට ගිය මේ අසරණ මිනිසා මේ සියලු පුවත් තම බිරිඳට සැළකොට පසුදින බත් මුලක්‌ ද ගෙන කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන ඒම සඳහා පිටත් විය. ඔහු නුවරින් පිටව ගිය පසු රජු අණ කළේ වාසල් දොරටුව වේලාසනින් වසා දමන ලෙසයි.

මේ අසරණ මිනිසා මේ සොයා යන්නේ මෙලොව ඇති දෙයක්‌ නොවේ. රාජ උදහසට පත්ව මිය යැමට සිදුවන බව ඔහු හො¹කාරව දනියි. කරන්නේ කුමක්‌ද? බොහෝ දුකට පත් මේ මිනිසා අතරමඟදී තම බත්මුලෙන් කොටසක්‌ මගියකුට දන් දෙන ලදී. ගං ඉවුරට ගිය මොහු ඉතිරි කොටස අනුභව කොට ගඟ මසුන්ට බත් දෙන ලදී.

ඉන් පසු මොහු මෙසේ ප්‍රාර්ථනාවක්‌ කළේය. “මේ ගඟ ඇසුරුව වසන දෙවියනි, නයිනි, මා අතරමඟදී මඟියෙකුට බත් දුනිමි. දැන් ගඟ මසුන්ට බත් දුනිමි. මේ පින මම ඔබට අනුමෝදන් කරමි. මා හට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබා දී මා ආරක්‍ෂා කරනු මැනවි.” පිංවත්නි මේ ප්‍රාර්ථනාව ඇසුණු ඒ ගඟ නා රජු කරුණාවෙන් යුක්‌ත වූයේ මහලු මිනිසකුගේ වේෂයෙන් පැමිණ මේ මිනිසාට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබාදුනි. සතුටින් පිනා ගිය මොහු නුවරට යන්නේ වාසල් දොර වසා ඇති බැවින් කඩුපුල් මල් හා අරුණවන් මැටි තාප්පයමත තබා දෙව්රම් වෙහෙරට ගොස්‌ රැය පහන් කළේය.

රජු එදා නින්දට ගියේ ඉමහත් සතුටිනි. හෙට උදැසන රූමත් යුවතියගේ ස්‌වාමියා මරා දමා ඇය මාලිගාවට ගෙන ආ හැක. ඇයගේ පහස විඳ සැනසිය හැක. ඇයගේ ආදරය විඳ ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැක. දැන් රජු උදැසන වනතුරු බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි. රාගය කොතෙක්‌ ද යත් රජුට නින්ද අමතක විය. රජු දැන් නොනිදා රැය පහන් කරයි. මාලිගාවේ අනෙක්‌ සියල්ලෝම නිදිය. දැන් මැදියම් රැය උදාවිය.

දැන් සිදුවන්නේ කුමක්‌ද? එක්‌වරම මහ හඬක්‌ නැගුණි. මාලිගාව දෙදරා ගියේය. ඒ හඬ කන් බිහිරි කරවන තරම් විය. ඒ ශබ්දයෙන් කියවුණේ දු- ස- න – සෝ යන ශබ්දයයි. දු-ස-න-සෝ යන ශබ්දයෙහි තේරුම කුමක්‌ද? රජු මහත් සේ බියට පත්විය. ගත දහඩියෙන් තෙත් විය. වෙව්ලන්නට විය. කිසිත් කර කියා ගත හැක්‌කක්‌ නොවීය. රජු ගල් පිළිමයක්‌ සේ දැස්‌ දල්වා රැය පහන් කළේය. උදැසන අවදි වූ රජු සැනකින් දෙව්රමට දිව ගියේය. ලොව්තුරු බුදුරදුන් හමුවට ගිය මහ රජු රාත්‍රි කාලයේ තමාට ඇසුණු බියකරු හඬවල් හතර පිළිබඳ දැන්වීය. මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ රජුට මෙසේ පැවැසීය.

“මහරජ මේ හඬවල් සතර නිසා ඔබට වන හානියක්‌ නැත. මේ පෙර ආත්මයක කාමයේ වරදවා හැසිරුණු සිටු කුමාරවරුන් සිව්දෙනෙක්‌ ලෝකුඹු නරකයේ දුක්‌ විඳින ආකාරයයි. ඔබට ඇසුණේ ඔවුන්ගේ දුක පැවසීමට උත්සාහ ගන්නා ගාථාවන්ගේ පළමු අක්‍ෂර හතරයි. ඉතිරි කොටස කියා පෑමට සූදානම් වන විටම ඔවුන් ලෝ දිය සැලියෙහි ගිලී යයි” මෙසේ පැවසූ මාගේ බුදුපියාණන් වහන්සේ අකුසල කර්ම කොට නිරයේ දුක්‌ විඳින කුමාරවරුන්ගේ දුක කියා පෑමට උත්සාහ ගන්නා ගාථාවන් මෙසේ වදාළහ.

දුඡ්ජිවිතං අජීවිම්හ යේ සන්තෙන දදම්හසේ – විඡ්ජමානේසු හොගෙසු දීපං නා කම්ම අත්තනො (අපි දන් නුදුන්නෙමු, දුසිරිතෙහි හැසිරී පවිටු ජීවිතයක්‌ ගත කළෙමු.)

සට්‌ඨදීං වස්‌ස සහස්‌සානි පරිපුණ්‌ණානි සබ්බසෝ – නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්‌සති (අපි සැට දහසක්‌ නිරයේ දුක්‌ විඳින්නෙමු. මෙහි කෙළවර නම් කවදා ද?)

නත්ථි අන්තෝ කුතෝ අන්තෝන අන්තෝ පති දිස්‌සති – තදා හි පකතං පාපං මම තුය්හං මාරිස (කරන ලද අකුසල් බොහෝ හෙයින් දුකෙහි කෙළවරක්‌ නොමැත.)

සෝහි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්දාන මානුසිං – වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං (මම මේ නිරයෙන් නික්‌මුණහොත් සිල්වත් වෙමි. බොහෝ කුසල් කරමි. කුසලයේ අනුහස්‌ කියමි.)

මහරජ ඔබට මේ ඇසුනේ මෙම ගාථාවන්ගේ පළමු අකුරු හතරයි. මේ පුවත ඇසූ කොසොල් මහ රජු මහත් සේ බියට පත් විය. තමන් කරන්නට ගිය අකුසල කර්මයේ තරම ඉතා හොඳින්ම රජුට තේරුම් ගියේය. රජු මේ පිළිබඳව කම්පාවට පත් විය. කිසි දිනෙක කාමයෙහි වරදවා නො හැසිරීමට රජු අදිටන් කර ගත්හ. ඉන් පසු රජු කිසි දිනෙක රූමත් යුවතියන් පසුපස ගියේ නැත.

මේ සිදුවීම අලලා මාගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළේ “දීඝ ජාගරතෝ රත්තී – නිදි වරන්නාට රැය දිග බව ද, දීඝං සන්තස්‌ස යෝජනං – ගමන් වෙහෙස ඇත්තාට යොදුන දුර බවද, දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ – සද්ධර්මය පිළිනොපදින්නා වූ අනුවණයාට සසර දිග බවයි. බලන්න මේ ධර්ම දේශනාව මොන තරම් නම් වැදගත්ද කියා.

මේ ධර්ම දේශනාව තුළින් අප අපගේ ජීවිතයේ ඇති අඩුපාඩු හොඳින් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීමට මහන්සි විය යුතු අතර උතුම් බුදු බණ අපගේ ජීවිතයට සම්බන්ධ කොට ගෙන ජීවත් වීමට නිතරම උත්සාහවන්ත විය යුතුය. සසර ඉතා කටුකය. භයංකරය. එය අප නොපෙනෙන ඈතකට ගෙන යන මහත් සැඩ පහරකි. ඉතින් අප මේ සසරෙන් ගොඩ ආ යුතුය. බුදුරජාණන් වහන්සේ ඊට මඟ පෙන්වා ඇත. මාවත ඉතා පැහැදිලිය. අප නිවනින් සැනසීමට ඉක්‌මන් වෙමු. සැබැවින් ම ඔබටත් මටත් එය කළ හැක.

ඔබ සැමට තෙරුවන් සරණයි..
දිවයින බුදුමඟ අන්තර්ජාල කලාපය-ඕලුගම ඉන්දරතන හිමි

“(ඉධ) භික්ඛවේ භික්ඛු, සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඡඩ්ඪීතං අට්ඨිකානි පුඤ්…

“(ඉධ) භික්ඛවේ භික්ඛු, සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඡඩ්ඪීතං අට්ඨිකානි පුඤ්ජීකතානි තේරෝවස්සිකානි. සෝ ඉමමේව කායං උපසංහරති. අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ, ඒවං භාවී, ඒතං අනතීතෝ’ති.”

(මෙකරුණෙහිලා) පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරණු කැමති භික්ෂුව අමු සොහොනෙහි අත් හැර දමා ගිය මෘත ශරීරයක් දකින්නේ වේද (එනම්) අවුරුදු ගණනක් ඉක්මගිය, තැන තැන ගොඩගැසුනු ඇටගොඩකි.

ඒ භික්ෂුව ද (තමා ගේ) මේ ශරීරය ගැනත් කරුණු ගළපා බලමින් භාවනා කරයි. මේ ශරීරයත් වනාහී (මළ කුණකට අයිති ඉරණම වන) මේ ස්වභාවයට පත් වන ධර්මතාවයකි. (මළ කුණකට අයිති ඉරණම වන) මේ ස්වභාවයට (ඒකාන්තයෙන්) පත් වන්නේ ම වෙයි. (මළ කුණකට අයිති ඉරණම වන) මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේ ය.

(මහා සතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිම නිකාය 01)