Monthly Archives: June 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2x7S8nd
එක කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම සෙසු භික්ෂු මහා සංඝයා වහන්සේ පිරිවරා ගෙන දක්ෂිණාගිරියෙහි චාරිකාවක යෙදෙනවා. මෙන්න මේ කාලයෙහි වේළුකන්ටකි නම් නුවර නන්ද මාතා නම් උපාසිකාව නිවන්මග සිහිපත් කෙරෙන පාරායණ ධර්මය මිහිරි නාදයෙන් ශබ්ද නගා ප්‍රකාශ කරමින් සිටියා. මේ වෙලාවේ වෛශ්‍රවණ මහරජතුමා කිසියම් කරුණක් නිමිති කරගෙන උතුරු දිශාවෙහි සිට දකුණූ දිශාවට ගමන් කරමින් සිටියා. නන්දමාතාගේ මේ මිහිරි හඬින් කියන පාරායණ ධර්මයට සවන් දුන්නා. හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. නිශ්ශබ්දව අසාගෙන සිටියා.මේ කියමන අවසන් වුණාට පස්සේ වෛශ්‍රවණ මහරජ සාධූකාරයක් දුන්නා. “නැඟණියනි, සාධු, නැගණියනි, සාධු” කියා ඒ කියමන් පිළිබඳ තම සතුට ප්‍රකාශ කළා. “

පින්වතාණෙනි, ඔබ කවුද ? කියා එක්වර ම නන්ද මාතාව මේ හඬ පැමිණි දිශාව දෙස බලා ප්‍රශ්න කළා. “නැගණියනි, මම ඔබේ සහෝදර වෙසමුණි නම් මහරජුයි” පිළිතුරක් එදෙසින් ලැබුණා. ඒ අවස්ථාවේදි මෙම නන්දමාතාව කියනවා වෙසමුණී මහරජුනි, ඔබ එපමණක් ඒ ධර්මය ගැන සතුටු වෙනවා. නම් එය මගෙන් ඔබට ලැබුණූ තෑග්ගක් කියා සිතා ගන්න යැයි ප්‍රකාශ කළා. ඒ වෙලාවෙහි වෛශ්‍රවණ මහරජු ප්‍රකාශ කරනවා. “මම එය ඉතා ශ්‍රේෂ්ඨ තෑග්ගක් ලෙස බාර ගන්නවා“ කියලා. ඒ අවස්ථාවේ වෛශ්‍රවණ මහරජු ප්‍රකාශ කරනවා. හෙට හීල් දානයට නොගෙන ම සැරියුත් හා මුගලන් යන මේ මහරහතන් වහන්සේ දෙනම භික්ෂූ මහා සංඝයා වහන්සේ පිරිවරා ගෙන වේළුකණ්ටකී නම් ඔබ ජීවත් වන මේ නගරයට වඩිනවා. ඒ වෙලාවේදි එම මහා සංඝරත්නයට උදේ හීල් දානය පිළිගන්වලා මට ඒ පින අනුමෝදන් කරනවා නම් එය මට ඔබෙන් ලැබුණූ තවත් මහත් තෑග්ගක් වෙනවා’ කියලා පිළිතුරු දුන්නා. මේ ගැන මහත් සතුටට පත්වුණූ නන්දමාතාව පසුවදා පාන්දර සිටම මේ දානය බොහොම වෙහෙස මහන්සි වී සතුටින් සූදානම් කළා. ටික වේලාවකින් වෛශ්‍රවණ මහරජු කියපු ආකාරයෙන්ම සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනම සෙසු භික්ෂූන් වහන්සේ ද පිරිවරා ගෙන උදේ හීල් දානය නොවළඳාම වේළුකණ්ටකි නුවරට වැඩියා. ඒ අවස්ථාවෙහි නන්දමාතාව ඒ බව දැනගෙන එක් පුරුෂයෙකුට කථාකරලා කීවා වේළුකණ්ටකියට ගිහින් සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනම හමු වි “නන්දමාතාවගේ නිවසෙහි හීල් දානය පිළියෙළ කරලා තියෙනවා. ඒ නිසා ඒ නිවසට වැඩමවන්න “කියා. එවිට ඔහු “හොඳයි මම ඒ කාරණය උන්වහන්සේලාට දන්වන්නම්” කියා පිටත් වෙලා ගොස් එම ආරාධනාව නන්ද මාතාව වෙනුවෙන් සිදු කළා.

ආරාධනාව පිළිගත් උන්වහන්සේ දෙනම ප්‍රධාන භික්ෂු මහාසංඝයා වහන්සේලා හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙන නන්දමාතාවගේ නිවසට වැඩම කළා. ඇය විසින් සකස් කොට පනවා තිබුණූ අසුන්වල වැඩ සිටියා. දානය අතිශය ප්‍රණීත ලෙස පිළිගැන්වූවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂුන් වහන්සේලා දානය වළඳා අවසාන වූ පසුව නන්ද මාතාව උන්වහන්සේලා දෙනම සමීපයට ගොස් පසෙකට වී වාඩි වූවා. එසේ වාඩි වී සිටි නන්ද මාතාව අමතා සැරියුත් මහරහතන් වහන්සේ ඇගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “නන්ද මාතාවෙනි, ඔබට භික්ෂූ මහාසංඝයා වහන්සේ මේ ආකාරයෙන් වේළුකණ්ටකියට වඩින බව කීවේ කවුරුද? කියා ඊට පිළිතුරු දෙන නන්දමාතාව කියා සිටියා. “ස්වාමීනි මේ බව මට තව කල්වෙලා ඇතිව දැනුම් දුන්නේ වෙන කිසිවෙකු නොව වෛශ්‍රවණ නම් මහරජුය. ඔහු මටය කියා සිටියා ඔබ වහන්සේලා මේ නුවරට අහවල් දවසේ හීල් දානය නොවළඳාම මේ වේළුකණ්ටකියට වඩිනවා. ඒ අවස්ථාවේ ඔබ වහන්සේලාට දානයක් පිරිනමා ඒ ලබා ගන්න පින මට අනුමෝදන් කරන්න.

එය මට බරපතළ තෑග්ගක් ගෙනාවේ කියා ඉතින් ඒ අනුවයි මම මේ දානය පිළිගැන්වුවේ” කියා ඇය පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේදි සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා” පුදුමයි,ආශ්චර්යයක්, ඔබ එහෙම නම් මේ වාගේ මහත් ඍද්ධි ශක්තින් ඇති මහේශාඛ්‍ය වෙසවුණූ මහරජු සමඟ ඔබ කථාබස් කරනවාද” ඒ අවස්ථාවේදි ඊට පිළිතුරු දෙන නන්දමාතාව ප්‍රකාශ කරනවා” ස්වාමීනී එපමණක් නොවෙයි මා පිළිබඳව කිය යුතු ආශ්චර්ය අද්භූත සිදුවීම් තවත් තිබෙනවා” යනුවෙන් කියමින් එකින් එක ගෙනහැර දක්වන්නට වූවා. ස්වාමීනි මට නන්ද කියා එක පුතෙක් හිටියා. ඔහු මට හරිම ප්‍රියයි. මගේ සිත ඇද බැඳගෙන ජීවත් වුණා. රටේ රජතුමා දවසක් මොනවා හරි කරුණකට බලහත්කාරයෙන් ඔහුව පාගලා දැම්මා. ඒ මගේ දරුවා අල්ලා ගත් වේලාවෙහිවත්, හිරගෙට දාලා වධබන්ධන පමුණුවන අවස්ථාවේවත්, ජීවිතය විනාශ කරපු අවස්ථාවේවත්, ඒ විනාශ කරන වේලාවේවත්, මගේ සිතේ කිසිම විපර්සායක් වුණේ නැහැ” මෙය අසා සිටි සැරියුත් හාමුදුරුවෝ””එක්කත් මහා පුදුම ආශ්චර්යක් නේ නන්ද මාතාවෙනි”කියා කරුණු දැක්වූවා, ඊළඟට නන්ද මාතාව උත්තර දෙනවා“ ඒ පමණකුත් නොවෙයි. ස්වාමීනි, මගේ ස්වාමිපුරුෂයා කලුරිය කළේ දැනට කලකට පෙර දැන් ඔහු යක්ෂ ආත්ම භාවයක් ලබා ඉන්නවා. සමහරදාට ඔහු මා ඉදිරියේ ඉස්සර මා සමඟ ජීවත් වූ ආකාරයෙන් මට පේනවා. ඒ වුණත් මගේ සිතේ වෙනසක් ඒ නිසා වෙන්නේ නැහැ ස්වාමීනි” ඒ අවස්ථාවේත් සැරියුත් හාමුදුරුවෝ නන්ද මාතාව අමතා ඒකත් මහා පුදුම දෙයක්නේ යනුවෙන් උත්තර දුන්නා. නැවතත් නන්ද මාතාව තවත් එවැනි සිදුවීමක් සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කළා.”මා ඉතා ළාබාල අවධියේ මේ සැමියා මා විවාහ කර ගත්තා ඒත් ස්වාමීනි, කිසිදු දවසක කිසිදු අවස්ථාවක ඒ මගේ සැමියාගෙන් තොරව වෙනත් පුරුෂයෙකු දිහා සිතින් වත් සිතා බැලුවේ නැහැ. ශරීරය පිළිබඳ කියන්ට ම දෙයක් නැහැනේ ස්වාමීනි, යනුවෙන් ඇය විසින් ප්‍රකාශ කරන කල්හි සැරියුත් හාමුදුරුවෝ එම කරුණෙහි ඇති අසිරිමත් පුදුම සහගත බව ප්‍රකාශ කළා, නැවතත් නන්ද මාතාව ප්‍රකාශ කළේ “ස්වාමීනි, තවත් කරුණක් කියන්නට තිබෙනවා. මම යම් දිනෙක යම් අවස්ථාවක උපාසිකාවක් බවට පත් වෙන බවට ප්‍රතිඥාවක් දුන්නාද? එදා සිට මේ වනතුරු කිසිදු ශික්ෂාපදයක් කැඩුවේ නැහැ’ යනුවෙන් ප්‍රකාශ කළා. තවත් අසිරිමත් පුදුම එළවන කරුණක් ඇති බව ප්‍රකාශ කරමින් තමන් මේ බුද්ධ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්වී අකුසල කර්මයන්ගෙන් දුරු වී යම් පමණ කැමැති වේලාවක් සිවුවෙනි ධ්‍යානය දක්වා වූ ධ්‍යානවලට සමවැදි කාලය ගත කිරීමේ ශක්තිය ඇතිව ජීවත් වන බවද ඇය සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළාය.මේ සියල්ලටම හේතුවන සත්‍ය තත්වය කුමක්ද යන්නට කරුණූ දක්වන ඇය ප්‍රකාශ කරනවා “ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් බඳු වූ ඔරම්භාගිය සංයෝජන ධර්ම පහක්වේද, ඒ සියල්ල ම ස්වාමීනි කිසිවක් ඉතිරිව නොතබා මා විසින් දුරු කර ඇත” යනුවෙන් කරුණු ප්‍රකාශ කළා. මේ සියල්ල අසා සිටි සැරියුත් මහරහතන් වහන්සේ නන්ද මාතාව සමඟ මේ දැහැමි කථා සල්ලාපයෙහි යෙදී ඇය ප්‍රසාදයට පත් කර ආසනයෙන් නැගී සිට ආපසු වැඩියා.

ඇය විසින් සැරියුත් මහරහතන් වහන්සේ සමඟ අවසාන වශයෙන් කළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇය සෝවාන් ඵලයට පත් වු දැහැමි උපාසිකාවක් බවයි.

ආර්ය මාර්ගයේ පළමු පියවර වන්නේ සෝවාන්මාර්ගයට එළඹීමයි. “සෝත හා ආපන්න “ යන වචන දෙක එක්වු කල්හි සෝතාපන්න යන වචනය සකස් වේ. සෝත යනු ප්‍රවාහයයි. හෙවත් ගංගාවක ගලාගෙන ඉදිරියට යන ජල පහරයි.මේ ජලපහරට ලක් වූ අය ගමන් ගන්නා අවසානය වන්නේ මහා සාගරය නමැති නිර්වාණයට යි. එයින් කියැවෙන්නේ සෝතාපන්න හෙවත් සෝවාන් පුද්ගලයා ආර්ය මාර්ගයට වැටුණූ අයයි. ඒ ආර්ය ශ්‍රාවකයා නැවත වෙනත් තෙරකට හෙවත් අභව්‍ය ස්ථානයකට ගොඩ වන්නේ නැහැ. අවසාන කෙලවර වන්නේ නිවනට පැමිණ වීමෙන්ය. එක්වරම නිවනට පත්වීමක් ගැන සිතීම දුෂ්කරය. ඒ නිසා බුදුදහමේ උගන්වන්නේ අනුපූර්ව ප්‍රතිපදාවකි. එය ඒ අනුව අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන් හා අනුපූර්ව ප්‍රතිපදාවෙන් අවසාන ඉලක්කය වන නිවනට ක්‍රමානුකූලව පියවර සහිතව ළඟා වෙනවා. ඊට අදාළ වන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්නා.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2WVEYEh
ධර්ම විනිශ්චය – 60

මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?

නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි. අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි. පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ “රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ – ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.

ධර්ම දානය පිනිස share කරන්න.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Rr3E6v
වෙස් වලාගත් කොටි

කඳුකරයේ ගෝත්‍රික මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට කිසිවෙක් නගරබදට ගොස් නැත. ඔවුහු භික්ෂූන් වහන්සේලා දැක නැත. මෙම කඳුකරයේ ගමෙන් හැතැක්ම 1-2 දුරින් පිහිටි වනාන්තරයේ ආචාර්ය මන් සහ භික්ෂු පිරිස වාසය කරති. ගස් යට කුඩා මැසිවල ලැගුම් ගනිති. අළුයම පිඬු පිණිස ගමට ගිය විට “ඇයි ආවේ?” යැයි අසති. දානය පිණිස පැමිණි බව ආචාර්ය මන් සැළකළහ. ඔවුන් පුදුමයෙන් බලා සිටියහ. එවිට පින්ඩපාතය යනු කුමක්දැයි ආචාර්ය මන් කියා දුන්හ. “ඔබට ඕනෑ උයපු ආහාරද? වියලි ආහාරදැයි ඇසූහ.” “උයාපු ආහාර” යැයි කී විට ඉතා ස්වල්ප ප්‍රමාණයක් පාත්‍රවලට දැමූහ. එම භික්ෂූන් දෙනම කුටියට පැමිණ එම බත් වැළඳූහ. ව්‍යංජන කිසිවක් නැත.

මුල සිටම ගෝත්‍රික මිනිස්සු ශ්‍රද්ධා බුද්ධියක් නැති බැවින් දාන මානාදිය නොදනිති. භික්ෂූන් පිළිබද සැක පහළ කරති. එදින සවස ගම්මුලාදෑනියා බම්බු ටකය නාද කර මුළු ගම එක් රැස් කළහ. ආචාර්ය මන් සහ අනිත් භික්ෂුව ගැන කථා කරමින් “යම් කිසි කොටි වර්ගයක් වෙස් වලාගෙන ඇවිත් කැලෑවේ සිටිති. කුමන ගෝත්‍රය දැයි නොදනිති. එහෙත් විශ්වාස කල නොහැකියැ’යි කීහ.”
“එම කැලයට දර පිණිස හෝ හැහැණු සහ ළමයි නො යා යුතුයි.
එම කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කල හැකිය.”
යනාදී වශයෙනි

මෙම කථාව කරන වේලාවේ ආචාර්ය මන් සමාධියට පත් වී සිටියහ. එබැවින් සියල්ල දනිති. ඇසෙති. දකිති. නමුත් ඒ පිළිබද කෝපයට පත් නොවුණි. අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, අනුකම්පාවක් මේ මිනිසුන් කෙරේ හට ගති. උන්වහන්සේ දුක් වූයේ මේ පිරිස මෙවැනි බොරු භයක්, සැකයක් නිසා බොහෝ අකුසල් රැස්කර සසර දුක් විදීම ගැනය. මැරී ගොස් කොටි යෝනියේ උපදී. පසුදා උදෑසන තම ශිෂ්‍යයාට මේ සියල්ල දැන්වූහ.

“ඊයේ හවස ගම්මුලාදෑනියා මුළු ගමම කැඳවා අපි කොටි වර්ගයක්, භික්ෂූන් මෙන් වෙස්වලාගෙන සිටිති. ඒ අය අපගේ අඩවිය අයත් කර ගනිති. අප විනාශ කරති. ” ආදී වශයෙන් කීවා. අප මේ ගම හැර ගියොත් මේ මිනිස්සු ඇත්තෙන්ම භයානක පවු සිදුකර ගනිති. ශ්‍රද්ධාව නැති බැවින් අප කෙරෙහි පව්කාර අදහස් ඇතිකරගෙන අකුසල කර්ම සිදු කරති. මේ අයට අනුකම්පාවෙන් අපි මෙහේම රැඳී සිටිමු. මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. මේ අයගේ වැරදි දෘෂ්ටිය බිඳෙනතුරු මෙහි සිටිය යුතුයි.

ගම්මු උන්වහන්සේලා සැක කලා පමණක් නොව දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් නොයෙක් අවි ආයුධ රැගෙන මුර කරති. සමහරවිට උන්වහන්සේලා සක්මන් කරනවා ඈතින් බලා සිටිති. ආචාර්ය මන් සමීපයට සමහර විට පැමිණෙති. සක්මන් කොන් ළඟ හෝ මැද්දේ බලා සිටිති. විනාදි 10-15 සක්මන් මැද සිට වටපිට බලමින් පරීක්ෂා කරති. මෙම මුර කිරීම, දැඩි පරීක්ෂාව දිනපතා සති ගණනක් කරති.

මෙම භික්ෂූන් වහන්සේලාගේ සැපදුක් ගැන ගම්මු කිසි හැඟීමක් නැත. කෑම බීම ලැබෙනවාදැයි කිසි සැළකිල්ලක් නැත. ජීවත් වෙන්නේ කෙසේදැයි නොසිතති. මෙසේ ජීවත්වීම ඉතාම දුෂ්කර විය. තම්බපු බත් පමණක් ලැබේ. ඒ වුවද සමහර විට නොලැබේ. ලැබුනු ප්‍රමාණය නොසෑහේ. වැඩිපුර ජලය බී සැනසේ.

ගල්ගුහා හෝ ගිරි හෙල් ආදී කිසි ආවරනයක් නැති බැවින් ගස් යට රෑ දවල් ගත කිරීමට සිදුවිය. වැසි කාලය ඉතා දුෂ්කරය. මුළු දවස ධාරානිපාත වැසි කඩා හැලේ. වැස්ස නැවතී ටිකක් වියලී ගිය විට වහලයකට සුදුසු තණකොළ වියලි කොළ සොයමින් ගොස් යාන්තම් නොතෙමී සිටින්නට පියස්සක් තනා ගත්හ. අවම වශයෙන් දවස ගතකිරීමට පමණක් එය සෑහේ. තද වර්ශාව මැඩපැවැත්වීමට රෙදි වලින් මැසූ වට ආවරණයක් ඇත. එහි තුල එක්කෙනෙකුට පමණක් හිඳිය හැක. එය කූඩාරමක් වැනි කූඩයට සවිකර තිබේ. මෙයින් යම්කිසි ආවරනයක් ලැබේ. නිතරම කඳු මුදුන් වලින් එන සුළඟ චන්ඩ මාරුතයකි. කූඩාරම කැඩී ඉගිලී යයි. සිවුරු පිරිකර තෙත බරිත වේ. දවල් කාලයේ නම් යම් පිළියමක් සෙවිය හැකිය. එහෙත් රාත්‍රී කාලය නම් කිය නොහැකි තරම් විනාශයකි. පුදුම අසහනයකි.

ශීත සැඩ සුළං ගස් අතු ඉති ගෙන යති. භයංකර ශබ්දය සිත කම්පා කරයි. කොයි මොහොතේ මරණයට පත්වේදැයි නොදනී. වැස්ස, සුළඟ, ශීතල, රාත්‍රිය, ඝන අඳුර ඇත. කැඩී බිදී යන සුන්බුක් කැබලි ඒ මේ අත හමායයි. කුසගින්න, පිපාසයද බලවත්ය. උෂ්න කාලයද එතරම් දුෂ්කරය. මේ සියල්ල ඉවසුවේ ගමේ මිනිස්සුන්ගේ සැක බිය දුරු කිරීමටය. බොන වතුර කේතලය පුරවා ගැනීම බොහෝ ඈත කඳු පාමුලට යා යුතුය. මේ සියලු දුක් මධ්‍යයේ ගමේ මිනිස්සු කිසි සැලකිල්ලක් නොදක්වති.

ආචාර්ය මන්ගේ භාවනා බලය හා අවබෝධය නිසා කිසිම සැලීමක් හෝ කළකිරීමක් නැත. වන මෘගයන්ගේ කෑ ගැසීම උන්වහන්සේට සතුට එලවයි. කුල්මත් කරයි. රෑ කාලයේ ගස් යට භාවනා කරන විට ළඟ පාත කොටි ගොරවන ශබ්දය ඇසේ. මේ විශාල සත්තු පුදුමයකට මෙන් ආචාර්ය මන් සමීපයට නොපැමිනෙත්. කලාතුරකින් කොටියෙක් අවුත් කූඩාරම තුළට හොම්බ දමා ඉව කර ගොදුරු සොයති. උන්වහන්සේ යන්තම් සෙලවුනු විගස ඌ කඩාපැන දුවයි. නැවත පැමිණෙන්නේ නැත.

සෑමදාම මිනිස්සු තුන් දෙනෙක් අවුත් විපරම් කරති. උන්වහන්සේ දෙස බලා පහත් හඩින් යම් යම් දේ කියති. ආචාර්ය මන් කිසි වගක් නැත. ඔවුන්ගේ සිත් දකී. ඒ බව ඔවුන් නොදනිත්. ඔවුන් කථා කරන දේ ඇසේ. දිබ්බ චක්ඛු, දිබ්බ සෝතයෙනි. යමෙක් ඒ අයගේ කථා බහ දනී යන්න නොදන්නා හෙයින් කිසි අවහිරයක් නැතිව කථා කරත්. ඒ අය යම්කිසි වැරැද්දක් සොයති. ආචාර්ය මන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ට අසීමිත කරුණාවකිනි. ගමේ වැඩි සංඛ්‍යාවක් ටික දෙනෙකුගේ දූෂිත පාලනයට ලක්වී ඇති බව උන් වහන්සේ දැන ගත්හ. මෙම අඩවියේ ආචාර්ය මන් මාස කීපයක් විසූහ. තවමත් මෙම මිනිස්සු උන්වහන්සේගේ සුළු ප්‍රමාද දෝශයක් හෝ සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ගත් වැරදි නිගමනය කෙසේ හෝ හරි නිගමනයක් ලෙස ඔප්පු කිරීමටය. එහෙත් උන්වහන්සේ පළවා හැරීමට තැත් නොකළහ. වරින් වර ඔත්තු සෙවීමේ යෙදෙති. මාස ගණනාවක් ඔවුන් වෙහෙසට පත් වුවද එකම වැරැද්දක් නොදකිති.

එක් සන්ද්‍යාවක උන්වහන්සේ සමාධි සුවයෙන් සිටින විට ගම්මු එක් රැස් වී තමන් වහන්සේ ගැන සාකච්ඡා පවත්වන බව දැනුණි. ගම්මුලාදෑනියා අනෙකුත් අයගෙන් තමන්ගේ ඔත්තු පරීක්ෂණවල ප්‍රතිඵල ඇසූහ. මේ භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කිසිම දෝෂයක් සොයා ගැනීමට නොහැකි බව ඔවුන් එක හෙලා දැන්වූහ. ඔවුන්ගේ සැකය නිසා බොහෝ නරක විපාක ඇතැයි කීවාහ.

“ඔබ එසේ කියන්නේ ඇයි”

“ඇයි යන හැමවිටම දකින්නට ලැබෙන්නේ උන්වහන්සේලා ඇස් පියාගෙන ඉඳගෙන ඉන්නවා නොසෙල්වී ගස් ගල් වගේ නැත්නම් ඇවිදිනවා ඉදිරියට-ආපසු උඩ බිම වටපිට බලන්නේ නෑ. මේ අය කොටි වර්ගයක් නම් වටපිට බලමින් කුරුමානම් අල්ලති. එවැන්නක් නැත. මෙතෙක් කල් ඒ අයගේ හැසිරීම් වරදට හසුකල නොහැකිය. එසේ වරදක් වූයේ නම් අපට අසුවෙති. අපි මෙවැනි අපරාධ හොද අයට කිරීමෙන් මහා විපත්තියකට පත්විය හැක. දැන් කරන්නට ඇත්තේ මේ අය සමඟ කථා කර අරමුණ පැහැදිලි කර ගැනීමයි.

හොඳ භික්ෂූන් වහන්සේලා සොයා ගන්න බැහැ. හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාට අපි ගෞරව දැක්විය යුතුයි. මේ භික්ෂූන් ව්‍යාජ, වංක, ද්‍රෝහී පුද්ගලයන් ලෙස චෝදනා කලයුතු නැත. මෙය විසඳීමට අප ගිහින් ප්‍රශ්න කරමු. ඇයි ඔබ ඇස්පියාගෙන ඉන්නේ? ඇයි ඔබ ඉස්සරහට ඇවිදින්නේ? ආපසු හැරී ඇවිදින්නේ? මොනවද හොයන්නේ?

මේ රැස්වීමේදී ඔවුහු යම් නියෝජිතයෙක් යවා ප්‍රශ්න කිරීමට තීරණය ගති. පසුදා උදෑසන ආචාර්ය මන් අනිත් භික්ෂුව අමතා “ගමේ මිනිස්සුන්ගේ ලොකු පරිවර්තනයක් වී ඇත. ඊයේ රාත්‍රියේ රැස්වීමක් පැවැත්වූවා අපදෙදෙනා පිළිබඳ. අද උදේ යම් නියෝජිතයෙක් එනවා අපගෙන් විමසීමට ඒ අයගේ සැක බිය දුරුකිරීම පිණිස”

ඒ අනුව එදින සවස ගමේ නියෝජිතයා පැමිණියේය. “ඔබ මොනවාද ඇස් පියාගෙන හොයන්නේ? ඒ මේ අත ඇවිදිමින්?”

ආචාර්ය මන් පිළිතුරු දෙමින් “මගේ බුද්ධො නැතිවෙලා මම බුද්ධො සොයමින් රෑ දවල් ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් සොයනවා”

“බුද්ධො යනු කුමක්ද? එය සොයාගැනීමට අපට හැකිවේද?”

බුද්ධො යනු තුන් ලෝකයේ ඉතාම වටිනා මැණික. ඒ මැණික තුළින් මුළු තුන් ලෝකයම දකිනවා. ඔබට පුළුවන්නම් එය සොයා දෙන්ට බොහොම හොඳයි. එවිට අපි සියලු දෙනාට ඉක්මණින් පහසුවෙන් බුද්ධො සොයාගත හැකියි.

“ඔබේ බුද්ධො නැතිවෙලා බොහෝ කල්ද?”

නෑ එතරම් කාලයක් නෑ ඔබ උදව් කරනවා නම් අපට ඉක්මණින් සොයාගත හැකියි.

බුද්ධො ලොකු දෙයක්ද?

ලොකුත් නැහැ පොඩිත් නැහැ. නියම ප්‍රමාණය අපට සෑහෙන. බුද්ධො සොයාගත් කෙනෙක් උතුම් පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඕනෑම දෙයක් පේනවා.

දේව ලෝකයයි අපායයි දකින්න පුළුවන්ද?

ඇත්තෙන්ම පුළුවනි නැත්නම් උතුම් පුද්ගලයෙක් වෙනවාද?

අපේ මළගිය දරුවන් දකින්නට පුළුවන්ද? අපේ මළගිය බිරිඳ දකින්නට පුළුවන්ද?

ඔබට ඕනෑ දෙයක් දකින්නට පුළුවන් බුද්ධො ලබාගත්තොත්.

එය බොහෝ ආලෝකමත්ද?

ඉරු සියක් දාහකටත් වඩා ආලෝකමත්. ඉරට බැහැ දේවලෝක අපාය ලෝක වලට ආලෝකය දෙන්ට. නමුත් උද්ධොට පුළුවන් හැම තැනම ආලෝකය යවන්ට.

අපේ ගැහැණු අයට හා දරුවන්ට පුළුවන්ද මෙය සොයන්ට?

හැමෝටම පුළුවනි. ගැහැණු මිනිස්සු බාල මහලු සැමට පුළුවනි මෙය සොයන්ට උදව් දෙන්ට.

මේ උතුම් බුද්ධොට පුළුවන්ද අප අවතාර හොල්මන් වලින් ආරක්ෂා කරන්ට?

බුද්ධො ට පුළුවන් දේ අනන්තයි. තුන් ලෝකයටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ තුන් ලෝකයේ සත්ත්වයෝ බුද්ධො වඳිනවා.පුදනවා. ගෞරව කරනවා. වෙන කිසිම කෙනෙක් බුද්ධො තරම් උසස් නැහැ. හොල්මන් අවතාර නොහෝම භයයි. බුද්ධො ට නැමිලා දිගාවෙලා වඳිනවා. හොල්මන් අවතාර භයයි බුද්ධො ව සොයන අයට පවා. සොයා ගන්ට බැරි වුණත්, සොයන අයට පවා බයයි.

මේ බුද්ධ රත්ණය මොන පාටද?

එය නොයෙක් පාටින් දිස්නෙ ගහනවා. බුද්ධො යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තියක්. දිලිසෙන ප්‍රඥා ස්කන්ධයක් එය ද්‍රව්‍යමය දෙයක් නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට පරිත්‍යාග කළ වටිනා මැණිකක් දැන් බොහෝ කාලයක් ගතවුනා නැතිවෙලා ඉතින් අප සොයනවා. කොහේ සිට වුනත් සොයන්නට පුළුවනි. අවශ්‍ය වන්නේ හිඳිමින් හෝ ඇවිඳිමින් සිතන්න. “බුද්ධො, බුද්ධො, බුද්ධො” තම සිතින් සිතන්න. තම ශරීරය දෙස සිතින් බලමින් වෙන මොන දෙයක්වත් සිතන්නේ නැතිව බුද්ධො බුද්ධො බුද්ධො සිතන්න. මේ වචන ගැන පමණක් සිතන්න. ඔබට මෙය කරන්නට පුළුවනි නම් මට ඉස්සෙල්ලා වුවත් සොයන්නට හැකිවේවි.

කෙතරම් කාලයක් හිඳිමින් ඇවිඳිමින් හොයන්නට ඕනෑද?

පටන් ගන්න විට විනාඩි 10-15 පමණ වරකට ඇති. බුද්ධො බොහෝ වේලා සොයන්ට කියන්නේ නැහැ. මුලින් පටන් ගන්න විට ඔබ වෙහෙසට පත් වී සෙවීම අත හරින නිසා. උද්‍යෝගය නැති වුනොත් සෙවීම අතපසු කරනවා. එවිට කවරදාවත් සොයන්නට බැහැ. මේ කාලය ඇති, මුල් අවස්ථාවේදී තව කීවොත් ඔබට තේරුම් ගන්ට බැහැ. එවිට “බුද්ධො” හමුවන්නේ නැහැ.

මේ සියල්ල අසා සිතේ දරාගෙන ගැමියා යන්ට ගියේය. ආචාර්ය මන් කෙරෙහි කිසි ගෞරවයක් දැක්වූයේ නැත. ඒ ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. දැන් යන්ට හොද කාලය යැයි සිතුන විට නැහිට යයි. අවසර ගැනීමක් නැත. සමුගැනීමක් නැත. ඔහු ගමට ගිය විගස බොහෝ ගැමි ජනයා දුව ඇවිත් විස්තර ඇසූහ. “ආචාර්ය මන් නිශ්චලව සිටිමින් ඇස් පියාගෙන ඉන්නේ, එහේ මෙහේ සක්මන් කරන්නේ බුද්ධො නම් වටිනා මැණික සොයා ගැනීමට. උන්වහන්සේ අපි සිතූ අන්දමට වෙස්වලාගත් කොටියෙක් නොවේ.” ඔහු උන්වහන්සේ කල සියලු විස්තර කියාදුන්හ. ගැමියෝ, මුලාදෑනියාගේ සිට කුඩා දරුවන් පවා “බුද්ධො” සොයන්නට පටන් ගත්හ. එනම් ඇසිපියාගෙන “බුද්ධො, බුද්ධො” යන වචනය භාවනා කිරීමයි.

දින කීපයකට පසු මහත් ආශ්චර්‍යමත් සිද්ධියක් විය. එක් ගැමියෙකුගේ මනසේ ධර්මය අවබෝධ විය. ආචාර්ය මන් කී පරිදි ඔහු රෑ දවල් නිරන්තරයෙන් “බුද්ධො” භාවනා කළහ. එවිට ඔහුගේ සිත සමාධිගත විය. ඔහුගේ සතුට, ප්‍රීතිය, සුඛ ඒකඟතාවය නිම් හිම් නැත. ඉන් ටික දිනකට ප්‍රථම ඔහු සිහිනයක් දුටුවේය. ආචාර්ය මන් ඔහුගේ හිස් මුදුනේ දැල්වෙන විශාල ඉටිපන්දමක් තැබුවේය. එය නිසා තම ගත, සිත ආලෝකමත් විය. අවට පරිසරය ආලෝකමත් විය.

ඔහු ආචාර්ය මන් වෙත ගොස් තමා දුටු අත්භූත සිහිනය ගැන තම සිතේ ඇති ප්‍රීති සුඛ එකඟතාවය පිළිබඳ කීහ. ආචාර්ය මන් ඔහුට ධ්‍යාන කිරීමට තව තවත් උපදෙස් දුනි. ඔහුගේ දියුණුව ඉතා ඉක්මණින් වැඩී ගියේය. ඔහුට පරචිත්ත විජානනය පහළ විය. ඔහු එය තම ගැමි භාෂාවෙන් කියා සිටියහ. තමා ලැබූ තත්වය ගැන පැහැදිළි නැත.

ටික දිනකට පසු ඔහු ආචාර්ය මන් ගේ සිත දුටුවේය. විහිළුවට මෙන් ආචාර්ය මන් “ඔබ එහි අකුසල් දැක්කාද?” යි ඇසීය. “ඔබවහන්සේගේ සිත කිසි අරමුණක් නොගනී. එහි ඇත්තේ දීප්තිමත් ආලෝකයක් පමණි. ඔබ වහන්සේ වැනි කෙනෙක් මෙලොව ඇත්තේ නැත. ඔබ වහන්සේ මෙහි අවුරුද්දක් පමන රැඳී සිටියහ. ඇයි මට මේ ස්වභාවය කලින් නොකීවේ? මම කෙසේ කියම්ද? ඔබ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. උන් වහන්සේ පිළිතුරු දුණි.

ඔබ වහන්සේ අග්‍රගණ්‍යයේ ආචාර්යවරයෙක් බව මම දැන නොසිටියෙමි. දැන් අප සියලු දෙනාම දන්නවා ඔබ වහන්සේ ඉතාම දක්ෂයෙක් බව. අප ඔබවහන්සේගෙන් ඇසූ විට ඇයි මෙසේ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි මෙසේ සක්මන් කරන්නේ ? ඔබවහන්සේ කීවා වටිනා මැණිකක් නැතිවෙලා එය සොයනවා. ඒ “බුද්ධො” නම් මැණික සොයා ගන්න උදව් කරන්න කියා. එය ඉතාමත් දීප්තිමත් විහිදී අයන ආලෝකයක් කීවා. ඇත්තෙන්ම එය තමයි ඔබවහන්සේගේ සිතේ ඇත්තේ. “බුද්ධො” නැතිවුනා කීවෙ අපව ප්‍රයෝගයෙන් භාවනා කිරීමට යොමු කිරීමට. එවිට අපේ සිතෙත් එම ආලෝකය විහිදුවන්න. ඔබ වහන්සේ මහා වීරයෙක්. නුවණැත්තෙක්. ඔබවහන්සේගේ එකම අරමුණ අපට ධර්මය බෙදා දීම. අපේ සිතේ “බුද්ධො” පහළ කිරීම.

මෙම මිනිසාගේ සිත තුළ ධර්මය පහළවීම පිළිබඳ පුවත ඉක්මණින් මුලු ගම පුරා පැතිරී ගියේය. සියලු දෙනාම “බුද්ධො” භාවනාව කලහ. කුඩා දරු දැරියන් පවා කලහ. ආචාර්ය මන් කෙරෙහි ශ්‍රද්ධාව ඉමහත් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගෞරව කලහ. කිසිවෙක් වෙස්වලාගත් කොටි ගැන නැවත කථා නොකලහ. මින් පසු එම මිනිසා ආචාර්ය මන්ගේ පාත්‍රය පිණ්ඩාපාතයෙන් පසු දිනපතා එම ආරණ්‍ය සේනාසනයට රැගෙන ගියේය. දානයෙන් පසු ඔහු භාවනා කමටහන් ගත්තේය. යම් දිනෙක ඔහුට වැඩ ඇත්නම් තමන්ට එන්ට බැරිබව කියා පණිවිඩයක් එවයි. එම ගෝත්‍රික මිනිසුන් අතරෙන් සෑහෙන දෙනෙක් භාවනාවට හුරු වුනි. එහෙත් ඒ ප්‍රථම පුද්ගලයා මෙන් සාර්ථක නොවීය.

මිනිසා තෘප්තිමත් වූ විට සියලු දෙයක්ම නිසි ආකාරයෙන් සිදුවේ. විශාල පරිවර්තනයක් වේ. උදාහරණලෙස මුල් කාලයේ මේ මිනිස්සු ආචාර්ය මන් හට කිසි සැළකිල්ලක් නොදැක්වූහ. උන්වහන්සේ කෑවාද? නිදාගත්තාද? හුන්නාද? මළාදැයි වගක් නැත. දැන් ශ්‍රද්ධාව ඇතිවී මුලදී ඉතා දුර්ලභ සියලු දේ දැන් වැඩි වැඩියෙන් ගලා එයි. කිසිවක් නොඅසාම උදව් උපකාර කරත්. ගමේ මිනිස්සු එකතු වී සක්මන් මළුවක් තැනූහ. පැලක් ඉඳිකලහ. ආහාර වැළඳීමට මැස්සක් සෑදූහ. උදව් කිරීමට ආ අය වාද කලහ. අවමන් කළහ. ප්‍රශ්න කලහ. කථා බහ කළහ.

“අර සක්මන් මළුව බලන්න. තණකොළ වල් පැළෑටි වලින් වැසී ඇත. එම කැලෑවේ ඇවිදින්නේ වල් ඌරෙක් විය යුතුයි ඔබ එනමුත් එහිම ඇවිදියි. ඔය මළුව කුමකටදැයි ඇසූ විට නැති වූ “බුද්ධො” සෙවීමට යැයි පවසති. ඔබ ඇස් පියාගෙන ඉන්නේ ඇයිදැයි ඇසූ විට – නැති වූ “බුද්ධො” සොයමියි කියයි. ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙකි. එහෙත් ඒ බව නොකියන්නේ ඇයි?. ඔබ අමුතු පුද්ගලයෙක්. ඒ වුනත් ඒ ගතිගුණ අපි අගේ කරනවා. ඔබ වහන්සේ නිදාගන්නේ පුස්කාපු වියළි කොළරොඩු වලින් සෑදූ මැස්සක. ඔබවහන්සේ මෙහි මාස දහයක් පමන මෙසේ දුක් විඳින්නේ ඇයි? මෙය ඌරුකොටුවක් වගේ. මෙය දකින විට අපට ඉතා දුක් ඇතිවී අඬන්න හිතෙනවා. අපි මහා මෝඩ රැලක්. අපි සියලු දෙනාම මෝඩ වුනා. ඔබ වහන්සේ මේ තරම් වටිනා පුද්ගලයෙක් බව අපි දන්නේ නෑ. සමහරු චෝදනා කලා නොයෙක් මත අනුව. සියලු දෙනාම ඒ නිසා පොළඹවා ගත්තා. අපි සැක කලා. අප්‍රිය කලා. නමුත් දැන් අපිට හොදට විශ්වාසයි. අපි ගරු කරනවා. මේ කඳුකර ගෝත්‍රික මිනිස්සු යමෙක් විශ්වාස කරන විට එය උපරිම වශයෙන් සිදුකරයි. හදවතින්ම භක්තිය පුද කරයි. ඒ අයගේ හිතවත්කම් අසීමිතය. තම ජීවිතය පරදුවට තබා පරිත්‍යාග කරත්. තමන් හදවතේ දරාගත් දේ වෙනස් නොකරත්. ටිකින් ටික ආචාර්ය මන් ඔවුන්ගේ භාවනාව දියුණු කිරීමට උපදෙස් දුණි.

උන්වහන්සේ මෙහි වර්ශයකට අධික කාළයක් විසූහ. පෙබරවාරියේ සිට ඊලඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා, ඉන්පසු වෙනත් තැනකට වැඩියහ. ඔවුන් හට තිබූ බලවත් කරුණාව නිසා ඔවුන් හැර යාම දුෂ්කර විය. ඔව්හු උන්වහන්සේගේ යාම පිළිබඳ විරෝධය පළ කළහ. උන්වහන්සේ මරණය තෙක් සිටිනවානම් මුළු ගමම එකතු වී අවමංගල උත්සවය සිදුකරන බව කීහ. ඒ අයට අවබෝධයෙන් ම ප්‍රතිඵල ගැන විශ්වාස ඇත. ඒ නිසා හටගත් ශ්‍රද්ධාව භක්තිය වැරදි ලෙස දුටහ. උන් වහන්සේගේ ගුණ හඳුනාගත් පසු ඇත්තෙන්ම පසුතැවිළි වී සමාව අයැද සිටියහ. උන්වහන්සේ ඔවුන්ට සමාව දුනි. මේ බව පසු කාලයකදී තම ශිෂ්‍යයන්ට උන්වහන්සේ සැළකළහ. ඒ නිසා ඔවුන් ණයගැති නොවේ. තමන් වහන්සේලා දෙනමට දැන් නිකම් යා හැකිය.

නමුත් ඔවුන්ගෙන් වෙන් වී යාම ලෙහෙසි වූයේ නැත. ඔවුන් කන්නලව්, ලතෝනි දෙමින් හඬා වැලපීම බලා සිටින්නට බැරි තරම් විය. උන් වහන්සේගේ ගමන් වැළැක්වීමට මුළු ගමම අවුත් මහ හඬින් විලාප දුනි. එය කැලෑව දෙදරා ගියේය. මැරුණා හා සමානව හැඬූහ. තමන් වහන්සේගේ අරමුණ පැහැදිළි කරමින් ඔවුන් අස්වැස්සූ නමුත් ඉන් ඵලක් වූයේ නැත. තම හැඟීම් හෙලි කිරීම වැරදි බව ධර්මයට අනුව පෙන්වා දුනි. මඟ අවුරා සිටියහ.

තරමක් සන්සුන් වූ විට උන්වහන්සේ පිටත් වීමට සූදානම් විය. එවිට පුදුම එලවන දෙයක් සිදුවුණි. මුළු ගමේ මිනිස්සු ගෑණු දරු දැරියෝ උන්වහන්සේ පසුපස දිව ආහ. වටකරගෙන් එකෙක් උන්වහන්සේගේ පිරිකර උදුරාගති. එකෙක් පාත්‍රය ගති. එකෙක් කූඩය, වතුර කේතලය, ආදී වශයෙනි. අනිත් අය සිවුරේ එල්ලී ඇදගෙන සිටියහ. අතින්ද ඇද්දහ. කකුළෙන්ද අල්ලා ගති. හඬමින් වැලපෙමින් කුඩා දරුවන් මෙන් හැසිරුණහ. යන්නට දෙන්නේ නැතැයි කීහ.

කීප විටක් ආචාර්ය මන් ඉවසීමෙන් කරුණු පැහැදිලි කලහ. එවිට ඔවුහු මඳක් සන්සුන් වූහ. උන්වහන්සේ යන්නට නික්මුණ විට නැවතත් ඒ ආකාරයෙන්ම දුව ඇවිත් අල්ලා ගත්හ. මෙසේ පැය ගණනක් ගතවිය. මුළු කැලයේම ශබ්දය දෝංකාර දුනි. මානසික ආබාධිතයන් මෙන්ද කෝල සන්නියක් මෙන්ද ඔවුන්ගේ වැළපීම බලා සිටින්නට මහත් දුකකි. වෙස් වලාගත් කොටි ගැන මතකයක්වත් නැත. ඇත්තේ හද පත්ලෙන් පැන නගින ආදර භක්තියකි. අති උත්තම පුරුෂයෙකුට කරණ පූජා උපහාරයකි. මහ මිනිස්සු පවා හඬා වැළපුනහ. ක්‍රමයෙන් හඬ වැඩී ගොස් මහා ශබ්දයෙන් සියල්ල එකවිට කෑ ගසා “යන්ට එපා” යයි කීහ. “අපේ පපුව පැළී මැරේවි” “ඉවසන්ට බෑ” අන්තිමේ දී එහෙනම් ඉක්මණින් ගිහින් එන්න යැයි කීහ.

මෙසේ ආචාර්ය මන් කරුණු පැහැදිළි කර දුන්හ. නොහෝ සැක බිය ඇතිව සිටි අය දැන් ආදර භක්තියෙන් හඬා වැලපෙති. උන් වහන්සේ මහත් විපර්යාසයක් සිදුකර ඇත. එය බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවච ගුණය වේ. සාමීචි ගුණය වේ. බුද්ධ ශ්‍රාවකයෝ පළිගැනීම් නොකරති. අනුන්ට නො ගරහති. යමෙක් තමන් කෙරෙහි අප්‍රසන්න තාවය ඇතොත් ඔහුට කරුණාව, මෛත්‍රිය උපදවති. අනුන්ගේ වැරදි, නොමනා හැසිරීම් නිසා උරණ නොවෙති. එකට එක කිරීමක් නැත. තම හදවතේ ඇති කරුණා, මෛත්‍රී ගුණය නිසා අනුන්ගේ කෙළෙස් ගිනි නිවී ශ්‍රද්ධාව හට ගනී. ආර්ය සංඝ රත්නය මිනිසාගේ සරණ වෙති. මෙවැනි උසස් චින්තනයක් මෙලොව කොහේවත් නැත.

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

නමෝ ගෞතම පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක් වන්න…

තෙරුවන් සරණයි!!!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Y60Vlc
සංඝභේදය යනු නිවැරදිවම කුමක්ද??

ආනන්තරිය පාපකර්ම අතර තවත් බිහිසුනු විපාක සහිත
ආනන්තරිය කර්මයක් වන්නේ සඞඝ භේදයයි. හිතට එන එන
පරිදි නොයෙක් නොයෙක් මනෝ විතර්ක මත දහම යැයි
උපකල්පනය කොට, මූලාශ්‍රවලට ගරහමින් දහම කියන මෙවන්
සමයක යමෙකුට සිතන්නට, ආරක්ෂාව සලසා ගන්නට, බුද්ධ
භාශිතයට ගරු කරන්නට, සත්දහම ඉදිරියේ ශ්‍රද්ධාව උපදවාගෙන
සංවරව මේ දහම ඇසුරු කරන්නට මේ කෙටි ලිපිය උපකාරි
වේවා කියා හිතනවා.
මව මැරීම
පියා මැරීම
රහතුන් මැරීම
දුශ්ඨ සිතින් බුදුන්ගේ ලේ සෙලවීම
සංඝ භේදය
මේ කාරනා පහ තමයි ආනන්තරීය අකුසල කර්ම කියා හඳුන්වනු
ලබන්නේ. මේ කාරනා අතරින් ඔයාල අපි අතින් සිදුවන්නට
ඉඩක් නැහැ අර මුල් කාරනා හතරට අයත් ආනන්තරිය පාපකර්ම
හතර බොහෝවෙලාවට.
මව මැරීම
පියා මැරීම
රහතුන් මැරීම
දුශ්ඨ සිතින් බුදුන්ගේ ලේ සෙලවීම
මේ කාරණා හතර නම් අපි අතින් සිදුවන්නට කිසිසේත්ම ඉඩක්
නැහැ
නමුත් සංඝ භේදය?? එය සිදුවිය හැකියි ඕනෑම මොහොතක
ඔයාලා දන්නවා ආනන්තරිය පාප කලොත් එයට විපාක ඉතාම
දරුණුයි වචනයෙන් කියල වචනයෙන් ලියල නිම කරන්නට බැරි
බිහිසුනු විපාක ඊට ලැබෙනවා
සංඝභේදය කියන්නෙ ස්වාමින් වහන්සේලා දෙනමක් හෝ කීප
නමක් කේලාම් කියා බිඳවීමද………..?????

අපි දන්නවා යම් යම් අය තමන්ගේ අවබෝධය මෙයයි බුද්ධ
වචනය මෙයයි කියා යම් යම් ස්වකීය අදහස් දහමේ නාමයෙන්
මුදාහරිනවා. එය ඒ අයගේ අයිතිය. ඒ ගැන කිසිදු විවේචනයක්
නැහැ. ඒ වගේම සමහරු ත්‍රිපිටක පෙළදහම ප්‍රතික්ෂේප කරමින්
තමන්ගේ ගුරුවරයාගේ අදහස මෙයයි එය තමයි නිවැරදි ත්‍රිපිටක
පෙල දහම තුල දහම නැත ආදී වශයෙන් අදහස් දක්වනවා
පමණක් නොව ත්‍රිපිටකය ඇසුරින් ධර්මය විමසන අයව පවා
දරුනු විදියට නිග්‍රහ කරනවා. එහෙත් ලෝකයේ යම් අයෙක්
බුද්ධ දේශනාව ගැන මුලින්ම කරුණු උපුටා ගන්නේ දහමට
තිබෙන එකම මූලාශ්‍රය වන ත්‍රිපිටකයෙන් මයි. අර කවුදෝ ලියා
තිබුනා “ත්‍රිපිටකයෙන් නෙවෙයි නම් දහමේ මූලික න්‍යායයන්
ගන්තේ හරමානිස්ගෙන් වෙන්න ඇති කියලා” වැනි ප්‍රකාශ ඒ
සදහා ප්‍රකට වෙන්නේ මූලාශ්‍රය ඒ තරමට වැදගත් නිසයි. කෙසේ
වෙතත් මේ සංඝභේදය ගැන කියන ධර්ම කාරණාද මා
ත්‍රිපිටකයෙන් උපුටා ගත් දෙයක් මිස මගේ හෝ මගේ
ගුරුවරයාගේ අදහසක් නොවන බව සිහිපත් කරන්නට අවශ්‍යයි.
මෙය උපුටා ගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ
සඞඝභෙද සූත්‍රය ඇසුරින්ය..

ආයුශ්මත් උපාලි තෙරනම සංඝභේදය ගැන බුදුරජානන්
වහන්සේ ගෙන් විචාල කල්හි බුදුරජානන් වහන්සේ ඒ කාරණාව
පැහැදිලි කොට වදාලා මෙහෙම…
“සඞඝභෙදො සඞඝභෙදොති භන්තෙ වුච්චති. කිත්තානුවතා
නුඛො භන්තෙ සඞඝො භින්නො හොතිති”
භාග්‍යවතුන් වහන්ස..මේ සඞඝ භේදය..සඞඝභේදය කියල
කියනවා. කොතෙක් නම් කාරනා වලින් සඞඝ භේදය වේද?

1. “අධම්මං-ධම්මො- ති දීපෙන්ති”
අධර්මය ධර්මය බව දැක්වීම.

2.”ධම්මං-අධම්මො- ති දීපෙන්ති”
ධර්මය අධර්මය ලෙස පෙන්වීම.

3. “අවිනයං – විනයොති- දීපෙන්ති”
අවිනය විනය ලෙස පෙන්වීම.

4. “විනයං -අවිනයෝ-ති දීපෙන්ති”
විනය අවිනය ලෙස පෙන්වීම.

5.”අභාසිතං අලපිතං තථාගතෙන- භාසිතං ලපිතං තථාගතො-ති
දීපෙන්ති.”
තථාගතයන් වහන්සේ විසින් නොවදාල දෙයක් වදාල දෙයක්
හැටියට පෙන්වීම.

6. භාසිතං ලපිතං තථාගතෙන-අභාසිතං අලපිතං තථාගතෙනා-ති
අලපිතං දීපෙන්ති”
තථාගතයන් වහන්සේ විසින් වදාල දෙයක් කුමන හෝ
චේතනාවෙන් තථාගත වචනයක් නොවේ යැයි පෙන්වීම.

7.”අනාචිණ්ණං තථාගතෙන-ආචිණ්ණං තථාගතෙනා-ති
දීපෙන්ති”
තථාගතයන් වහන්සේ විසින්නොවඩන ලද්දක් වඩන ලද්දක්
යැයි පෙන්වීම

8.”ආචිණ්ණං තථාගතෙන-ආචිණ්ණං තථාගතෙනා-ති දීපෙන්ති”
තතාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්දක් ප්‍රගුන
නොකරන ලද්දක් බවට පෙන්වීම.

9.”අප්පඤ්ඤත්තං තථාගතෙන-පඤ්ඤත්තං තථාගතෙනා-ති
දීපෙන්ති”
තථාගතයන් විසින් නොපනවන ලද්දක් පනවන ලද දෙයක් බවට
පෙන්වීම.

10.”පඤ්ඤත්තං තථගතෙන-අප්පඤ්ඤත්තං තථගතෙනා-ති
දීපන්ති’
තථාගතයන් විසින් පනවන ලද්දක් නොපනවන ලද්දක් බවට
පෙන්වීම.
( අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඞඝභෙද සූත්‍රය )

ඒ කාරනා නැවත ශාරාංස කොට දක්වන්නේ නම්…
1.අධර්මය ධර්මය බව දැක්වීම,
2.ධර්මය අධර්මය ලෙස පෙන්වීම,
3.අවිනය විනය ලෙස පෙන්වීම,
4.විනය අවිනය ලෙස පෙන්වීම,
5.තථාගතයන් වහන්සේ විසින් නොවදාල දෙයක් වදාල දෙයක්
හැටියට පෙන්වීම,
6.තථාගතයන් වහන්සේ විසින් වදාල දෙයක් කුමන හෝ
චේතනාවෙන් තථාගත වචනයක් නොවේ යැයි පෙන්වීම,
7.තථාගතයන් වහන්සේ විසින්නොවඩන ලද්දක් වඩන ලද්දක්
යැයි පෙන්වීම,
8.තතාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්දක් ප්‍රගුන
නොකරන ලද්දක් බවට පෙන්වීම,
9.තථාගතයන් විසින් නොපනවන ලද්දක් පනවන ලද දෙයක්
බවට පෙන්වීම,
10. තථාගතයන් විසින් පනවන ලද්දක් නොපනවන ලද්දක්
බවට පෙන්වීම.
යමෙක් ඇයි මෙහෙම කරන්නෙ. එය හේතු නැතිව
නෙවෙයි.හේතු සහිතයි. සහේතුකයි.
තමන් කැමති විදියට විකෘති කරන ලද දහමක් බුද්ධ ධර්මය
හැටියට යමෙක් පෙන්වනවා නම් එය එසේ කිරීම සදහා ඔය
සංඝභේදයට තුඩු දෙන කාරනා දහය ප්‍රකට කරන්නට වෙනවා.
නියම තථාගත ධර්මය ත්‍රිපිටකය බැහැර කරල එයට ගරහලා ඔය
බුද්ධ වචනය නෙවෙයි මෙයයි බුද්ධ වචනය කියල කියනවා නම්
එයයි සංඝ භේදය
එතකොට අවිනය විනය හැටියට පෙන්වනවා නම් එයද
සංඝභේදයක්
මේ ශාසනයේ විනය කියන්නෙ මූලික වශයෙන් ශික්ෂා වලට.
එතකොට විනය හා බැඳුනු ශික්සාවන් වලට ගරහනවා නම් ඒවා
අවිනය කියල බැහැර කරනවා නම් එයද සංඝභේදයයි
ඊලඟට අවිනය අසීලාචාර බව, නොහික්මුනු බව විනය කියල
පෙන්වනවා නම් එයද සංඝභේදයයි.
මෙය ඉතාම වැදගත් කාරණයක්. කය වචනය හික්මීම විනය හා
බැඳුනු මූලික කාරණයක්. එතකොට සීලය කියන්නෙ විනය හා
බද්ධ කාරණයක්. ධර්මය පිලිබඳව කතාකරන යම් අයෙක් සිටියි
නම් ඔහුගේ වචනය ඉතා පිරිසිදු විය යුතුයි. ඔහුගේ වචන මුදු විය
යුතුයි. ඔහුගේ වචනය ශාන්ත විය යුතුයි.

සම්මා වාචාව බුදුරජාණන් වහන්සේ පනවා ඇත්තේ ආර්යය
අෂ්ඨාංගික මාර්ගයේ ශීල කොටසට යටත්ව. ධර්මය අන් අයට
කියන, ලියන යම් අයෙක් සිටියි නම්, ඔහුගේ සන්නිවේදනය
තුල වචනය අසංවරයි නම්, අවිනීත නම්, ඔහු ඒ අගෞරව
කරන්නේ තථාගතයන් වහන්සේට සහ ශ්‍රී සද්ධර්මයටයි.
මක්නිසාද යත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ
සම්මා වාචාව මත පිහිටායි.

අද දවසේ දකින බොහෝමයක් දහම් ලිපි වල සම්මා වාචාව
වෙනුවට දක්නට ලැබෙන්නේ ඉතාම අසංවර, ව්‍යාකූල,
නොහික්මුණු අර්ථ නිරුක්ති සහිත භාෂා ශෛලියක්. ඒ ලිපි වලට
බොහෝ විට යොදන පසුවදන් (කොමෙන්ට්) ඉතාම අසංවර
අලජ්ජි වචන වලින් පිරුනු තවත් එක් විනෝදාංශයක් කරගත්
බවක් පෙනෙන වචන සමූහයක්. සම්මා වාචාව හුරු නොකල
අයෙකුට ධර්ම සන්නිවේදනය කල නොහැක්කේ දමහ තමාට
අවබෝධ යැයි ඇතිකෙරෙන මානසික තෙරපුම මුදාහැරීමක්
ලෙසටය. එසේ කරන කිසිවකු කෙරෙහි අමනාප විය යුතු නැත.
ඒ කිසිවකු විවේචනය කල යුතු නැත. ධර්ම සන්නිවේදනය යනු
එක් අතකින් සියලු දානයන් පරදවන උත්තම දානයක් වන අතර
දානය වරද්දා දීම තුල විපාකද ඒ කෙනාටම ලැබෙන බැවින්
එයට චේතනා පහළ කොට තමා තුල නවකර්ම රැස් කිරීම නිශ්ඵල
බැවිනි.
“අභාසිතං අලපිතං තථාගතෙන- භාසිතං ලපිතං තථාගතො-ති
දීපෙන්ති.”
තථාගතයන් වහන්සේ විසින් නොවදාල දෙයක් වදාල දෙයක්
හැටියට පෙන්වීම.
මෙය ඉතාමත් ජයටම අද කරගෙන යනවා
තමන් කැමති කැමති දේ කැමති විදියට ඉදිරියට දාලා බුදුන් මෙය
දේශනා කරන ලද්දක් කියලා කියනවා
එයද සංඝභේදයයි
භාසිතං ලපිතං තථාගතෙන-අභාසිතං අලපිතං තථාගතෙනා-ති
අලපිතං දීපෙන්ති”
තථාගතයන් වහන්සේ විසින් වදාල දෙයක් කුමන හෝ
චේතනාවෙන් තථාගත වචනයක් නොවේ යැයි පෙන්වීම.
ඊලඟට ත්‍රිපිටකයෙන් වේවා කිසියම් මූලාශ්‍රයකින් වේවා බුද්ධ
වචනය මේ යැයි පෙන්වූ කල එය බුද්ධ වචනය නොවේ යැයි
එයට ගරහනවා නම්
එයද සංඝභේදයයි
.”අනාචිණ්ණං තථාගතෙන-ආචිණ්ණං තථාගතෙනා-ති දීපෙන්ති”
තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ නොකරන ලද්දක් ප්‍රගුණ
කල දෙයක් යැයි පෙන්වීම
අද දවසේ ජ්‍යෝතිශය ඉරහඳ තාරකා සියල්ල ගැටගහල බුදුන්
පවා මේවා අනුමත කලා කියන උදවිය ඉන්නවා.
ඒ අය බුදුන් විමුක්තිය පිණිස නොකරන ලද නොවඩන ලද
දේවල් ඔය විදියට බුදුන් කලාය කියල පෙන්වන්නට හදන එකත්
සංඝභේදය වෙනවා
.”ආචිණ්ණං තථාගතෙන-ආචිණ්ණං තථාගතෙනා-ති දීපෙන්ති”
තතාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්දක් ප්‍රගුන
නොකරන ලද්දක් බවට පෙන්වීම.
බුදුරජාණන් වහන්සේ විසින් අනන්ත අප්‍රමාණ විද්‍යාවන් ඍධීන්
වඩන ලද අතර ඒවා පිලිබඳ යම් යම් විවේචන මතිමතාන්තර
‍ෙපන්වනවා නම් බුදුන් කෙරෙහි වේවා දහම කෙරෙහි වේවා
සංඝයා කෙරෙහි වේවා එයද සංඝභේදයට වැටෙනවා.
අද මුහුනු පොතේ ඔයාලට බලාගන්න හැකියි මොනතරම්
වේගයෙන් මේ සංඝභේදය කියන ආනන්තරිය පාපකර්මය
තරගයක් හැටියට කරගෙන යනවද කියලා. ඒවා ගැන කතා
නොකර අපි පොදුවේ ගත්කල සිදුකරගන්නා අනර්ථය ගැන
ටිකක් විමසා බලමු.
උදාහරණ කිහිපයක් දෙන්නම්…අපිද නොදැනුවත්ව ඔය
සංඝභේදයට වැටෙන තැන්
එකක් තමයි මස්මාංශ ගැන තියෙන අදහස
එය බුදුන් වදාල සිල්පදයක් කියල හිතාගෙන සමහරු
දිවිහිමියෙන් නිර්මාංශ තත්වයට වැටිලා ඉන්නවා
බුදුරජානන් වහන්සේ කිසිදු තැනක අපට සිල් පදයක් පණවල
නැහැ මස් මාංශ වලින් වලකින්න කියලා
නමුත් එය බුදුන් වදාල සිඛ පදයක් හැටියට රකින අය කෙතෙක්
අදටත් ඉන්නවද නොවදාල සිල් පද, නොවදාල විනයක් වදාල
බවට දැඩිව ගෙන කරගන්නේ සංඝභේදයයි

ඉතිං ඔය කාරනයම ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජානන්
වහන්සේගෙන් ප්‍රශ්න කරනවා
” සමග්ගං පන භන්තෙ සඞඝං භින්දිත්වා කිං සො පසවති තී?”
භාග්‍යවතුන් වහන්ස…සංඝභේදය කිරීමෙන් මේ තැනැත්තා
කුමක්ද ප්‍රසව කරන්නෙ? කුමක්ද උපදවන්නෙ?”
“කප්පට්ඨියං ආනන්ද කිබ්බිසං පසවතීති.”
ආනන්දය..සඞඝභේදය කිරීමෙන් ඒ කෙනා කල්පස්ථායි
පාපවිපාකය ප්‍රසව කරගන්නවා.
“කිං පන භන්තෙ කප්පට්ඨියං කිබ්බිසන්ති?”
භාග්‍යවතුන් වහන්ස..කල්පස්ථායි නම් කුමක්ද?”
“කප්පං ආනන්ද නිරයම්හි පච්චතීති”
ආනන්දය ඔහු ආයුශ්කල්පයක් නිරයෙහි පැහෙනවා.
අපායිකො නෙරයිකො කප්පට්ඨො සඞඝභෙදකො
වග්ගරතො අධම්මට්ඨො යොගක්ඛෙමාපධංසති
සඞඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චතීති”

අධර්මයේ හිඳිමින් සඞඝභේදයට ඇලුනු අපායට ඇලුනු සූළු වූ
නිරයේ උපදින කල්පස්ථායි සඞඝභේදකයා යොගක්ඛෙම
සංඛ්‍යාත අරහත් බවින් පිරිහෙනවා. ආයුශ්කල්පයක් නිරයෙහි
පැහෙනවා.
-පඨම ආනන්ද සූත්‍රය-අංගුත්තර නිකාය-
ආයුශ්කල්පයක් කියන්නෙ හිතන්න බැරි තරමට අති දීර්ඝ වූ
කල්ප කාලයක් ඒ මුලු කාලය තුලම ඔහු නිරයේ පැහෙනවා
එතකොට මනුස්ස ජීවිතය ලැබුවත් අරහත් බව ලබන්න නම්
ඉතාම අසීරු වෙනවා.

සංඝ භේදය කියන්නෙ තථාගත ධර්මයට ගරහලා වීකෘති කරල
රැස්කරගත් කර්ම ටිකක්නෙ. පැහැදිලිවම තථාගත ධර්මය කිසියම්
වෙනත් අවශ්‍යතාවයක්, වෙනත් න්‍යායය පත්‍රයක්, වෙනත්
උවමනාවක් ඉටුකරගැනීම පිනිස ඉහත කී විදියට අවභාවිත කරයි
නම්, විකෘති කරයි නම්, ගරහයි නම්, එය මව මැරීම, පියා මැරීම,
රහතුන් මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම කියන කාරනා තරමටම
බිහිසුනුයි. අතිශය භයානකයි. මෙහි ඇති බිහිසුනු බව නොදැන
යම් යම් අය අසංවර නොහික්මුන විලාසයෙන් දහම තවත් එක්
විෂයයක් කොට සැහැල්ලුවට ගනියිද, ස්වකීය දැක්ම පිරිසිදු දහම
ලෙස හුවා දක්වන්නට අසීලාචාර වාද විවාද කරයිද, කලහ
කරයිද ඒ කාරණයම එදාත් සමාජගතව තිබියදි ආයුශ්මත් උපාලි
තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ විදියට විචාරනවා.

“ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස.. මේ භික්ෂු සංඝයාගේ බෙදීමක්
කලහ විවාදයන් ඇතිවෙනවා නම්( එය අප අද මෙතැනත්
ප්‍රත්‍යවශයෙන් අත්දකින දෙයක්) එයට හේතු කාරණා මොනවාද?
(මෙතැන කියා මා සඳහන් කලේ මුහුනු පොත වැනි ස්ථානයි)
එතකොට බුදුරජාණන් වහන්සේ පිලිතුරු දී වදාරණවා.
” උපාලිය.. මේ ශාසනයේ යමෙක්( භික්ෂු භික්ෂුනි උපාසක
උපාසිකා) අධර්මය ධර්මය කියා දකියිද, අවිනය අශීලාචාරකම
පහත් හැසිරීම විනය යැයි කියා දකියිද, බුද්ධ භාශිතය බුද්ධ
භාෂිතයක් සේ නොදකියිද, බුද්ධ භාශිතය නොවූ දේ බුද්ධ
භාෂිතය කියා දකියිද, තථාගතයන් ප්‍රගුන නොකල දෑ තථාගත
ප්‍රගුන කිරීමක් සේ දකියිද, තථාගතයන් ප්‍රගුණ කල දෑ
තථාගතයන් ප්‍රගුණ නොකල බව දකියිද, තථාගතයන් පැණ වූ දේ
නොපැනවූ දේ හැටියට දකියිද, තතාගතයන් නොපැන වූ දේ
තථාගත පැනවීම් ලෙස ගනියිද, එතැන කලහ විවාද භේද
ඇතිවෙනවා.
අංගුත්තර නිකාය-අක්කොසවර්ගය- විවාද සූත්‍රය
දැන් භික්ෂුන් බෙදෙන හැටි බුදුරජාණන් වහන්සේ මනාව
පැහැදිලි කරනවා. අවිනය විනය හැටියට සමාජ ගතකරන්නට
කරන උත්සාහය, අධර්මය ධර්මය කරන්නට හදන උත්සාහය
තුල එය කල හැක්කේ නිග්‍රහ කිරීම් කලහ කිරීම් භේදබින්න කිරීම්
තුලින් බවයි එයින් ප්‍රකට වෙන්නෙ.

මේ දහම කිව යුතු මූලික න්‍යායයක් තියෙනවා. ඒ න්‍යායයෙන්
බැහැරව ධර්මය කතාකරන්නට කිසිදු ගුරුවරයෙකුට කිසිදු
භික්ෂුවකට බැහැ. ඒ තමයි හත්ථිපදොපම සූතයේ දක්වා වදාල
පරිදි වනන්තරයේ සියලු සත්ත්වයින්ගේ පාලකුනු විසල්
ඇත්අඩිය තුල පිහිටන්නේ යම් සේද සියලු පරියායයන්, සියලු
ධර්ම විග්‍රහයන් චතුරාර්යය සත්‍යය තුලට ඇතුලත් කොට කිව
යුතුයි කියන න්‍යායය. එයින් බැහැරව දහම කථාකරන්නට
විස්තර කරන්නට බැහැ.
චතුරාර්යය සත්‍යයේ ආර්යය සත්‍යය හතර කෙරෙහිද අනුගමනය
කලයුතු ක්‍රමවේදයන් හතරක් දක්වා තියෙනවා.
චතුරාර්යය සත්‍යය අරභයා පිළිපැදිය යුතු කෘත්‍යය හතරක් බුද්ධ
දේශනාවේ සඳහන් වෙනවා.

01.දුක්ඛ සත්‍යය – (පරිඤ්ඤෙය්‍ය)-
දුක්ඛය තියෙන්නෙ පිරිසිඳ දකින්න.

02.දුක්ඛ සමුදය සත්‍යය- (පහාතබ්බං)
සමුදය තියෙන්නෙ ප්‍රහාණය කරන්නට

03.දුක්ඛ නිරෝධ සත්‍යය- .(සච්ඡිකාතබ්බ)
එනම් නිර්‍වාණයයි. එය ශාක්ෂාත් කළ යුතුය

04.දුක්ඛ නිරොධගාමිණි පටිපදා සත්‍යය- .(භාවෙතබ්බං)
ප්‍රතිපදාව වැඩිය යුතුයි.

මේ අනුව දුක්ඛ සත්‍යය යනු මනාව පිරිසිඳ දැකිය යුත්තක් බවත්,
සමුදය යනු ශේෂ රහිතව ප්‍රහානය කල යුත්තක් බවත්, ආදී
වශයෙන් තිබෙනවා.
පසුගිය කාලයේ එක්තරා අයෙක් නිරන්තරයෙන් මා සමග ඉතාමත් නිර්ලජ්ජ ආකාරයට වාදයට පැමිණ කියා
සිටියා “ත්‍රිපිටකයේ කොහොම තිබුනත් දුක තියෙන්නෙ බල බලා
ඉන්න නෙවෙයි නැති කරන්නයි” කියලා. බුදුරජානන් වහන්සේ
දුක්ඛ සත්‍යය පෙන්වා වදාලේ එය පිරිසිඳ දකින්න කියලා. බුදුන්
පැනවූ දෙයක් කාටද වෙනස් කරන්නට හැකි වෙන්නේ
සංඝභේදකයාට හැර.
තමා කතා කරන ධර්ම කාරණය මේ ආර්යය සත්‍යය හතරෙන්
කුමන කොටසකට අයත් දැයි සමහරුන්ට අදහසක්වත් නැහැ.
දුක්ඛ සත්‍යය අරභයා කරන දේශනයකට නිරෝධගාමිනි
පටිපදාවේ කාරනා ගැටගහන තත්වයට අද ධර්ම සාකච්ඡාව දහම්
ලේඛනය පත්වෙලා. ඒවාද වක්‍ර අයුරින් සංඝභේදයට තුඩු
දෙනවා.
යම් යම් ගුරුවරුන්ගේ අනුගාමිකයන් වීමෙන් නොදැනුවත්කම
නිසා තමන්ද සංඝභේදය නම් ආනන්තරිය අකුසලය ඇති
කරගන්නවා. එහෙම කරගන්නා අය අදටත් පැහැදිලිවම දක්නට
ලැබෙනවා මෙහි ඇති භයානක කම දන්න කෙනෙක් නම්
කවුරුන් දහම කිව්වත් දහමට බහා බලනවා. විනය හා සසඳා
බලනවා
එතකොට දහම සහ විනය ගැන ඉතාම පුලුල් දැනුමක්
අවබෝධයක් තිබිය යුතුයි. ඒ සඳහා තමයි අපි සූත්‍ර පිටකයෙන්,
අභිධර්ම පිටකයෙන් ධර්මය ඇසිය යුතු වන්නේ
බහුශ්‍රැත ධර්මධර කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගෙන් දහම
ඇසිය යුත්තේ මෙය ඉතාම වගකීමක්. ඔවුන්ගේ ශීලය ගැන
නෙවෙයි සෙවිය යුත්තේ. ඔවුන් පවසන ධර්මය දහමට එකඟද
විනය හා සැසඳේද යන්නයි. ඉතාම ප්‍රවේසමෙන් කල යුතු දෙයක්
අන්ත වලට නොවැටිය යුතුයි. බුදුජානන් වහන්සේ අන්ත දෙක
ප්‍රතික්ෂේප කලා ඒ අන්ත පිලිබඳ අප තුල මනා වැටහීමක්
තියෙන්නට ඕනෙ. පටිච්ච සමුප්පාදය, චතුරාර්යය සත්‍ය්‍ය, සතර
සතිපට්ඨානය මේ ආදී ධර්මය විනය පිලිබද නිරන්තර දැනුමක්
ඇතිකරගැන්ම වටිනවා. එතකොට තමා ඇසුරු කරන කල්‍යාණ
මිත්‍රයා ගැන පරීක්ෂා කිරීමද නිරන්තරව කල යුතු වෙනවා
කල්‍යාණ මිත්‍රයා පවසන දෙය දහමට එකඟද විනය හා
සැසඳෙනවාද
මේවා තමන් විසින් ද නැවත නැවත ඒ මුලාශ්‍ර වලින් කියවා
සොයා බලා දැනගත යුතු වෙනවා
කාලාම සූත්‍රයේදි බුදුන් පැනවූවා..පරම්පරාවෙන් ආවට, පොතේ
තිබුනට, ගුරුවරයා කිව්වට එක හෙලා පිලිගන්නට එපා කියලා
ප්‍රතික්ෂේප කරන්නත් එපා…මෙය කුසල්ය මෙය අකුසල්ය කියල
දහමට බහා විනය හා සසඳා තමාම තීරණය කරන්න කියා
පැවසුවා
එතකොට අපට විනය කියන්නෙ ශික්සාවයි. පඤ්ච ශීලයේ සිට
ප්‍රාතිමොක්ෂ සංවර සීලය දක්වාවු කෝටියක් සංවර සීලය විනය
හා බද්ධ වෙනව. බුදුන් විසින් පනවා නැති ශික්ෂාවන් ඕනෙ
තරම් තියෙනවා විවිධ ආගම් වල. ඒවා සක්කාය දිට්ඨිය සහ
සීලබ්බත පරාමාස ගනයට යන්නේ සංඝභේදයත් සමගයි.
එය අප හමුවේද සමාජගත වෙලා තියෙනවා.එය විමුක්ති මාර්ගය
යැයි වරදවා වටහාගෙනද කටයුතු කරනවා
සංඝභේදය කුමන මුහුනු වරකින් තමා ගොදුරු කරගනීදැයි
විමසිලිමත්ව කටයුතු කිරීම ඉතාම වටිනවා.
සටහන-jatantha colombage-

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2KxULaC
ධර්ම විනිශ්චය – 58

සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද?

තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්‍මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ “යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා චොරොපෙය්‍ය පාචිත්තියං” යන සිකපදය ය. ‘දැන දැන තිරිසන් සතකු මැරුව හොත් පචිති ඇවතක් වේය’ යනු එහි තේරුම ය. මනුෂ්‍ය ඝාතනය මහා පාපයෙකි. එබැවින් එය ගැන විනයෙහි පනවා ඇත්තේ පරිජි ඇවතකි. යම් කිසි භික්ෂුවක් විසින් මිනිසකු මැරුව හොත් පාරාජිකා වේ.

ආත්මඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ “න ච භික්ඛවෙ, අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්ස” යන සිකපදය ය. එහි තේරුම, “මහණෙනි! ආත්මය නො නැසිය යුතු ය. යමෙක් සිය දිවි නසා ගන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය” යනුයි. දුකුළා ඇවත පචිති ඇවතට ද කුඩා ඇවතකි. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ නම්, තථාගතයන් වහන්සේ එයින් ද පාරාජිකා වන බව වදාරන්නාහ. සිය දිවි නසා ගැනීම ගැන පනවා ඇත්තේ තිරිසනුන් මැරීමෙන් වන ඇවතට ද කුඩා ඇවතකි. එයින් තේරුම් ගන්නට ඇත්තේ එය ප්‍රාණඝාත කර්මයක් නො වන බව හා තිරිසන් සතකු මැරීමෙන් වන පාපය තරම් බරපතළ පවකුත් නො වන බව ය. සියදිවි හානි කර ගැනීම ගැන දුකුළා ඇවතක් පනවා ඇතත් එය කර ගැනීමට සුදුසු අවස්ථා ඇති බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ.

“යස්ස පන මහා ආබාධො චිරානුබද්ධො, භික්ඛු උපට්ඨහන්තා කිලමන්ති, ජිගුච්ඡන්ති, කදා නු ඛො ගිලානතො මුඤ්චිස්සාමාති අට්ඨියන්ති. සචෙ සො අයං අත්තභාවො පටිජග්ගියමානොපි න තිට්ඨති භික්ඛු ච කිලමන්තීති ආහාරං උපච්ඡින්දති, භෙසජ්ජං න සෙවති වට්ටති. අයං රොගො ඛරො ආයුසංඛාරා න තිට්ඨති. අයඤ්ච මෙ විසෙසාධිගමො හත්ථප්පත්තො විය දිස්සතීති උපච්ඡින්දති වට්ටති. අගිලානස්සා පි උප්පන්නසංවෙගස්ස ආහාර පරියෙසනං නාම පපඤ්චො, කම්මට්ඨාන මෙව අනුයුඤ්ජිස්සාමී ති කම්මට්ඨානසීසෙන උපච්ඡින්දන්තස්ස වට්ටති.”

(සමන්තපාසාදිකා 334)

මේ පාඨයේ අදහස; “බොහෝ කල් පවත්නා වූ මහා ආබාධයක් ඇති භික්ෂුවකට උපස්ථාන කරන භික්ෂූන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම්, රෝගියාත් පිළිකුල් නම්, ඒ රෝගී භික්ෂුව ‘මේ ආත්ම භාවය ප්‍ර‍තිකර්ම කළත් නො පැවැත්විය හැකි ය. මා නිසා සෙසු භික්ෂූහු ද බොහෝ වෙහෙසෙතියි සලකා බෙහෙත් ආහාර වර්ජනය කරනවා නම් වටනේය. යම් භික්ෂුවක් මට ඇතිවී ඇති මේ රෝගය නපුරු ය. මට විශේෂාධිගමයක් ද අතට පත්වූවාක් සේ පෙනෙන්නේ ය. මම ශරීර පෝෂණය හැර විශේෂාධිගමය පිණිස ද වීර්‍ය්‍ය කරමි යි ආහාර අතහරී නම් වටනේය. රෝගයක් නැති භික්ෂුවක් විසින් තමාට උපන් සංවේගය නිසා ආහාර සෙවීමත් ප්‍ර‍මාදයක් ය, මම භාවනාව ම කරමි යි, භාවනා පිණිස ආහාර ගැනීම අත හරී නම් එය ද වටීය” යනුයි. මේ පාඨයෙහි ‘වට්ටති’ යන වචනයෙන් කියන්නේ ඇවැත් නො වන බව ය. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය වේ නම් කිනම් කරුණක් නිසාවත් එය නො වන්නේ ය. කියන ලද කරුණුවල දී ආහාරෝපච්ඡේදය වටනා බව විනය අටුවාවෙහි කියා තිබීමෙන් ද එය ප්‍රාණඝාත කර්මයට අයත් නො වන බව දත යුතු ය.

ධර්ම දානය පිනිස share කරන්න.

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Ku4UoN
සාරිකා ගල්ගුහාව

ආචාර්ය මන් සාරිකා ගල් ගුහාවෙහි අවුරුදු 3ක් භාවනා කරමින් සිටියහ. මුළු කාලය තුළම අද්භූත සිද්ධීන්ගෙන් යුක්ත වූ බැවින් මෙම කාලය උන්වහන්සේගේ ජීවිතයේ අමතක නොවන කාලයකි. මගේ මතකයේ හැටියට මුලින්ම ගියේ ගල් ගුහාවට ආසන්න බන් ගලු ඒ ගම්මානයටය. මෙම පලාත නොදන්නා බැවින් ගැමියන් සමඟ ගල් ගුහාව සොයා ගියහ. ගැමියෝ අනතුරු ඇඟවූහ. මෙම ගුහාව නොයෙක් අත්භූත හාස්කම් වලින් යුක්තය. ඉතාම පිරිසිදු සිල් නැති ඇත්තන්ට එහි වාසය කළ නොහැකිය. නොයෙක් භික්ෂූන් වහන්සේලා එහි වාසයට ගොස් තදබල ලෙස රෝගාතුර විය. සමහරු වෛද්ය උපදෙස් ලබා ගැනීමට පෙර මරණයට පත්වුණි. මහා විශාල ශරීර ඇති අමනුෂ්යයන් එහි සිටිති. ඔවුන්ට අත්භූත බල ඇත. සැර පරුෂ ගති ඇත. එහි යෝධ අමනුෂ්යයන් ගල් ගුහාව ආරක්ෂා කරත්. නොසිතූ විධියට එහි අමුතු දේ සිදුවේ. මෙම අමනුෂ්යයන් භික්ෂූන් වහන්සේලාට අභියෝග කරති. යක්කු එලවන්නට හැකිදැයි විමසති. නොයෙක් විධියේ භය, භීතිය නිසා රෝගාතුර වී මරණයට පත්වෙති. ගැමියෝ එහි නොයන ලෙසට ආචාර්ය මන්ට ආයාචනා කළහ. මෙම කෝපාවිෂ්ඨ වන දුෂ්ඨ කළු අමනුෂ්යයා ගැන විස්තර ඇසූවිට ගැමියෝ මෙසේ කීය. යමෙක් මෙම ගුහාවට ආ මුල් රාත්රියේම භයංකාර සිහිනයක් දකී. මහා විශාල යක්ෂයෙක් තමා ඉදිරියේ සිටී. ඔහු මරණ තර්ජන කරයි. “මෙම ගුහාව මට අයිතිය. කිසිවෙකුට සිටීමට මෙහි ඉඩ නැත. මෙහෙන් එලියට ඇද දමා මරණවා, ඉතාමත් සිල්වත්, කරුණා, මෛත්රී ඇති ගුණවත් අයෙකුට පමණක් ඉන්නට ඉඩ ලැබේ. එවැන්නන් ආරක්ෂා කරනු ඇත. නරක වැරදි කරන අය විනාශ කරනවා.“ආදී වශයෙනි.

බෙහෝ භික්ෂූහු මේ අත්දැකීම නිසා බිය පත් වී ගුහාව හැර යති. සාමාන්යයෙන් දිනක් හෝ දෙකක් ලඟුම් ගනිත්. භයින් වෙව්ලමින් ඉන් බැස යති. නැවත කිසි දිනෙක ආවේ නැත. සමහරු මෙම ගුහාවට නැංගා පමණි. බහින්නට ලැබුනේ නැත. ගැමියෝ මෙසේ ආචාර්ය මන් වැලැක්වූහ.

සමහර භික්ෂූන්ට බහින්නට ලැබුණේ නැත්තේ ඇයිදැයි ඇසූ විට මීට ටික කාලයකට පෙර ඉතාමත් සිල්වත් භික්ෂූන් වහන්සේලා 4 නමක් එහි මළහ. උන්වහන්සේලා ද යම් දෙයකට භය නැති බව කීවාහ. අමනුෂ්යයන් මර්ධනය කිරීමට තමා ළඟ බලගතු යන්ත්ර, මන්ත්ර ඇති බව කීහ. මෙසේ නොයෙක් ලෙස කී නමුත් ආචාර්ය මන් එහි යාමට තීරණය කර කඳු මුදුනට යන්න පාර විචාළේය. ගැමියෝ අකමැත්තෙන් වුවද පාර පෙන්වා දුන්හ.

ආචාර්ය මන්ට මෙම ගල්ගුහාව දකින්නට කුතුහලයක් තිබුණි. මේ ගැමියෝ කියන්නේ ඇත්තක්ද? සති, පඤ්ඤා, වීර්යය වැඩීමට මේ භයානක අරමුණු උපකාර වේ. සත්ය සෙවිය යුතුය. යම් දුෂ්කරතාවයක් වෙතොත් ගමට පැමිනෙන බව කීහ.

ටික දවසක් යන තුරු උන්වහන්සේට කිසිම අමුත්තක් නොදැණුනි. අවට පරිසරය නිහඬය. සතුන් දඩයම් කිරීමේදී ඇතිවන ශබ්ද පමණි. ඉන්පසු බඩේ රිදුමක් හට ගති. එය සාමාන්ය දෙයක් ලෙස සිතුවත් ඉක්මනින් වැඩිවිය. කිසිම ආහාරයක් දිරවන්නට බැරිවිය. ලේ සමග සියලු ආහාර මළ පහ කලේය. උන්වහන්සේ මෙසේ සිටියොත් ගැමියන් කී පරිදි 5වෙනි භික්ෂූන් වහන්සේ මෙන් මරණයට පත්වේ. ගිහියන් උන්වහන්සේ දැකීමට ආ විට මෙම ආබාධයට යම් කැලෑ කොළ මුල් කොටා තම්බා පානය කරන්නට අවශ්ය බව කී විට එම බෙහෙත් ද්රව්ය ලබා, ඒවා පානය කළහ. කිසිම බෙහෙතකට මෙම රෝගය සුව නොවීය. දවසින් දවස ශරීරය ඉතාම දුර්වල විය. මනසද දුර්වල විය.

උන්වහන්සේ මේ ගැන සිතන්නට විය. මෙතරම් බෙහෙත් බීවත් මෙම ආබාධය සුව නොවේ. බෙහෙත් නිසා රෝගය වැඩි වෙනවාද? බෙහෙත් නවතා උන්වහන්සේ ධර්ම ශක්තියෙන් ලෙඩේ සුව කිරීමට තීරණය කළහ. ජීවත් වුණොත් හොඳයි මැරුනත් කමක් නැහැ මෙසේ සිතා සියලු බෙහෙත් නවතා භාවනාවේ යෙදුණි.

මම මග්ගඵල නිවන කරා යන මාර්ගය දකිමි. මේ ශාරීරික දුක ඉවසමි. මෙවැනි වේදනාවක් උසුලන්නට බැරි ඇයි? මෙසේ දුර්වල වී මම පරාජිත වෙමි. මරණයේදී කොහෙත්ම භයානක දුක ඉවසන්නේ කෙසේද? මේ ආදී වශයෙන් සිතා බෙහෙත් නැවැත්වීය.

සියලු කායික මානසික ලෙඩ රෝග වලට එකම පිළියම මේ මගේ ධර්මතාවයයි. මෙසේ මරණානුස්සතිය භාවනා කළේය. තම සිත, කය, විපස්සනා කළහ. අධික සති, පඤ්ඤා, වීරිය උපදවීය. තම ශරීරයේ ඇති භයානක තත්ත්වය අමතක වී මරණ බිය ද පහවිය. දුක් වේදනාව මෙනෙහි කළහ. නාම රූප වෙන් කර විපස්සනා කලහ. ශරීරයේ කොටස් වෙන් කරමින් එහි ස්වභාවය මෙනෙහි කළහ. සංඛාර උපදවන බවත් මතකයෙන් සඤ්ඤා එන බවත් මෙනෙහි කරමින් සවස යාමයේ සිට රාත්රී මධ්යම යාමය යන තුරුත් භාවනා කළහ. සිතේ කයේ ඇති සම්භන්ධය පෙණුනි. මෙසේ විපස්සනා කරන විට සිත සමාධිගත විය. සියළු වේදනා අතුරුදහන්විය.

ඉතා සුළු වේලාවක් සිත නිහඬ විය. ඉන්පසු උපචාර සමාධියට පත්වුණි. තම ආලෝකමත් සිත ශරීරයෙන් පිටවී ගියේය. ඒ මොහොතේදී විශාල ශරීරයකින් යුතු කළු මිනිසෙක් දුටහ. අඩි 30ක් පමණ උසැති මේ මිනිසාගේ අතේ යකඩ මුගුරකි. අඩි 12ක් පමණ දිග මිනිසෙකුගේ කකුලක් පමන මහතය. මේ දැවැන්ත මිනිසා උන්වහන්සේ ළගට ඇවිත් මේ මොහොතේම තලා පොලොවට සමතලා කරණ බව කීහ. දැන්ම පිටවෙන්ට අණ කළේය. ජීවිතයට ආසා ඇත්නම් යව. ඔහුගේ කථාව දෙදුරුම් කෑවේය. ඔහුගේ මුගුර කර උඩය. ඉන් එක පහරකින් දැවැන්ත ඇත් රාජයෙක් පොලොවට සමතලා කල හැක.

ආචාර්ය මන් ඔහු සමග කථා කළේය. කිසිම වැරුද්දක් නොකළ කෙනෙකුට එවැනි සාහසික දඬුවම් පමුණුවන්නේ මක් නිසාදැයි ඇසීය. එම කන්ද ඔහුට අයත් වේ. එයට අරක්ගෙන සිටින නිසා කිසිවෙකුට ඔහුගේ බලය නැතිකල නොහැක. මෙතැනට එන සියලු දෙනා විනාශ කරන බව කීය.

ආචාර්ය මන් ඔහුට බැණ වැදුණි. “මම මෙහි ආවේ කාගේවත් අයිතිවාසිකම් උදුරා ගැනීමට නොවේ. මම ආවේ භාවනා කිරීමට මගේ සිතේ පහළ වන කෙළෙස් වල අයිතිය නැති කිරීමට සිල්වත් භික්ෂුවකට හිංසා, පීඩා කිරීම බලවත් වරදක්. මම බුද්ධ ශ්රාවකයෙක්මි. උන්වහන්සේගේ කරුණා, මෛත්රී ගුණය මුළු විශ්වයම ආණ්ඩු මට්ටු කරයි. මේ බව ඔබ දන්නෙහිද?

“නැත ස්වාමීනි“ ඔහු පිළිතුරු දුනි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශක්තිය බලය තියෙනවා හිතේ පැන නගින ඔය වැනි මානාධික බලය පෙන්වමින් පුරසාරම් කියන බලය විනාශ කරන්ට. උන්වහන්සේගේ සිතේ අනුන්ට හිංසා, පීඩා කරන, මරණයට පත් කරන වැරදි සිත් පලවා හැර ඇත. උඹ සිතනවාද නුඹ මහා දක්ෂයෙක් කියා? ඔබේ හිතේ ඇතිවන ඔය භයානක කෙලෙස් නැති කිරීමට කුමක් කළ යුතුදැයි ඔබ දන්නෙහිද?

“තාම නැත ස්වාමීනි“ යැයි පිළිගති.

මං ඔබ සිතේ ඇති භයානක අකුසල් නිසා ඔබ ඉතා කෲර කෙනෙකි. ඔබේ බලය කෙතරම් තිබුනත් ඔබේ සිතේ ඇති කෙලෙස් යටපත් කිරීමට බලයක් නැත. ඔබේ මැජික් බලයෙන් මිනිසුන් භය කර මරා දැමීම නිසා ඔබ ඊට වඩා භයානක ගින්නෙන් දැවෙන්නේය. මහා අකුසල කර්ම කර අපාගත වන්නේය. එය මදිවාට මා වැනි අහිංසක ධර්මයට අනුව ජීවත් වන අයෙකු මරන්නට තැත් කරයි. ඔබේ ගුණ ධර්ම මොනවාද? හැසිරීම මෙතරම් භයානක සාහසික නොවේද? ඔබ තරම් නරක කෲර අය නැති තරම්ය. මම උග්ර තපස් රකින සිල්වතෙක්මි. මම ධර්මය පිළිපදින්නේ මගේ සෙත පිණිසත් අන් අයගේ සෙත පිණිසත්ය. ඒ නමුත් ඔබ මා මරා පොලොවට සමතලා කිරීමට තැත් කරයි. ඔබ අපායට ඇදගොස් භයානක දුක් විපාක විඳින බව නොදන්නේද? ඔබේ මහා බල ශක්තියෙන් කර්ම විපාක වැලැක්විය හැකිද? ඔබේ බලය මේ ධර්ම කර්මයට වඩා වැඩිනම් මාව දැන් මරා දමනු මැනවි. මම මරණයට බිය නොවෙමි. අද නොමළත් යම් දිනක මැරෙන්නේය. ලෝකයේ සියලු දෙනාම මැරෙති. ඔබ කොතරම් බල පුළුවන්කාරයෙක් වුවත් ඔබද මැරෙන්නේය.

මේ අරුම පුදුම පුද්ගලයා මේ සියල්ල අසා සිටියේ කෙලින් සිටගෙන ගල් පිළිමයක් මෙනි. මහා මුගුර කර උඩ ඇත. මනුෂ්යයයෙක් නම් ලැජ්ජාවෙන් භයෙන් ත්රස්ත වී සිටිතියි කියත හැකිය. හුස්ම හෙලන්නේවත් නැත. ඔහු අමනුෂ්යයයෙක් නිසා හුස්ම ගන්නේ නැත. එහෙත් ඔහු ලැජ්ජා භයින් මිරිකී සිටින බව ආචාර්ය මන්ට පෙනේ. මහත් ආයාසයකින් ඔහුගේ දුක සඟවාගෙන සිටී.

ආචාර්ය මන් කථාව අවසන් කළහ. ඒ ක්ෂණයෙහිම මේ දැවැන්ත පුද්ගලයා තම කරේ තිබූ විශාල මුගුර බිම හෙළුවේය. ඒ සමගම මේ මහා කළු පුද්ගලයා සාමාන්ය උපාසක මහත්මයෙකුගේ හැඩයට පරිවර්තනය විය. යටත් පහත් ලීලාවකින් සිටගති. ඉන්පසු මහත් පසුතැවිල්ලකින් සමාව ඉල්ලා සිටියේය. ඔහුගේ කථාවේ සාරාංශය මෙයයි.

“මම විස්මයට හා භීතියට පත් වුනේ ඔබ වහන්සේ මුලින්ම දුටුවිටය. ඔබ වහන්සේගේ මුළු ශරීරය තුළින් පුදුමාකාර දීප්තිමත් ආලෝකයක් විහිදුණි. ඔබ වහන්සේ මාව අභිබවා මගේ බලය නැති කරත්යැයි සිතුණි. මට කිසිවක් කර කියා ගන්නට නොහැකි විය. මම ඔබ වහන්සේ මරණයට තැත් කළේ හදවතේ ඇති තරහකින් නොවේ. මගේ මානයට පහර වැදුණු බැවිනි. බොහෝ කාලයක් සිට මේ මුළු කන්ද අඩවිය මට අයත් යැයි මම සිතුවෙමි. අමනුෂ්යයයෝ මට භය භීරන්ත වෙති. නරක ගති ඇති දුස්සීල මිනිස්සුද මට බිය වෙති. මගේ තද මානය හා ආත්ම දෘෂ්ටිය නිසා ඔබ වහන්සේ යටත් කරගන්ට සිතුවෙමි. එහෙත් මගේ සිතේ භයක් සැකක් තිබුණි. ඔබ වහන්සේ මට වඩා බලපුළුවන්කාරයෙක් යැයි දැනුණි. මම අනුන්ට සලකන්නේ පහත් ලෙසය. ඔවුන් භය කිරීම, එය මගේ පුරුද්දයි. මට ඔබ වහන්සේ සමාවුව මැනවි. මින් පසු මම දුෂ්ඨ ගති අත් හරිමි. මට තව දුක් විදීමට නොහැක. මීට වඩා දුක් විදීමට සිදුවේදැයි භය වෙමි.“

ආචාර්ය මන් පළිතුරු දුනි. “ ඔබට මහත් බල ශක්තියක් ඇත. ඔබේ ශරීරය ඝන ස්වභාවයක් නොවේ. ඔබට මනිසුන්ට මෙන් ශාරීරික දුක් වේදනා නැත. බඩගිනි වේදනා නැත. රැකියා කර මිල මුදල් උපයන්නට නැත. ඔබට ඇති දුක කුමක්ද? ඔබගේ දිව්ය ආත්මයත් දුකක් නම් දුක් නැත්තේ කොතැනද?

“මතුපිටින් බලනවිට මිනිසුන්ට වැනි දුක් දේවාත්ම වල නැත. මිනිසුන්ට වඩා අපේ ශරීරයෙන් අපි සැප විඳිමු. එහෙත් ශරීරයෙන් දුක් තරමක් ලැබේ. උසස් හීන ආත්ම වල තරාතිරම් අනුව දුක් සැප ලැබේ.“

මෙම සාකච්ඡාව අවසානයේදී මේ අරුම පුදුම පුද්ගලයා ධර්මයට ගෞරව කර තෙරුවන් සරණ ගියේය. “ඔබ වහන්සේ සරණ යමි.“ කීවේය. “ඔබ වහන්සේ මගේ ශ්රද්ධාවට සාක්ෂි වේවා“ මෙසේ කියා උන්වහන්සේ ආරක්ෂා කරණ බව කියා ගල් ගුහාවේ වැඩ වසන ලෙස ආරාධනා කළේය. උන්වහන්සේට ආරක්ෂාව සලසා විශාල කුසලයක් අත්පත් කර ගැනීමට ඔහු කැමති විය. ඇත්තෙන්ම ඔහු එහි වසන වෘක්ෂ දේවතාවන්ගේ අධිපතියාය. භුම්මා දේවා යනුවෙන් හැඳින්වෙන මේ දේව කොට්ඨාසය භූමියට ආසන්නව වාසය කරති. විශාල ගස් මුදුන් වල විමාන සාදා පවුල් පිටින් වාසය කරති. ඔවුහු වෙස්වලාගෙන මහා යක්ෂයන් මෙන් මිනිසුන් භය කළහ. මුළු නඛොන් නයොන් කඳුකරය ඔවුන්ගේ අඩවිය වේ.

ආචාර්ය මන් මෙසේ සමාධියට සමවැදී මේ දෙවියන් සමඟ අළුයම 4 දක්වා සාකච්ඡා කළහ. ඉන්පසු සමාධියෙන් නැගී ස්වාභාවික තත්වයට පත්වුණි. උන්වහන්සේගේ බඩේ රෝගය අතුරුදහන්වී තිබුණි. තමාගේ බලවත් රෝගය සුව වීමට භාවනා බලයෙන් හැකි බව විස්ම ජනකය. උන්වහන්සේට එය විශාල අත්දැකීමක් විය. ශරීරය වඩාත් ශක්තිමත් විය. මුළු රාත්රිය සමාධිගත වූ නමුත් වෙහෙසක් නැත. එබැවින් එළිවෙන තුරු භාවනා කළේය.

ධර්මයේ හාස්කම් උන්වහන්සේට ප්රත්යක්ෂ විය.

(ආචාර්ය මන් භූරිදත්ත හිමි ගේ ආද්යාත්මීය චරිතාපදානය පොතෙනි)

නමෝ ගෞතම පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක වන්න.

තෙරුවණ් සරණයි!!!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/31KutqQ
“මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැති මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය.”

“හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊළඟට නහඹු වස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.”

“මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.”

“නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය.”

“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිලිබඳ දක්ෂයෝ වෙද්ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, තුමූ මාගේ ධර්මය ඇසියයුතු කොට, ඇදහියයුතු කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.”

“මහණෙනි, යම්සේ ගවපියන්වූ ගවයින්ට ප්‍රධානවූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භවසංයොජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ සැඩපහර සිඳ සැපසේ එතෙරට (නිර්වාණයට) යන්නාහුය.”

“මහණෙනි, යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලෝකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.”

“මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරීමෙන් රාග ද්වේශ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූ එක් වරක් පමණක්ම මේ කාම ලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතර වන්නේ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරී වූද, ශ්‍රද්ධානුසාරී වූද යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.”

“මහණෙනි, මම මේ ලෝකය පිළිබඳවද දක්ෂ වෙමි. පරලෝකය පිළිබඳවද දක්ෂ වෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි.”

“මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්මය ඇසිය යුතුයයි, ඇදහිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.”

චූල ගොපාලක සූත්‍රය
🌷💦🌺💦🌷💦🌺💦🌷💦🌷🌷🌿

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2L0gbg6
බුද්‍ධුපට්ඨාන ථෙරාපදානය
56
’’(මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂීවූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනේ වීමි.
57
’’තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය බලව්. හැමකල්හි සැට දහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරත්.
58
’’මින් එක් අනූවන කපෙහි මහර්ෂීවූ බුදුරජුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනක් කිරීමෙහි මේ විපාකයයි.
59
’’මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මහා නිග්ඝෝෂ නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
60
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධුපට්ඨාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’