Monthly Archives: September 2014

“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ ගුණයෙන් සමානයක…

“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත

සාමාන්‍ය ජනවහරෙහි පවතින මෙවැනි අදහසක් ගැන ඔබත් අසා තිබෙන්නට පුළුවනි. පාසලට යනතෙක්ම කුඩා දරුවන්ගේ ළමා ලෝකයේ සිටින්නේ දෙමාපියනුයි.

අනතුරුව පාසල් යන්නට ආරම්භ කළාට පසුව, ළමා ලෝකයේ ආදර්ශයට ගන්නේ ගුරුවර ගුරුවරියන් ය. ඒ ගුරුවරුන් කෙරේ ඇති කරගන්නා වූ විශ්වාසය සහ ලෙන්ගතුකම නිසාය. මීළඟට “මෝරායන” වයස හෙවත් අවුරුදු දහතුන පමණ වන විට යහළු යෙහෙළියන්ගේ ආශ්‍රයට වැටෙති. තම ජීවිතවල මුල් කාලයේ ආදර්ශයන් වූ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වඩා හිත මිතුරන් කෙරේ විශ්වාසය තබන්නට පටන් ගනී. කතාබහ, ගමන බිමන, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් ඒ සියල්ලකම වෙනසක් දකින්නට හැකිය. මේ ස්වභාවය බොහෝ විටෙක අවුරුදු දහඅටක්, විස්සක් පමණ වනතෙක්ම දැකගත හැකි ය. වැඩිහිටියන් ලෙස තරමකින් හෝ සිතන්නට ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. මේ ස්වභාවය සෑම දරුවෙකුටම එකහා සමානව නොවුනත්, බොහෝ දරුවන්ගේ හැසිරීම පවතින්නේ ඒ ආකාරයෙනි.

දරුවනේ, තවත් සිතා බැලිය යුතු ජීවිත ගමනේ පරිච්ඡේදයක් ගැන කතා කළ යුතු වෙයි. ඒ වයස විස්ස, විසිපහ වන විට ජීවිත ගමනේ ඇතිවන පරිණතභාවයයි. මේ ස්වභාවය සියලු දරුවන්ටම එකහා සමාන වන්නේ නැත. එයට හේතුව නම් අධ්‍යාපනික තත්ත්වය, සමාජ පරිසරය, ආශ්‍රය, දෙමාපියන්ගේ පසුබිම හා ආගම ධර්මයද හේතු සාධකවීමයි. නූගත්, එමෙන්ම යහපත් වූ සමාජ හෝ ආගමික හෝ ආශ්‍රයක් නැති තරුණයෙකුගේ හෝ තරුණියකගේ සිතුම් පැතුම් බොහෝම ආත්මාර්ථකාමී වෙන්නට පුළුවනි.

පරිණත බව සමගින්ම අන් අයට ඇහුම්කන් දෙන්නට නැඹුරුවෙයි. යම්විටෙක කොපමණ උගත් දරුවෙකු වුනද, ඉහළ තනතුරක් දැරුවද මෙසේ කියන්නට පුළුවනි. මම මේ ගැන අම්මාගෙන්, තාත්තගෙනුත්, අහල බලන්නම්. යම් විටෙක තමා තරම් උගත්කමක් හෝ රට ලෝකයේ අත්දැකීම් දෙමාපියන්ට නොතිබුණත්, දෙමාපියන්ගේ මුහුකුරාගිය ජීවිත අත්දැකිම් පිළිබඳ මේ උගත් දරුවන්ට අවබෝධයක් පවතිනවා ඇත. ඒ අතීත මතයද අවදිකරගනිමිනි. පාසල් යන කාලයේ යහළුවන්ගේ වදන්වලට රැවටිලා දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ අවවාදවලට ඇහුම්කන් නුදුන් ආකාරයන් සිහිපත් කරමින් වෙන්නට පුළුවනි. අම්මා තාත්තා යමක් කියන විට “ඕවා යල් පැනපු අදහස් හෝ හනමිටි කාලේ දේවල්” යනුවෙන් අවඥාවෙන් යුතුව සරදම් කළ අයුරුද මතක් වීමෙන්ද වෙන්නට හැකි ය. තවත් දරුවන්ට අතීත මතකය සොඳුරු ලෙසද සිහිපත් කරමින් දෙමාපියන්ගේ ජීවිත අත්දැකීම් කෙරේ මනා වූ විශ්වාසයක් ඇතිකර ගැනීම නිසාද වෙන්නට පුළුවනි. “ඔව් මට මතකයි, පුංචි කාලේ ඉඳලම අම්මා, තාත්තා කියපු දෙයක් කවදාවත් වැරදුනේ නැහැ.”

මේ ඉහත සඳහන් කරපු තොරතුරුවලින් යහපත් වූ දේ ගැන සිතා බලන්නට යයි, පින්වත් දරුවනේ, ඔබට ආරාධනා කරන්නට කැමතියි. එහෙම වුණත්, ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට, නැවත නිවැරැදි කරන්නට ඉතාමත් අපහසු බරපතල වැරදීමක් වනතෙක් බලාසිටින්නට එපා යයිද පවසන්නටත් කැමතියි. ඔබ දන්නවාද? සමහරවිට ජීවිතයේ බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුනපාලා ජීවිතය ගැන යම් හෝ වැටහීමක් ලබනා විට, ඔබේ දෙමාපියන්, කරුණාවන්ත ගුරුවරුන් මෙලොව ජීවත්ව නොසිටින්නට සිදුවේවි. “මම දන්නේ නැහැ, අම්මලා තාත්තලා මේවා කොහොම දැනගෙන හිටියද කියලා. මේවා ගැන කියලා හිත හදාගන්නවත් අම්මලා තාත්තලා දැන් ජීවත්ව නැහැනේ. මට සමාවෙන්න අම්මේ තාත්තේ.”

මෙම ලිපියේ මුලදීම යහළුවන් ගැන, හිතමිතුරන් ගැන සඳහන් කළා මතක ඇති. බොහෝ අයෙකුගේ ජීවිතවල ලොකු වෙනස්කම් යහළුවන් නිසා ඇතිවී තිබෙන බව පෙනේ. සමහර අයට යහළුවන් නිසා හිරේ විලංගුවේ වැටෙන්නට පමණක් නෙවෙයි. ජීවිත නැතිවෙන තරමට බලපෑම් ඇතිවී තිබේ. සමහර අයගේ ජීවිත යහමඟට පත්ව තිබෙන්නේත් සත්පුරුෂ වූද කල්‍යාණවන්ත වූත් යහළුවන් නිසායි. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් මඟට යොමුවෙන්නට යයි මම ආරාධනා කරමි. මේ උතුම් වූ දේශනා ගැන ටිකක් වත් සිතා බලන්නට යයි මම ඔබට කාරුණිකව සඳහන් කරමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දී පෙන්වා දුන් පළවෙනි සහ දෙවෙනි මංගල කරුණුවලින් ඔබ යමක් නුවණින් සිතා බලන්න. “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා.” බාලයන් නම් වූ දුර්ගුණ ඇති පුද්ගලයන් ආශ්‍රය නොකිරීමත්, සුගුණ ඇති පණ්ඩිත නම් වූ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් මංගල කරුණුය. භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණමිත්ත සූත්‍රයේ දී මෙසේ දේශනා කරති. “කල්‍යාණමිත්තස්ස භික්‍ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති,” මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති තැනත්තාට නූපන්නාවූද කුසල ධර්මයෝ උපදිත්. උපන්නාවූද අකුසල ධර්මයෝ පිරිහෙත්. හැබෑවටම දරුවනේ සිතා බලන්න. අපගේ යහළුවෙක් නිසා අඩුපාඩුකම්, වැරැදි, හදාගෙන වඩ වඩාත් හොඳ මඟටම පැමිණෙන්නට හැකි නම් එය කොපමණ වටිනවාද? සිඟාලෝවාද සූත්‍රයෙහි දේශනා කොට ඇති පරිදි වැරැදි වූ මිත්‍ර ප්‍රතිරූපකයෙක් හමුවුණොත් ජීවිතයේ සියල්ලම උඩුකුරු යටිකුරු වේවි. එහි විස්තර කරන අයුරින් අඤ්ඤදත්ථුහර නම්, තම වාසිය සඳහා යහළුවන් ඇසුරු කරන පුද්ගලයායි. නිතරම කුමක් හෝ ගැනීමට මාන බලයි. වචීපරම නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් අතීතයෙන්ද අනාගතයෙන්ද වචනයෙන් පමණක්ම සංග්‍රහ කිරීමයි. අනුප්පියභාණී නම් චිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් යමක් කිරීමේ දී හොඳ නරක දෙකම අනුමත කිරීමය. එමෙන්ම මුහුණට ගුණ කියා නැති තැන දොස් පැවරීමය. මීළඟට, හතරවෙනුව දක්වන භයානකම මිත්‍ර ප්‍රතිරූපක තැනැත්තා නම් අපායසහාය මිතුරාය. ඔහු හෝ ඇය විසින් මත්වතුර හෝ මත්ද්‍රව්‍ය භාවිතයට උදව් දෙනු ලැබේ. එයට සහාය වෙයි. අවේලාවෙහි නිකරුනේ සංචාරයට කැඳවාගෙන යයි. කළ යුතු දේ පවා මඟහරවා ගෙන නැටුම් ගැයුම් වැනි විනෝදජනක දේටම පොළඹවයි. එමෙන්ම සුදුවටද පොළඹවයි. මේ සඳහන් කළ සියල්ලම යම් ජීවිතයක විනාශය පිණිසම හේතු නොවන්නේ දැයි ඔබම සිතා බලන්න.

ඇතැම් තරුණ දරුවන් මතට හා සූදුවට යොමු වී ඇත්තේ මිතුරු වෙසින් පෙනී සිටින ඉහත සඳහන් කළ ආකාරයේ මිත්‍ර ප්‍රතිරූපකයන් නිසාය. නැතිනම් වැරැදි යහළුවන් නිසාය. මෙසේ නොමඟට ගිය දරුවන් නිසා හඬා වැළපෙන දෙමාපියන් කොපමණ නම් වෙත්ද? යහළුවන් නිසා නොමඟට වැටී මුළු පවුලක්ම අගාධයකට ඇද දමන ස්වාමි පුරුෂයන් නිසා අන්ත අසරණ වන භාර්යාවන් කොපමණ නම් වෙත්ද? ඔබත් මෙවැනි මිත්‍ර ප්‍රතිරූපකයෙක් නොවන්නට පළමුව වගබලා ගන්න. දෙවනුව එවැනි මිත්‍ර ප්‍රතිරූපක අයගෙන් ප්‍රවේශම් වන්න. ඔබට ඒ ගැන හරි අවබෝධයක් නැතිනම්, ජීවිතවල හැබෑ අත්දැකීම් ඇති දෙමාපියන්ගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න.

මේ පහත සඳහන් කරන යහපත් කළණ මිතුරෙක් හෝ මිතුරියක් බවට පත්වෙන්නට ඔබට හැකිද? ඔබ දැනටමත් මෙවැනි යහපත් අයෙක් නම් කොපමණ අගනේද?

“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත.

තෙරුවන් සරණයි!

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

මේවා කිරීමෙන් අයහපත් ප්‍රතිපල ලැබෙන බැවින් තමන්ගේ යහපත කැමති අය විසින් මෙම ක්‍රි…

මේවා කිරීමෙන් අයහපත් ප්‍රතිපල ලැබෙන බැවින් තමන්ගේ යහපත කැමති අය විසින් මෙම ක්‍රියා නොකර සිටීම සුදුසුය.

වයසට යාම ලෙඩ වීම ආදී කිසිවක් පාලනය කල නොහැකි ශරීරයක් සහිතව සිටින ඔබ බාහිර ද්‍රව්…

වයසට යාම ලෙඩ වීම ආදී කිසිවක් පාලනය කල නොහැකි ශරීරයක් සහිතව සිටින ඔබ බාහිර ද්‍රව්‍ය පුද්ගලයින් තුලින් ආරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු වීම කොතරම් මුලාවක් දැයි බලන්න.
ආරක්‍ෂිත භාවය ලැබෙන්නේ ධර්මයට පැමිණි පුද්ගලයාටයි. ධර්මයේ සරණට පැමිණෙන්න.

අපරිහානීධම්ම සූත්‍රය මෙසේය… මහණෙනි නො පිරිහීමට හේතුවන කාරණා හයක් දේශනා කරන්නම…

අපරිහානීධම්ම සූත්‍රය මෙසේය…

මහණෙනි නො පිරිහීමට හේතුවන කාරණා හයක් දේශනා කරන්නම්.එය හොදින් අසන්න.මැනවින් මෙනෙහි කරන්න.,දේශනා කරන්නම්.එසේය ස්වාමීනී කියා ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිලිතුරුදුන්නා.භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළා.

මහණෙනි නො පිරිහීමට හේතු වන කාරණා හය මොනවාද,
1. වැඩපළ වල ඇලී ගැලී නොසිටීම
2. කථාබහේ ඇලී ගැලී නොසිටීම
3. නින්දෙහි ඇලී ගැලී නොසිටීම
4. පිරිසේ ඇලී ගැලී නොසිටීම
5. කීකරු භාවය
6. කළ්‍යාණ මිතුරු ඇසුර

මහණෙනි මේ නො පිරිහීමට හේතු වන කාරණා සයයි.
මහණෙනි,අතීතයේදී යම් කිසි කෙනෙක් කුසල් දහම් වලින් නො පිරිහුනා නම් ඒ සියලු දෙනාම මේ කරුණු හය හේතුකරගෙන නො පිරිහුණා.

මහණෙනි,අනාගතයේදී යම් කෙනෙක් කුසල් දහම් වලින් නො පිරිහෙණු ලබනවානම් ඒ සියලු දෙනාම මේ කරුණු හය හේතුකරගෙන නො පිරිහෙනු ලබනවා.
මහණෙනි මේ වර්තමානයේදී ම් කිසි කෙනෙක් කුසල් දහම් වලින් නො පිරිහෙනවා නමි නම් ඒ සියලු දෙනාම මේ කරුණු හය හේතුකරගෙන නො පිරිහෙනවා.

(අංගුත්තර නිකාය – 04)
සාධු…තෙරුවන් සරණයි.

පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල්…

පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ

චත්තාරෝ මේ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. කතමෙ චත්තාරො? සාවජ්ජො වජ්ජ බහුලො අප්පවජ්ජො අනවජ්ජෝති. (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත)

පින්වත්නි දිනක් බුදු හාමුදුරුවෝ භික්‍ෂූන් අමතා වදාරනවා මේ ලෝකයේ පුද්ගලයන් සතර දෙනකු සිටින බව . ඔවුන් සතර දෙනා මෙසේයි.

1. සාවජ්ජ පුද්ගලයා – (වැරැදි සහිත තැනැත්තා)
2. වජ්ජ බහුල පුද්ගලයා – (වැරැදි බහුල තැනැත්තා)
3. අප්ප වජ්ජ පුද්ගලයා – (වැරැදි අල්ප තැනැත්තා)
4. අනවජ්ජ පුද්ගලයා – (වැරැදි නොමැති තැනැත්තා)

ඉහත සඳහන් පුද්ගලයන් සිවුදෙනාම ජීවත් වන්නේ අප අතරමයි මේ පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විට ඔබ අයිති වන්නේ මොවුන්ගෙන් කවර පුද්ගල කොට්ඨාසයටද යන්න ඔබටම වටහා ගත හැකියි. මොවුන්ගෙන් පළමුවැනි හෝ දෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් ඔබට සතුටු විය නො හැකියි.තෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් බොහෝ දුරට සතුටු විය හැකි වුවත් එම සතුට සම්පූර්ණ නොවේ. ඔබ සිවුවැනි පුද්ගල කොට්ඨාසයට අයිති නම් පමණකි ඔබට සම්පූර්ණ සතුටක් භුක්ති විඳිය හැක්කේ. එම නිසා මේ ලිපිය කියවා සම්පූර්ණ සතුටක් මේ භවයේදීම හෝ අනතුරු භවයකදී ලැබීමට උත්සාහ දැරීම ඔබගේ පරම යුතුකමයි.

පෙර කී පුද්ගලයන් සිවු දෙනා ගැනම හැඳින්වීමේදි මෙහි ‘වජ්ජ’ යන වදන භාවිත වෙයි. ‘වජ්ජ’ නම් අකුසල ධර්මයි. මේ පදය නිර්වචනය කරන අටුවාචාරීන් වහන්සේ ‘සබ්බෙ කිලේසා දුච්චරිතා අභිසංකාරා සබ්බේ භවගාමි කම්මං වජ්ජං’ යනුවෙන් දක්වති. සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු අකුසල් ‘වජ්ජ’ නම් වන බව මින් පැහැදිලි කරති. කෙටියෙන් සඳහන් කරන්නේ නම් පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ. එහෙත් අර්හත් ඵලයට පත් වන්නා කුසල් අකුසල් යන සියලුම කර්ම ක්ෂය කළ යුතු ය. පින්වත්නි, කුසල් අපට අවශ්‍ය වන්නේ සසරින් එගොඩ වීමට පමණයි. එය හරියට පාරුවක් වැනියි. ගඟකින් එගොඩ වන්නට පාරුවකට නැඟී එගොඩට යන්න අවශ්‍යයි. ඉන් පසු අප එය කරතබාගෙන යන සිරිතක් නැත. ඒ ආකාරයට අරහත් ඵලයට පත්වීමෙන් පසු භවගාමී කර්ම සිදුවීමක්ද නැත.

පෙර සඳහන් කළ ආකාරයට අප කරන සියලුම භවගාමි අකුසල කර්ම වජ්ජ හෙවත් වැරැදි ක්‍රියායි. එම ක්‍රියා , කය, වචනය, සහ සිත යන තිදොරින් සිදු කරන බව බුදුන් වහන්සේ පෙන්වාදී තිබේ.මේවා කායික, වාචසික, මානසික වජ්ජ නමින් හැඳින්වේ. එම වැරැදි හෙවත් අකුසල් කළ පුද්ගලයා සසර මහ සයුරෙහි ගසාගෙන යමින් අනාදිමත් කාලයක් දුක් ගැහැට විඳිමින් සැරිසරයි. ‘ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජේන කාය කම්මේන සාවජ්ජේන වචී කම්මේන සාවජ්ජේන මනො කම්මේන සමන්නාගතො හොති’ යනුවෙන් වදාළේ ඒ බවයි. අප කරන කියන සහ සිතන අකුසල කර්ම මෙන්ම කුසල කර්මද සිදු කරන්නේ මේ තුන් දොරෙනි. ප්‍රාණඝාත, අදත්තාදාන, හා කාමමිථ්‍යාචාර යන අකුසල් තුන කයෙනුත් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච සහ සම්ඵප්පලාප, යන අකුසල් සතර වචනයෙනුත් අභිධ්‍යා (විසම ලෝභය) ව්‍යාපාද, (ද්වේෂය) සහ මිථ්‍යා දෘෂ්ටි යන අකුසල තුන සිතෙනුත් සිදු කරති. මේ දස අකුසල් වජ්ජයි. පාප කර්ම යනුවෙන් ද නම් කරන්නේ මේවායි. මේවා කරන්නා හඳුන්වන්නේ බාලයා හෙවත් මෝඩයා කියායි.

‘දිට්ඨ ධම්මික සම්පරායික සංඛාතෙ ද්වේ අනත්ථෙ දේවදත්ත කොකාලිකාදයො ලාති ආදදාති බාලො “ යන්නෙන් මෙලොවෙන් හා පරලොවෙන් වන්නා වූ ද්විවිධ අනර්ථයන් දේවදත්ත කෝකාලික ආදි පාපතර තෙරවරුන් මෙන් තමා වෙතට ළං කර ගන්නා තැනැත්තා බාලයා බව කියැවෙයි. බාලයා මෙලොව යහපතත් පරලොව යහපතත් දෙකම විනාශ කර ගන්නෙක් වෙයි. තවත් විග්‍රහයකට අනුව ‘අත්ථත්ථ පරත්ථ සංඛාතෙ ද්වේ අත්ථෙ ලුණාති ඡින්දති ඛාලො’ යන්නෙන් කීවේද අත්වැඩ පරවැඩ යන උභයාර්ථයම විනාශ කරගත් පුද්ගලයා බාලයා බවයි. බාලයා ඇසුරු නොකළ යුතු බව ‘අසෙවනාච බාලානං’ යන්නෙන් බුදුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබේ. මෝඩයා නුවණැත්තකු කිරීමේ අදහසෙන් ඔහු කෙරෙහි දයාවෙන් ඇසුරු කිරීම වරදක් බව මෙයින් නොකියැවේ. පුහුදුන් අප අතර වැඩි දෙනකු මෝඩයන් බව ‘දන්ධාබහු ‘ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ‘යානි කානිචි භික්ඛවෙ භයානි උජ්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො ‘ යන පාඨයෙන් බුදු හිමියන් පෙන්වා දුන්නේ කිසියම් බියක්, විපතක් පිරිසකට, රටකට ලෝකයට හෝ පුද්ගලයකුට ඇති වන්නේ නම් ඒ සියල්ල ඇති වන්නේ බාලයා නිසාය යනුවෙනි. එදත් අදත් කවදත් මිනිසුන් අතර කිසියම් විපතක් ඇති වුණා නම් ඒ ඇති කළ අය මෝඩ, බාල අසද් පුරුෂයන්ය. මේ අනුව, ප්‍රාණඝාතාදි වැරැදි ක්‍රියා සිදු කරන්නේ බාලයා බව පෙන්වා දුන් බුදුහිමියෝ එම පුද්ගලයා සාවජ්ජ (වැරැදි සහිත) තැනැත්තා බව දේශනා කළහ.

දෙවනුව උන්වහන්සේ හඳුන්වා දුන්නේ වජ්ජ බහුල පුද්ගලයාය.ඔහු තුළ ඉහත කී වැරැදි අධිකයි.අප පාපතර පුද්ගලයන් යැයි හඳුන්වන්නේ මෙබඳු අයයි. එහෙත් මොහු පවා කලාතුරකින් පිනක් දහමක් කරයි. එහෙත් ඔහු බහුල වශයෙන් කරන්නේ පාප ක්‍රියාවන්ය. වර්තමාන අපේ සමාජයේ වැඩි දෙනකු වජ්ජ බහුල පුද්ගලයන් බව සඳහන් කළ හැකියි. අද සොරකමෙන් , බොරුවෙන්, හා වංචාවෙන් තොරව අසවල් රැකියාව කරනවා යැයි කිය හැකි පුද්ගලයන් සොයා ගැනීම කළුනික සෙවීමක් වැනිය. එදා ගොවිතැන, වෙළෙඳාම රජයේ සේවය සහ ගෘහ කර්මාන්තය වැනි ජීවිකා වෘත්ති ධාර්මික රැකියා වශයෙන් පිළිගෙන තිබුණත් අද මේ සියල්ලක්ම පාහේ එහි නියුක්ත වූවන් වැඩි දෙනකුගේ අධාර්මික ක්‍රියාකලාප නිසා නිවැරැදි මාවතෙන් පිට ගොස් ඇත.ගොවිතැන වුවද වැරැදි බහුල පුද්ගලයන්ගේ වැරැදි භාවිත නිසා යහපත්ව, දැහැමි ලෙස සිදුවන්නේ නැතැයි වැටහේ. මෙවැනි වජ්ජ බහුල පුද්ගලයන් පිනකට දහමකට යොමු වන්නේ සිය කැමැත්තෙන් නොව අනුන්ගේ පෙළඹවීමෙනි. ඔවුන්ගේ අරමුණ මනුෂ්‍යයාගේ සිට සෑම සත්වයකුටම හිරිහැර කොට හෝ මරා දමා හෝ ක්‍රම ක්‍රමයෙන් මැරෙන්නට හේතු වන හෝ කූඨ උපක්‍රමවලින් මිල මුදල් රැස් කිරීමයි. මෙබඳු වැරැදි බහුල පුද්ගලයා ‘ලෝකීය පෘථජ්ජනයා’ යනුවෙන්ද හඳුන්වයි.

තුන්වැනුව බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ අල්ප වජ්ජ හෙවත් වැරැදි අඩු පුද්ගලයායි. විශේෂයෙන් සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි යන මාර්ගඵලවලට පත් පුද්ගලයන් අල්ප වජ්ජ යන්නෙන් මෙහි දැක්වෙයි. මේ අය අපාගත වන කිසිම පාප ක්‍රියාවක් නො කරති. එහෙත් සිතින් වැරැදි මොවුන්ගෙනුත් සිදු වේ. තෘෂ්ණාව ආදි කෙලෙස් මේ අය තුළත් දුරු නොවීම සිතෙන් වැරැදි කිරීමට ඇති හේතුවයි. මාර්ග ඵලලාභි නොවන අල්ප වජ්ජ පුද්ගලයන්ද සිටිය හැකියි. ඒ අය කය, වචනය සංවර කරගෙන සම්පත්ත විරති වශයෙන් අවස්ථානුකූ®ලව කායික, වාචසික වැරැදි වලින් වැළැකී හෝ සමාදාන විරති වශයෙන් ශික්‍ෂා පද සමාදන් වීමෙන් වැරැදි වලින් වැළැකී හෝ සිටින අයයි. මාර්ග ඵලයක් ලබන්නට උත්සාහ කරන්නා පළමුවෙන් සිල්වත්ව දෙවනුව භාවනා වෙන් සිත සංවර කරගෙන තෙවැනුව ත්‍රිලක්‍ෂණය වැඩීමෙන් ප්‍රඥාව දියුණු කරගෙන නිර්වාණාවබෝධය කළ යුතුයි.

මේ සූත්‍රයේ දැක්වෙන සිවුවැනි පුද්ගලයා අනවජ්ජ පුද්ගලයා හෙවත් වැරැදි නැති පුද්ගලයායි. පුද්ගලයා වරදට පෙළැඹීමට හේතු සාධක වන්නේ සිතේ තිබෙන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශයෝයි. එම කෙලෙස් සම්පුර්ණයෙන් නැසූ පුද්ගලයා අර්හත් පුද්ගලයා වශයෙන් හඳුන්වති. රහතන් වහන්සේගෙන් පවා සවාසනා වශයෙන් හෙවත් සසර පුරුදු වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් ඇතැමකුට වැරැදි වශයෙන් පෙනී යා හැකියි. එහෙත් ඒවා මෙන්ම උන්වහන්සේ කරන කුසල ක්‍රියාද කර්ම ගණයට නො වැටේ. ඊට අදාළ සිත් ක්‍රියා සිත් ලෙසයි හැඳින්වෙන්නේ. රහතන් වහන්සේ ‘කත කිච්ච’ එනම් කළ යුතු සියල්ල කොට නිමා කළ තැනැත්තායි. උන්වහන්සේට තවත් කළ යුතු කිසිවක් ඉතිරිව නැත.

අතීතං නානුසොචන්ති නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වණ්ණෝ පසීදති

රහතන් වහන්සේ අතීතය ගැන සිතමින් දුක් නොවෙති. අනාගතය පිළිබඳ, බලාපොරෙත්තු ද නැත. වර්තමානයේ ජීවත්වෙති. එහෙයින් රහතන් වහන්සේ පිරිසුදු වර්ණයෙන්, එනම් සිරුරේ ප්‍රසන්න පැහැයෙන් යුතු වන සේක. රහතන් වහන්සේ තුළ ජීවත් වීමේ ආශාවක් නැත. එමෙන්ම මිය යෑමටද අවශ්‍යතාවක් නැත. මෙලොව උපන් කර්ම ශක්තිය අවසන් වන තුරු උන්වහන්සේ ජීවත් වෙති. උන්වහන්සේ සිසිල් වූවෙකි. (සීතිභූත) එමෙන්ම නිබ්බුත හෙවත් සකල ක්ලේශයන් නැසූ කෙනෙකි. එහෙයින් මේ උත්තමයා අනවජ්ජ පුද්ගලයා වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා තිබේ.

පින්වත, මිථ්‍යා ධර්මවලින් ගහන මේ ලෝකයෙහි බෞද්ධයකුව උපන් ඔබ අතිශය පුණ්‍යවන්තයි. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් මිනිසත් බවක් ලැබ සිටින ඔබ එහි ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. ලැබුවා වූ මනුෂ්‍යත්වය කල්ප ගණනකට යළිත් ලැබිය නොහැකි වන අන්දමේ පාප කර්මවලින් වැළැකී සසරින් ආරක්‍ෂා වීමට අප්‍රමාදි විය යුතුය. සසරින් මිදීමට මේ අත්භවයම ප්‍රයෝජනයට ගන්නා ඔබ ජීවිතය ජයගත්තෙක් වෙයි.

නිබ්බානං පරමං සුඛං
නිවීම උතුම් සැපයයි

තෙරුවන් සරණයි!

පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට මහත් පූජෝත්සවයක් විය . මහජනයා රැස් වී උත්තම බ…

විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට මහත් පූජෝත්සවයක් විය . මහජනයා රැස් වී උත්තම බෝධියට පූජා කෙරෙත්.
යම් ශාස්තෘන් වහන්සේ කෙනෙකුගේ බෝධිය මෙසේ පූජනීය වේනම් ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සුළු කෙනෙකැයි නොසිතමි.
ඉක්බිති ශංකය ගෙන බෝ රුක වෙත ගියෙමි. දවස මුළුල්ලේ ම සක් පිඹිමින් බෝධි වන්දනාව කළෙමි.
ආසන්නයේ කළ කර්මය මා දෙවු ලොව යැවීය. මාගේ මළ සිරුර වැටී තිබිණ. මම දෙව් ලොව සතුටු වීමි.
සැට දහසක් තූර්‍ය වාදකයෝ තුටු පහටුව සැම කල්හි මට උපස්තාන කරති. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
මෙයින් එක් සැත්තෑ වන කල්පයෙහි සාගර සතර කෙළවර කොට ඇති දඹදිවට ඊශ්වර වූ සුදස්සන නම් රජ වීමි.
ඉන්පසු අංග සියයක් ඇති තූර්‍යයෝ සැම කල්හි මා පිරිවරා සිටිති, තමාගේ කර්ම ඵලය වලඳමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි
මම දෙව් ලොව හෝ මිනිස් ලොව යම් තැනෙක උපදෙන්නෙම්ද මව් කුස සිටින්නා වූ ද මා හට සැම කල්හිම බෙර වයත්.
සම්බුද්ධ රාජයන් වහන්සේට පූජා කොට සම්පත් වළඳා නොසෙල්වෙන තැන වූ භය රහිත වූ නිවනට පැමිණියෙමි
මෙයින් එක් අනූවන කල්පයෙහි යම් කර්මයක් කළෙමිද ඉන් පසු දුර්ගතියකට නොපැමිණියෙමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
———————————————————————————
මෙය වනාහි බෝධීන් වහන්සේට සක් පිඹ ශබ්ද පූජාව කළ ඒකසංඛීය නම් රහත් මුනිඳුන්ගේ ථේරාපදානයයි.
සියළු නුවණැති දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ ඒ සම්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියළුම ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක.

ඔබ වෙනකෙකුට වෛර කිරීම යනු ඔබ විසින් වස පානය කොට වෙනකෙකු මැරෙන තෙක් බලා සිටින්නා…

ඔබ වෙනකෙකුට වෛර කිරීම යනු ඔබ විසින් වස පානය කොට වෙනකෙකු මැරෙන තෙක් බලා සිටින්නා වැනි අනුවන ක්‍රියාවකි — බුදුරජාණන් වහන්සේ